
ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් (Gevorg Sargsyan) මහතාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ එහි සාමාජිකයින් හමුවී තිබේ.
අනතුරුව කණ්ඩායම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක යන මහත්වරු සහ අදාළ කාරක සභා සාමාජිකයින් අතර ඒකාබද්ධ රැස්වීමකට ද සහභාගි වූහ.
මෙහිදී මෙරට බලශක්ති ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ කඩිනම් සිදු කිරීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නිලධාරීන් සඳහන් කර ඇති අතර, ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ බලශක්ති පිරිවැයකට මුහුණ දෙන බව පෙන්වා දී තිබේ. එසේම වරාය සහ සැපයුම් අංශයේ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව නිසි පරිදි පවත්වා ගනිමින් සමස්ත ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ද ලෝක බැංකු නියෝජිත පිරිස අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාව කලාපීය රටවලට සාපේක්ෂව රාජ්‍ය සේවයේ අඩු වැටුප් මට්ටම් සහ විශාලතම ශ්‍රම බලකායක් පවත්වාගෙන යන රටක් බව ද ඔවුහු පෙන්වා දී ඇත.
