
ළමුන්ට දඬුවම් කිරීම සහ ලැජ්ජාවට පත්කිරීමට එරෙහිව මාලිමා ආණ්ඩුව ගේන්න යන අලුත් පණත මම කියෙව්වේ නැහැ. හැබැයි ලංකාවේ වැඩිහිටියන් සහ ගුරුවරුන් කරන ප්‍රධාන වරදක් සම්බන්දයෙන් ගත්තම පණත නොකියවාම මම මේක ලියනවා.
ඇත්තටම කායික දඬුවම් වලටත් වඩා මෙතන තියෙන්නේ මානසික දඬුවම්. කායික හෝ මානසික දඬුවම් හරහා කරන්නේ අනෙක් ළමයි හෝ ගුරුවරුන් ඉස්සරහා අදාල ළමයා (වරදක් කරා යැයි සිතන දරුවා) ලැජ්ජාවට පත්කිරීම (humiliation).
ඔය කොන්ඩේ බාගෙට කැපීම, ගවුමේ වාටිය ලෙහීම, අඩු තැන්වලට රෙදි කෑලි එල්ලීම වගේ දේවල් අයිති වෙන්නේ ඔන්න ඔය ලැජ්ජාකරණය සම්බන්ද පැත්තට. මම නම් හිතන්නේ මේ ලැජ්ජාව හරහා පෞරුෂ ඇඳවැටීමක් වෙනවා කියන එක. හෝ ගොඩක්ම ශක්තියක් නැති කෙනෙක් රෝගී පවා වෙන්න පුළුවන් කියන එක.
ඒ නිසා අත තියන්න දෙන්න හොඳ නැහැ දරුවන්ගේ ඇඟට හෝ ඇඳුමට. හෝ වෙනයම් මොකක් හෝ විදියක ලැජ්ජා කිරීමකට. අපි ඕව කාල ඇවිල්ල තියෙන්නේ. ඒ නිසා මෙතැනින් එහාට යන්න දෙන්න හොඳ නැහැ. යුගයක් ඉවර කරන්න කාලය හරි.
අනික ගොඩක් ඉන්නේ වැඩවසම් මනසක් සහිත ගුරුවරු. වික්ටෝරියන් අදහස් තියන ගුරුවරු. ඒ නිසා නියාමනයක් අවශ්‍යයි. කලින් හිටපු වැඩවසම් පාලකයින්ට මේවා අවශ්‍ය උනේ නැහැ. දැක්ක උනත් ඇස් කන් පියාගෙන හිටිය.
එහෙනම් දැන් කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? තියනවා. ඒ තමයි වචනය.
වචනය තමයි වැදගත්. වචනය හරහා නිවැරදි කරන්න හෝ වෙනස්කරන්න උත්සාහ කරන්න ඕනි. සහ ආදරය මුසුවෙච්ච වචනය. සමාජ ප්‍රගමණය වෙනුවෙන් වෙනස්වීම. ආසියාවේ වෙනස. අපි කොහොමද පරක්කුවෙලා හරි ඒ දියුණු තැනට යන්නේ. මේ සියල්ල එක්ක දේවල් දුවා දරුවන්ට කියලදෙන්න ඕනි.
කෝටුව ගන්න එක ලේසියි. වාටි ලිහන එක ලේසියි. වචනය හරහා ගමන් කරන එක අමාරුයි.
අමාරු විදියට හුරුවෙමු!
