
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරට ඇප ලබා දීම සම්බන්ධයෙන් ලබන 02 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට නොතීසි නිකුත් කරමින් අද (26) නියෝග කළේය.
මනුෂ නානායක්කාර විසින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා වග උත්තරකරු කරමින් පැවරූ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයත් සලකා බැලීමෙන් පසුව මෙම නොතීසිය නිකුත් කළේය.
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යැවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අනුව අත් අඩංගුවට පත් වුවහොත් ඇප ලබා ගත හැකි වන පරිදි පුර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කෙරිණි.
පෙත්සම්කාර නානායක්කාර මහතා පසුගිය 24 දින ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබසින විටම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අල්ලස් කොමිසමට පැමිණෙන ලෙසට ලිපියක් භාරදී ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
අදාළ විමර්ශන සම්බන්ධයෙන් පෙත්සම්කරු විසින් ලිඛිතව අල්ලස් කොමිසමට කරුණු ඉදිරිපත් කර ඇති බවත් අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස මෙම පෙත්සම ගොනු කරන බවත් නීතීඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
