පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්?

ගාමිණී වියන්ගොඩ

අධිකරණයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් වෙනස් ආකාරයක නියෝගයක් නොලැබුණොත්, මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම කියයි. මැතිවරණය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 10 ක් වෙතැයි ගණන් බලා තිබේ. එහෙත්, මැතිවරණය පැවැත්වීම සඳහා මේ මොහොතේ අවශ්‍ය කරන්නේ මිලියන 8 ක් පමණකැයි මැතිවරණ කොමිසම කියයි. ඉතිරිය, මාස කිහිපයකට පසුව පියවිය හැකි වියදමකි. උදාහරණයක් වශයෙන්, ඡන්ද පත්‍රිකා ඇතුළු අනෙකුත් ලේඛණ මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයට එම වියදම් පියවිය යුතු වන්නේ මැතිවරණය පැවැත්වීමෙන් මාස තුනකට පමණ පසුව ය.

එහෙත් මේ කියන වියදම හෙවත් රුපියල් බිලියන 8 පවා ලබා දීමට තමන්ට හැකියාවක් නැති බව මහභාණ්ඩාගාරය මේ වන විට කියා තිබේ. එසේම, පස්සෙ දෙන්නම් කාසිවලට දැන් වැඩ කිරීමට හැකියාවක් නැති බව පොලිස්පතිවරයා කියා ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි. ඉදිරි සතිය හෝ දෙක ඇතුළත, එවැනි තවත් දෙපාර්තමේන්තු සහ ආයතනත්, මේ සම්බන්ධයෙන් තමන්ට දැරීමට සිදුවන වියදම් කල්තියා නොලැබෙතොත්, ඡන්ද කටයුතුවලින් කරඇරීමට තීරණය කරනු ඇතැයි සිතිය හැක.

ඊට අමතරව, පළාත් පාලන මැතිවරණයක් මේ මොහොතේ අවශ්‍ය නොවන බවට අදහසක් දැන් ඉතා වේගයෙන් සහ ජවයෙන් යුතුව සමාජගත කෙරෙමින් තිබේ. පසුගිය දිනවල සමාජ මාධ්‍ය අවකාශය තුළ පෙනී සිටි, ඉස්සර-ප්‍රජාතන්ත්‍රවාදියෝ සහ ඉස්සර-මානව හිමිකම් ක්‍රියාකාරිකයෝ, මේ මතය උජාරුවෙන් පතුරුවති. එයින් ඇතැමෙකු මේ මැතිවරණය හඳුන්වා තිබුණේ, ‘කතිර සෙල්ලම’ නමැති උපහාස නාමයෙනි. එම කෙනාම මෙසේද සඳහන් කොට තිබුණි: “මැතිවරණ, ධනේශ්වර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මෙවලමක් බව බාහු සහෝදරයා අපට උගන්වා ඇත.” මේ කියන ‘බාහු සහෝදරයා’ ඒ පාඩම කියාදෙන තෙක් කෙනෙකු ඒ ගැන නොදැන සිටීමේ විහිළුව මොහොතකට පැත්තකින් තිබ්බත්, මෙවැනි මොහොතක එවැන්නක් උද්ධෘතයට ගන්නේ, “තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටින්න සහ පෙනී සිටින්න” යැයි තමන්ගේම එෆ්.බී. පිටුවේ උඩින්ම එල්ලාගෙන සිටින කෙනෙකු බව පෙනී යයි.

ඉස්කෝල කාලේ විභාගයක් ළං වන විට ලෙඩ වෙන සමහරු සිටියහ. කෙනෙක් මුළු විභාග කාලය පුරාම ලෙඩ වූහ. තවත් සමහරු ඇතැම් විෂයයන් ඇති දිනවලට පමණක් ලෙඩ වුහ. මැතිවරණ යනු ‘ධනේශ්වර…’ වැඩක් බව මේ මොහොතේ නිකමට මෙන් කෙනෙකුගේ මතකයට ඒම, “තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටින්නැ” යි අනිත් පැත්තෙන් තමන්ගේ එෆ්.බී. පිටුවේ එල්ලාගෙන සිටින කෙනෙකුට වැලඳෙන එවැනි හොර ලෙඩක් යැයි අනුමාන කළ හැකිය.

මීට දින කිහිපයකට කලින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා සියලු දිසාපතිවරුන් වෙත ලියුමක් නිකුත් කොට තිබුණි. එයින් කියැවුණේ, පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කෙරෙන ඇප මුදල් භාර නොගන්නා ලෙසයි. එය කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් ප්‍රකාරව යැවූ ලියමනක් බව ලේකම්වරයා සඳහන් කොට තිබුණි. මෙවැනිම කතාවක් කැබිනට් ලේකම්වරයා විසින්ද කියා තිබුණි. මේ සම්බන්ධයෙන් ඊයේ (19) පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා ප්‍රකාශ කෙළේ, එවැනි තීරණයක් කැබිනට් මණ්ඩලය ගෙන නැති බවයි. එසේ නම් බොරු කියන්නේ කවුද? අමාත්‍යාංශ ලේකම්වරයා සහ කැබිනට් ලේකම්වරයාද, නැතිනම් අගමැතිවරයාද?

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා සහ කැබිනට් ලේකම්වරයා මෙවැනි බරපතළ බොරුවක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට තරම් සාහසික වෙතැයි සිතිය නොහේ. පැහැදිලිවම, ජනාධිපතිවරයා හරහා සහ ඔහුගේ අභිමතය පරිදි, කැබිනට් මණ්ඩලය ඔස්සේ හෝ ඊට පිටින්, මෙම තීරණය පහළට කාන්දු වී ඇතැයි අපට සිතාගත හැකිය.

දේශපාලනික වගකීමට කරඅරිමින්
ආර්ථික වගකීමට උරදිය නොහැක

මේ අතර, තමා වෙත පැවරී ඇති වගකීම වන්නේ ආර්ථිකය ගොඩගැනීම මිස මැතිවරණ පැවැත්වීම නොවේ යැයි ජනාධිපතිවරයාමත් කියා තිබේ. ඔහු කියන මේ වගකීම, නායකයෙකු වෙත සැපයෙන ජනවරමට යටත් ය. ලංකාවේ ඇත්තේ ජනසම්මතවාදී පාලන ක්‍රමයක් නම්, ඒ තුළ රනිල් වික්‍රමසිංහට මොනම ජනවරමක්වත් නැති බව මුලින්ම කිව යුතුය. ඔහුගේ තනතුර දෙස, උඩින්-යටින් හෝ වමෙන්-දකුණෙන් ආදී වශයෙන් ඕනෑම පැත්තකින් එබී බලන්න. හැම අර්ථයකින්ම, ඔහු ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද නායකයෙකි. ව්‍යවස්ථානුකූල වීම සහ ජනවරම යනු එකක් නොව, දෙකකි. සැබෑ ජනසම්මතවාදය තුළ යමෙකුට මේ දෙකම එක විට තිබිය යුතුය. එහෙත් රනිල් වික්‍රමසිංහට ඇත්තේ, ව්‍යවස්ථානුකූල භාවය පමණි. ඔහු පත්කරගෙන ඇත්තේ ජනතාව විසින් නොව, පාර්ලිමේන්තුව විසිනි. වර්තමාන පාර්ලිමේන්තුව යනු, හිටපු ජනාධිපතිවරයා දිවි ගලවාගෙන පලාගිය දා පටන්, සැබෑ ජනවරම අහිමි කරගත් ආයතනයකි. එබැවින් ඔහු සතු ‘ව්‍යවස්ථානුකූල භාවය’ තුළ පවා සුජාත භාවය නැත. (ඊළඟ ජනාධිපතිවරණයක් පැවැත්වෙන තෙක් ඔහුගේ ව්‍යවස්ථානුකූල භාවය අප පිළිගත යුතු බව වෙනම කතාවකි).

කෙසේ වෙතත්, එහිදී අප ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. ආර්ථිකය ගොඩගැනීමට තමන්ට වගකීමක් ඇතැයි ජනාධිපතිවරයා කියන විට එහි අරුත වන්නේ, තමා පත් වූ ව්‍යවස්ථානුකූලත්වය ඔස්සේ එම වගකීම තමන් වෙත පැවරී ඇති බවයි. මන්දයත්, යම් හෝ වගකීමක් ගැන කතා කිරීමේ කිසියම් හෝ අයිතියක් ඔහුට ඇතොත්, එය ව්‍යවස්ථාව යටතේ පමණක්ම ඔහු වෙත පැවරුණු වගකීමක් වන බැවිනි. එසේ නම්, එම ව්‍යවස්ථාව තුළම ඇති තවත් වගකීමක් වන, නිසි කාලයට මැතිවරණ පැවැත්වීමේ වගකීමද ඔහු වෙත පැවරෙයි. එක වගකීමක් පමණක් භාරගෙන තවත් වගකීමකින් කරඇරීමේ අයිතියක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිමාන තුළින් ඔහුට සැපයෙන්නේ නැත.

ප්‍රජාතන්ත්‍රවාදී ධර්මතා සහ ආදර්ශ ගැන කතා කිරීමෙන් පලක් නැති බව ඇත්ත. ජනතාව විසින් තමාගේ ආසනයෙන් පවා ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසු, තමන්ගේ පක්ෂයට ලැබුණු එකම ජාතික ලැයිස්තු ආසනයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට හිත හදාගත් දා පටන්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිමාන සහ ආදර්ශ ඔහු පැත්තකින් තිබ්බේය. ඉතිං, ඉදිරියට ඇති ඉතිරි අවුරුදු දෙක, හැකි සෑම අයුරකින්ම, තමාගේ හෝ තම පාර්ශ්වයේ පුස්ස ඇස්පනාපිට ප්‍රදර්ශනය වීම හැකිතාක් වැළැක්වීම අරභයා යෙදවීම ඔහුගේ ආශාව වනු ඇත. ඒ සන්දර්භය තුළ, මොන ක්‍රමයකින් හෝ පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට හෝ නොපවත්වා සිටීමට ඔහු ගන්නා සියලු ක්‍රියාමාර්ග සමාන වනු ඇත්තේ, විභාගය ළං වන විට ඉහතින් කී ශිෂ්‍යයන්ට හැදෙන ලෙඩරෝගවලට ය. විභාගයෙන් ෆේල් වීමට වඩා විභාගයට වාඩි නොවීම ගෞරවාන්විත ය.

සීමා නිර්ණය කොමිසම

පළාත් පාලන සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8000 සිට 5000 දක්වා අඩු කිරීම අරමුණු කරගෙන අලුතෙන් පිහිටවූ සීමා නිර්ණය කොමිසම වනාහී, පළාත් පාලන ඡන්දය කල්දමා ගැනීම සඳහා ගැසීමට යන උප්පරවැට්ටියක් යැයි එදා විපක්ෂය කියූ චෝදනාව මේ ලියුම්කරු පිළිගත්තේ නැත. ඒ චෝදනාව නැඟුණු මුල් අවස්ථාවේ එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පුනපුනා කී කාරණා දෙකක් තිබුණි. එකක් වුණේ, පළාත් පාලන ඡන්දය කල්දැමීමකට බලපාන ආකාරයෙන් තමන්ගේ රාජකාරිය පමා කිරීමක් කිසි ලෙසකින්වත් සිදු නොවන බවයි. එසේම, අහවල් කාලයේදී ස්ථිරවම තමන්ගේ කාර්යය අවසන් කළ හැකි බව ඔහු සපථ කොට සිටියේය. ඔහු කී දෙවැනි කාරණය වුණේ, තමන්ගේ කටයුත්ත සහ පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ හැකියාව අතර සහසම්බන්ධයක් නැති බවයි.
එහෙත් මේ කාරණා දෙකම දැන් බොරුවක් වී ඇති බව පෙනේ. මුලින්ම, තමන් කලින් පොරොන්දු වූ නියමිත කාලයේදී මොන විදිහකින්වත් තමන්ගේ රාජකාරිය අවසන් කිරීමට පුළුවන්කමක් නැති බව මහින්ද දේශප්‍රිය දැන් කියයි. එය, මුලින් ඔහු දුන් නිත්‍ය පොරොන්දුවක් කඩ කිරීමකි. (තමන්ට පැවරුණු රාජකාරිය එකී නියමිත කාලයේදි අවසන් කරගැනීමට නොහැකි වී ඇති හේතු ගණනාවක්ද ඔහු දක්වා තිබේ. එහෙත් ඒ සෑම හේතුවක් පිළිබඳවම කල්තියා දැන සිටීමේ හැම අත්දැකීමක්ම සහ දැනුමක්ම ඇති පුද්ගලයෙකු වශයෙන් එදා එතරම් විශ්වාසයකින් ඒ ගැන දිව්රා පොරොන්දු වීම ඔහු නොකළ යුතුව තිබුණි). කෙසේ වෙතත්, ඡන්දය කල්දැමිය යුතුව ඇතැයි කියන පිරිස් අද ඔහුගේ මේ පමාවත් ඊට හේතුවක් වශයෙන් ගෙනහැර දක්වති. ඒ අනුව බලන කල, සීමානිර්ණය කොමිසමක් අලුතෙන් පත්කෙළේම පළාත් පාලන ඡන්දය කල්දමා ගැනීමේ අදහසින් යැයි එදා විපක්ෂය කියූ චෝදනාව අද සනාථ වෙමින් තිබෙන සෙයක් පෙනේ.

මැතිවරණයට පමණක් අකුල් හෙලන
රුපියල් ශත

මේ වෙලාවේ හැටියට රුපියල් බිලියන 10 ක් (ඇත්ත වශයෙන්ම නම්, බිලියන 8 ක්) පළාත් පාලන ඡන්දය වෙනුවෙන් වැය කිරීමට හැකියාවක් නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා ඇත. ඡන්ද පැවැත්වීම වෙනුවට එම මුදල මෙවර වී අස්වැන්න මිලදී ගැනීම සඳහා වැය කළ හැකි යැයි කෘෂිකර්ම ඇමතිවරයා කියා ඇත. තවත් ඔහුගේ සගයන් බොහොමයක් දෙනා වෙනත් විධිවලින් ඒ කාරණයම කියා ඇත. ඔව්, මේ අහේනිය අස්සේ පළාත් සභා මැතිවරණයක් වෙනුවෙන් වැය කරන රුපියල් බිලියන 8 රටේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් වැය කරන්නේ නම් යහපත් යැයි කෙනෙකුට ඉතා පහසුවෙන් කිව හැකිය. එහෙත්, ඒ තර්කය පිළිගැනීමට නම්, ආණ්ඩුවේ වෙනත් වියදම් සම්බන්ධයෙන්ද එවැනිම ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව අපට පෙනී යා යුතුය. එවැන්නක් මොන පැත්තකින්වත් පෙනෙන්ට නැත. මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප් වර්ධක සම්බන්ධයෙන්වත්, ඔවුන්ගේ වෙනත් වියහියදම් සම්බන්ධයෙන්වත් එවැනි වියදම් කපා හැරීමක් පෙනෙන්ට නැත. එසේම, තව සති දෙකකින් එළැඹෙන ඊනියා නිදහස් උත්සවය වෙනුවෙන් වියදම් කිරීමට නියමිත අති විශාල මුදල සම්බන්ධයෙන්වත් (රුපියල් මිලියන 200) මේ තර්කය ආණ්ඩුව පැත්තෙන් ගන්නා බවක් පෙනෙන්ට නැත. එසේ නම්, පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පමණක් ආණ්ඩුව ඉදිරිපත් කරන හේතුවාචකය ප්‍රතික්ෂේප කිරීමට අපට සිදු වෙයි.

අනිත් පැත්තෙන්, පළාත් පාලන මැතිවරණයක් යනු මේ මොහොතේ හදිසි අවශ්‍යතාවක් නොවන්නේද යන ප්‍රශ්නය පැනනඟී. ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ මහා පෙරළි සිදු වී ඇති වකවානුවක, මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයෙකු මහජනයා විසින්ම ගෙදර යවා ඇති වකවානුවක, පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය හැම අතකින්ම බාල්දු වී ඇති වකවානුවක, ඒ සියල්ලටමත් වඩා මහජනයා විසින් සෘජුවම ප්‍රතික්ෂේප කරන ලද කෙනෙකු රටේ මුල් පුටුවේ වාඩි වී සිටින වකවානුවක, හැකිතාක් ඉක්මණින් රටේ දේශපාලනික දේහය ප්‍රකෘතිමත් තත්වයට පත්කළ යුතුව තිබේ. විධායකය (ජනාධිපති) සම්බන්ධයෙන් ගත්තත්, ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) සම්බන්ධයෙන් ගත්තත්, අද පවතින්නේ එක්තරා ආකාරයක අන්තර්-කාලීන විකෘතියකි. ඒ වනාහී, දේශපාලනික වශයෙන් බෙල්ලට හිර වූ සුවිශේෂී තත්වයක් තුළ ඇති කරගැනීමට බලකෙරුණු, අතරමැද ගනුදෙනුවකි. එතැනින්, වහා ජනසම්මත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට අප එක්විය යුතුව තිබේ. පළාත් පාලන ඡන්දයකින් ආණ්ඩුවක් වෙනස් වන්නේ නැත. එහෙත් ආණ්ඩුවක වලංගු භාවය/අවලංගු භාවය එයින් නිරූපණය කෙරෙනු ඇත. එය, රටේ ප්‍රජාතන්ත්‍රවාදී සෞඛ්‍යය සඳහා අත්‍යාවශ්‍ය වන, හදිසි කොන්දේසියකි.

ප්‍රයෝගයක මහත!

සමහර බොරු, විශාල හිල් සහිතයි. රනිල් වික්‍රමසිංහගේ ‘ව්‍යවස්ථාමය’ වලංගුව තව අවුරුදු දෙකකි. එහෙත්, ඉදිරි අවුරුදු 25 සඳහා වන ‘නොවෙනස්’ රාජ්‍ය ප්‍රතිපත්තියක් තමන් තනන්නේ යැයි ඔහු කියයි. එසේ කරන්නේ කෙසේද? පෙබරවාරි 4 වැනිදා නිදහස් උත්සවයේදී එය වාචිකව ප්‍රකාශයට පත්කිරීමෙන්ද? ඉහතින් පෙන්වා දී ඇති පරිදි, දැඩි සමාජ අස්ථාවරත්වයක් මැද්දේ, සෘජු මහජන අනුමැතියකින් තොරව, කෙටි කාලයකට බලයට පත් නායකයෙකුට, අවුරුදු 25 ක් වැනි දීර්ඝ කාලයක් සඳහා ‘නොවෙනස්’ වන රාජ්‍ය ප්‍රතිපත්තියක් සැකසිය හැකි යැයි කීම තරම් විහිළුවක් තවත් තිබිය හැකිද? එය සමාන වන්නේ, පෙබරවාරි 4 වැනිදාාට කලින් ලංකාවේ ‘ජාතික ප්‍රශ්නය’ සඳහා විසඳුමක් සොයාගත හැකි යැයි මීට සති කිහිපයකට කලින් ඔහු කී කතාවටයි.

කරුණු එසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ ලියුම්කරු කෘතවේදී වන එක ප්‍රධාන කාරණයක් තිබේ. එනම්, අබමල් රේණුවක සැකයකට කිසි ඉඩක් නොතියා, දේශපාලන කඳවුරු අතර සමීකරණය ඔහු විසින් සරල කර දීමයි. පළාත් පාලන මැතිවරණය යම් හෙයකින් පැවැත්වෙතොත්, එහිදී රාජපක්ෂලාගේ පොහොට්ටුව සමග සන්ධානගත වීමට මේ වන විට ඔහුගේ පක්ෂය තීන්දු කොට තිබේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ වාටියක්වත් තවදුරටත් ඔහු අතේ ඉතිරි නොවන බවට එය අගනා සාක්ෂියකි. ‘රනිල් රාජපක්ෂ’ යනුවෙන් ඇතැමුන් විසින් ඔහු හඳුන්වනු ලැබීම, ඒ අතින් ගත් විට, දැන් නම් අර්ථවත් ය.

 

Social Sharing
නවතම විශේෂාංග