නිව්සීලන්ඩ් ජසින්‍තා ආන්ටි සහ අපේ සීයා පප්පලා…!!

– කේ. සංජීව –

ජසින්ඩා ආර්ඩන් නවසීලන්තය අගමැති. ඇය සිය ධුරයට සමුදෙන්න තීරණය කරලා. ඒ ජනතාව එයා ප්‍රථික්ෂේප කරපු නිසා නම් නෙවෙයි. එයා තවමත් නවසීලන්තයේ වැසියන් අතර විතරක් නෙවෙයි ලෝකයේම ජනප්‍රිය යි. ඒත් ඇය අයින් වෙන්න, ධුරය අතාරින්න තීරණය කරලා. ඇය බෞද්ධ ද කියන්න මම දන්නෙ නෑ. ඒත් ඇය අගමැති පුටුවෙන් නැඟිටින්න තීරණය කරලා.

ඉතිං පෙබරවාරි 7 අගමැති ධුරයට ආයුබෝන් කියන්න ලෑස්තිවෙන ජසින්ඩා මේ නික්ම යෑම ගැන කරපු ප්‍රකාශයක් Mahesh Hapugoda එයාගේ සටහනේ මෙහෙම ලියනවා.

”ආයෙත් පාරක් චන්දෙ ඉල්ලන්න තරම් මට ශක්තිය නැහැ කියල හිතෙනවා. රටක් පාලනය කරනවා කියන්නේ අතිශයින් දුෂ්කර සහ වෙහෙසකර වැඩක්. ඉතාම බාරදූර වැඩක්. ඉතින් තමන්ගේ ශක්තිය ටැංකි පුරවල තියෙන්න ඕනි. අමතරව එන එක එක අනපේක්ෂිත වැඩ වෙනුවෙන් පුරවපු ටැංකියට අමතරව තව පොඩ්ඩක් වැඩිපුරත් තියෙන්න ඕනි..

රටේ නායකත්වය නැවත ගන්න තරම් මගේ ටැංකියේ තෙල් තියනවා කියල මම හිතන්නේ නැහැ. ඒ නිසා ඒ වැඩේට සාධාරණයක් ඉටු කරන්න මට බැරිවේවි. ඒ නිසා මගේ රටේ මිනිස්සුන්ට සාධාරණයක් වෙන එකක් නැහැ…

අවුරුදු හයකට පස්සේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි…අපිත් මිනිස්සු. දේශපාලඥයෝ කියන්නෙත් මිනිස්සු. අපි හැමෝටම නිවාඩු ඕනි. පිටවීමේ තැනක් තියෙන්න ඕනි.

මගේ ජීවිතයේ මා දරුව වැදගත්ම තනතුර වෙච්ච නවසීලන්ත අගමැති ධූරය මට ලබාදුන්න නවසීලන්ත වැසියන්ට ස්තුතිය…”

මේ නික්ම යෑමේ නිවේදනය මහේෂ්ගේ බිත්තියේ එල්ලලා තියෙනවා දැකලා කියෙව්වාම මට මුලින්ම මතක් වුණේ මහින්ද රාජපක්ෂ කියන සීයා.

එයා ඩයලසීස් කරනවා බෙහෙත් බිබී තමයි ජීවත් වෙන්නේ වගේ කයි කතන්දර අස්සේ වුණත් මිනිහා තවමත් රූකඩයක් වගේ වැනෙමින් ලදැල්ලක් වගේ සහායකයාට බරදීගෙන පාර්ලිමේන්තුවට එනවා. සමහර වෙලාවට නින්ද යනවා. සමහර වෙලාවට කටේ දෙපැත්තෙන් කෙළ බේරෙනවා. සමහර වෙලාවට මලානිකව වැටෙන්න යනවා.

සුවසේ විශ්‍රාමිකව තමන් රටට කළ සේවය මතක් කර කර නිර්වාන් ට මැදමුලනෙ අතීත විභූතිය ගැන කයි කතන්දර කියකිය ඉන්න ඕනී මිනිහෙක් මේ මොන කරුමෙකටද කරගහලා තියෙන්නේ කියලා හිතෙනවා. ඇත්තටම ඒක පවක් නෙවෙයිද?

ඒත් මිනිහට රට පාලනයට තවමත් තෙල් තියෙනවා කියලා මිනිහා විතරක් නෙවෙයි රටවැසියෝත් හිතනවා.

මෙහෙම බැලුවාම තෙල් ඉවරවුණා කියලා පේන කී දෙනෙක් නම් තමන්ගෙ අබල දුබල වාහනය තල්ලුකරගෙන අමාරුවෙන් තවමත් මේකේ එල්ලිලා ඉන්න කොච්චර ගේමක් ගහනවාද? මුන් එකෙක්ටවත් තමන්ගේ ටැංකියෙ දැන් තෙල් ඉවරයි කියලා නොතේරෙන්නේ ඇයි?

ඒකට හේතුව තමයි දේශපාලන සංස්කෘතියක් නැතිකම. දේශපාලනය කියන බිස්නස් එකට වයස් සීමාවක් නැතිබව විශ්වාස කිරීම. මේ දේශපාලන සංස්කෘතියක් නැති නිසා තමයි ඔය කොමිසම් සභා වගේ දියුණු මොඩලයන් ලංකාවේ වැඩ කරන්නේ නැත්තේ. පත්වෙන ජනාධිපති ගේ තේජස උඩ තමයි ඒවෑ ක්‍රියාකාරීත්වය තීරණය වෙන්නේ.

ඉතිං නිව්සීලන්තයෙ ජසින්තා ආන්ටි සමුගන්න කල්පනා කළාට මෙහේ සීයා පප්පලා එහෙම නෑ… !

 

Social Sharing
නවතම විශේෂාංග