සිංගප්පූරු සංචිත අර්බුදය

– උදන් ප්‍රනාන්දු –

මීට සතියකට දෙකකට පෙර ය ලූෂන් බුලත්සිංහලයන්ගේ උපන් දිනය සමරුණේ. ඔහු දැන් සිටින්නේ අට වැනි දශකයේ එළිපත්තේ ය. ගේය පද රචකයෙක් හා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙන් ලෙස බුලත්සිංහලයන් තම ජීවිත කාලය තුල ලාංකීය සමාජයට දායාද කළ නිර්මාණ සදාකාලික වනු නිසැක ය. ඔහු අධ්‍යක්ෂණය කළ නාට්‍ය අතුරින් වඩාත් ම ජනප්‍රිය වුනේ 1981 දී නිෂ්පාදිත ‘තාරාවෝ’ ඉගිලෙති නාට්‍යය විය හැක. ප්‍රහසනයක වූ මේ නාට්‍යයේ ඇතුලත් ගීත එකොළහ අතුරින් කිහිපයක් — සොබාව දේ, මඩේ ලගින තාරාවන්, කඩේට පලයන් චූන් චෑන්. ආදී — අද තෙක් ම ජනප්‍රිය ව පවතී. නාට්‍යයේ කතා වස්තුව ස්ථානගත වන්නේ සිංගප්පුරුවේ වීම එක්තරා සුවිශේෂයකි. පරිවර්තන නාට්‍ය බටහිර යුරෝපීය, නැගෙනහිර යුරෝපීය, විශේෂයෙන් රුසියානු, හා උතුරු ඇමෙරිකානු සංදර්භවල ස්ථානගත වනු අප දැක ඇති අතර, සිංගප්පුරුව වැනි කුඩා රටක දිග හැරෙන පළමු හා එක ම නාට්‍යය තාරාවෝ ඉගිලෙති විය හැක. දකුණු ආසියාව ගැන 80 දශකයේ ලාංකීය බොහෝ දෙනෙකුට වඩු අවබෝධයක් නොතිබුණ අතර, තාරාවෝ නාට්‍යය සිංගප්පුරු සංස්කෘතිය වෙත ඇරුණු කවුළුවක් විය. නාට්‍යයේ එන කඩේට පලයන් චූන් චාන් ගීතයේ එන කොටසකි ‘කෑමට බීමට රුසියෝ – මේ සිංගප්පූරුවේ වැසියෝ’යන්න.

යට කී ප්‍රකාශය නම් සහතික ඇත්ත ය. කෑම බීම සිංගප්පූරු සංස්කෘතියේ හදවත වැනි ය. නිවසේ උයනවාට වඩා සිංගප්පූරු වැසියන් කැමති පිටතින් ආහාර බුදිනට ය. හෝකර් සෙන්ටර් ලෙස හැඳින්වෙන කුඩා කෑම කඩ ගණනාවක් එක ම වහලක් යට ඇති ආපන ශාලා සිංගප්පූරුවේ සුලභ දසුනකි. මැක්ස්වෙල් නමින් හැඳින්වෙන සුප්‍රසිද්ධ හෝකර් සෙන්ටරයේ කෑම කඩ සියයකට වඩා ඇත. ෆුඩ් කෝට් නමින් ලංකාවේ ඇත්තේ මේ ක්‍රමයේ කුඩා පරිමාණයේ එකකි. හෝකර් සෙන්ටර් කෑම මිල අධික නොවන බැවින් ඒවා සෑම විටක ම පිරී ඉතිරී පවතී. හෝකර් සෙන්ටර් නොවන ආපන ශාලා ද එසේ ය. ආපන ශාලා දිනකට හෝ දෙකකට හෝ වැසුණහොත් සිංගප්පුරු වැසියන් දැඩි අසහනයට පත් වේ.

හෝකර් සෙන්ටර්වල සිට තරු හෝටලවලත් සිංගප්පූරුවැසියන්ගේ ජනප්‍රිය ම ආහාර ය වන්නේ ‘චිකන් රයිස්’ ය. සමහරු කියන්නේ චිකන් රයිස් සිංගප්පූරුවේ නිල නොවන ජාතික ආහාරය බව ය. චිකන් රයිස් වට්ටෝරුවේ මූලාශ්‍රය චීනයේ දකුණු ප්‍රාන්තයක් වන හයිනාන් ය. බත ඉදින්නේ ඉඟුරු හා සුදුළුනු මිශ්‍රිත කුකුළු සාරයේ ය. කුකුළු මස් කැබැලි ළුණු කොළ, ගම්මිරිස්, සුදු ළුණු හා ලුණු පදමට එක්කොට ‘පෝච්’ ක්‍රමයට තම්බා ගෙන ඉන් පසු ව අයිස් තට්ටුවක අහුරන්නේ එහි නැවුම් බව රැක ගැනීමට ය. කුකුළු මස් කැබැල්ලක බත් සමග අනාගෙන පිපිඤ තීරුවක් සහ මිරිස් සෝස් ස්වල්පයක් මිශ්‍ර කර කටට හලා ගත් සැණින් සිංගප්පූරු වැසියෝ ක්ෂණික සූප සුරතාන්තයකට පිවිසෙති.

සිංගප්පූරු වැසියන්ගේ මේ දෛනික සුරතාන්තය එක වර ම අතර මග නතර වුණේ මැලේසියානු රජයේ නව ප්‍රතිපත්තියක දන ගැනීමෙනි. කුඩා රටක නිසා සිංගප්පූරුවේ සැලැකිය යුතු ආහාර නිෂ්පාදනයක සිදු නොවේ. දේශීය ආහාර පරිභෝජනය සඳහා අවශ්‍ය ආහාර ප්‍රමාණයෙන් සියයට අනූවක් (90%) ම කුමන හෝ රටකින් සිංගප්පුරුවට ආනයනය කෙරේ. සිංගප්පුරු කුකුළු මස් ආනයනයෙන් තුනෙන් දෙකක් පැමිණෙන්නේ දුර බැහැර ඇමෙරිකා එක්සත් ජනපදය හා බ්‍රසීලය වැනි රටවලිනි. මේ කුකුළු මස් එන්නේ සති ගණනවක තිස්සේ අට්ටි ගැසුණු අයිස් කුට්ටි විලස ය. නැවුම් කුකුළු මස් ආනයානය කෙරෙන්නේ අසල්වාසී මැලේසියාවෙනි. මේ ප්‍රමාණය ආනයනිත මුළු කුකුළු මස් ප්‍රමාණයෙන් තුනෙන් එකක වන අතර එය වඩා තීරණාත්මක වන්නේ ඒවා නැවුම් නිසා ය. තත්ත්වය මෙසේ තිබියදී ය මැලේසියාව ගහන ගෙඩි එන්නා සේ කීවේ ජූනි පළමු වැනි දින සිට සිංගප්පුරුවට කුකුළු මස් අපනයනය කිරීම නවතන බව ය.

තම කුකුළු වෙළෙඳපොලේ වෙනසක වෙමින් තිබීම මැලේසියානු තීරණයට හේතු වී ඇත. එනම් සමස්ත කුකුළු මස් නිෂ්පාදනයේ අඩු වීමක් වෙමින් පවතින බවයි. මීට ආසන්න හේතුව ලෙස හුවා දක්වන්නේ කුකුළු කෑම සැපයුමේ බාධාවන් ය. කුකුළු කෑම සනදහා අවැසි තිරිඟු සැපයුමේ විශාල බිඳ වැටීමක් ඇති කර ඇත්තේ රුසියානු-යුක්රේන ගැටුම ය. කෙසේ හෝ, තම රටේ දේශීය පරිභෝජනය හා අහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම මැලේසියාවේ අරමුණ යි. එම නිසා අපනයන තොගය ද දේශීය වෙළෙඳපොළට මුදා හැර ඉන් කුකුළු මස් සැපයුම ද මිල ද ස්ථාවර කිරීම මේ ප්‍රතිපත්ති තීරණයේ පසු බිමයි.

කෙසේ හෝ, මේ දුක්බර ආරංචිය කන වැකුණ වහා ම සිංගප්පුරුවැසියෝ මහත් සංතාපයට හා කලබලයට පත් වූ හ. සුපර් මාරකැට්ටු වෙත කඩා වැදුණු ජනතාව නැවුම් කුකුළු මස් කිලෝ දහය පහළොව කර ගහගෙන ගිය හ. පුවතක සඳහන් වුණේ එක් පවුලක් විශාල අධි ශීතකරණයක් අලුතින්ම මිල දී ගෙන එය කුකුළු මස් වලින් කට පිරෙන්න පුරවා ගත් බව යි. ශීතකරණ ලද කුකුළු මස් කිලෝවක් සිං-ඩොලර් හතරක් පමණ වේ. නැවුම් ‘කම්පොං’ හෙවත් ගං-කුකුළු මස් නම් සිං-ඩොලර දහයක් පමණ වේ. භාණ්ඩ හා සේවා අලෙවි කරන ඔන්ලයින් ප්ලැට්පෝමයක වන ‘කැරූසල්’ හි කුකුළු මස් සිං-ඩොලර අසූවකට පමණ වලේවි කිරීමට දැන්වීම පළ කර තිබේ. ලංකාවේ අරගලය ගැන පෝස්ටු පළවන වේගයට ම සිංගප්පූරුවේ සමාජ මාධ්‍ය වසා ගත්තේ කුකුළු මස් පෝස්ටු ය.

තත්ත්වයේ බරපතලකම දේශපාලන අධිකාරිය මැනැවින් වටහා ගති. සිංගප්පුරු අමාත්‍ය මණ්ඩලය දැනුමැති හා අත්දැකීම් ඇති පිරිසකි. අදාළ අමාත්‍යවරයා මාධ්‍ය ඉදිරිපිට පැමිණෙන්නේ වගකීමක් අතැති ව ය. කුකුළු මස් අර්බුදය හමුවේ ඉදිරියට ආවේ අමාත්‍ය මණ්ඩල සමාජිකයෙකු නොව අගමැති ලී ෂින් ලූන් ය. ඔහු සෑම සිල්ලර කාරනාවට ම අගමැති මාධ්‍යය ඉදිරියට නොපැමිණේ. කුකුළු මස් හමුවේ ජනතාව අස්වසන්නට ඔහුට තිබූ වුවමනා ව පැහැදිලි ය. ඔහු මුලින් කළේ ජනතාව තුල ඇති අවිනිශ්චිත හැඟීම් තමාට ද දැනෙන බව පිළිගැනීම ය. එසේ නැතිව මැලේසියාව සමග සිංගප්පූරුව කළ පරණ වීර ක්‍රියා ස්මරණය කිරීම නොවේ. දෙවනුව ඔහු ඉදිරිපත් කළේ කරුණු ඉදිරිපත් කිරීම යි. මාස හතරකට හා හයකට වැනි කාලයකට සෑහෙන තරම් කුකුළු මස් තොග සෑම විට ම ගබඩා කර තැබුම රජයේ ප්‍රතිපත්තිය බව කීම යි. රජයේ මෙහෙයුමෙන් හෝ ස්වාධීන ව මාධ්‍යය කළේ ඉහත කරුණ ඔප්පු කර ගත හැකි ආකාරයට ඒ ගබඩා පෙන්වමින් පුවත් ඇන්කරයින් ශීත කාමර වල සිට වාර්තා කිරීම යි. ඉන් අනතුර ව ය. අගමැති ජනතාවට රජයේ ක්‍රමික විසඳුම් මාලාව ඉදිරිපත් කළේ. කුඩා එකක වුව ද විපක්ෂය කළේ ආණ්ඩුවට හෝ මැලේසියාවට හෝ රුසියාවට දෙහි කැපීම නොවේ. තමන්ගේ ආණ්ඩුවක් යටතේ ‘සැමට සැමදා කුකුළු මස්’ දෙනු පිණිස වහා මහා මැතිවරණයකට යා යුතු බව ද නොවේ.

උපුටා ගැනීමකි.

Social Sharing

Related posts