රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වෙලා – කෝපා

නියමිත පරිදි ඖෂධ ගබඩා නොකිරීමේ හේතුවෙන් 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වී ඇති අතර, එම ඖෂධ තත්ත්වයෙන් අසමත් බව හඳුනා ගන්නා විටත් ඉන් 99%ක් රෝගීන් වෙත ලබා දී ඇති බවද කෝපා කමිටු වාර්තාවේ නිරීක්ෂණවල සඳහන් වේ.

මෙම තත්ත්වයෙන් අසමත් (quality fail) ඖෂධ පිරිවැය සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමටද නොහැකි වී ඇත.

වෛද්‍ය සැපයීම් අංශය සතු ගබඩාවල උෂ්ණත්වය නිසි ලෙස පවත්වා ගෙන නොයාම, වෛද්‍ය සැපයීම්, මධ්‍යම ඖෂධ ගබඩාවේ හා රෝහල්වල කොරිඩෝවල තැන්පත් කර තිබීම මෙම තත්ත්වයට හේතුව බව එම කමිටුව නිරීක්ෂණය කර ඇත.
ඖෂධය ලැබුණු වහාම තත්ත්වයෙන් අසමත් බව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගේ ඇපකරයෙන් අය කර ගැනීමට හැකි බවද, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඖෂධ 60ක තත්ත්ව පරීක්ෂාව සිදු කළ හැකි නම් මෙම තත්ත්වය තරමක් දුරට හෝ මග හරවා ගත හැකි බවද මෙහිදී සාකච්ඡා වී ඇත.

මෙහිදී වෛද්‍ය සැපයුම් අංශය විසින් තත්ත්වයෙන් අසමත් ඖෂධ හෝ වෛද්‍ය සැපයුම් පිරිවැය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් අය කර ගැනීම වෙනුවට අදාළ සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමට කටයුතු කළ යුතු බවට කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කොට ඇති බව වාර්තා වෙයි.

Social Sharing
නවතම