වරායේ හිරවුණ අල ලූණු නිදහස්!

ඩොලර් නොමැතිකමින් වරායේ සිරවී තිබුණ ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1237ක් නිදහස් කරගැනීමට අදාළ සියලු තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යාවා ඇතැයි පසුගිය 21 දා රාත්‍රියේ පැවති කැබිනට් මණ්ඩලයේ දී බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

මෙහිදී මෙම කන්ටේනර් වහාම නිදහස් කරන්නටත් එමගින් උත්සව සමයේ අල ලූණු පරිප්පු වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල වෙළඳපොළ හිඟය සමනය කරන්නටත් කටයුතු කරන බව සාකච්ඡාවී ඇත.

මෙම කැබිනට් හමුවේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු බවය. ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 50ක ණය මුදලක් ලැබී ඇතැයි සඳහන් කර ඇති ඔහු ඒ අනුව මේ වනවිට අදාළ ඇනවුම් සඳහා කටයුතු කරමින් ඇතැයි ප්‍රකාශ කර ඇත.

මීට අමතරව ඉන්දීය ණය ආධාර යටතේ ආහාර ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 150 ක ණය මුදලක් ලැබී ඇතැයිද ඒ අදාළ මුදල්වලින් එම ද්‍රව්‍ය ගෙන්වීම සඳහා කටයුතු කරන බවද මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුන් දී ඇත.

Social Sharing
නවතම