ප්‍රගීත් රත්නායකගේ හත්වන ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය Human Scape කියන නමින් මාර්තු 3,4,5,6 යන දිනවල පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී පැත්වෙනවා. මේ ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ අයිතිය වෙබ් අඩවිය කළ කතාබහක්.
- Human Scape කියන්නෙ මොකක්ද?
HumanAcape කියන වචනාර්ථයක් මම දන්නෙත් නෑ. ඇත්තටම එහෙම වචනෙකුත් නෑ. මේක මං හදන නමක්. Scape කියන දේට මනුස්සයා සම්බන්ධ කරාම මට දැනෙන දේ. ඒක මොකක්ද කියලා නිර්වචනය කරන්න මටත් බෑ
ඒක දැනීමක් එක්ක හැදිච්ච දෙයක්. සෞන්දර්යයක් ඇතුලෙ මිනිසාව දකිනවාට වඩා මම මේ ව්‍යුහයට ඇතුලු වෙලා ඒ ගුණයන් ටික ඇඟට ගන්න ට්‍රයි කරා.
- මේ තියෙන්නෙ එතකොට කොවිඩ් 19 නිසා හුදෙකලා වෙච්ච අවකාශයක ඇදිච්ච චිත්‍ර ටිකක්. එහෙම විත්‍ර ඇඳීම මොන වගේ දැනීමක්ද?
මේ human scape කියන දේ ගැන මම කොරෝනා එන්න පෙරත් හිතමින් හිටියා. කොහොම නමුත් ඒ අත්දැකීම හරිම වෙනස්. ඉස්සෙල්ලා සමාජයෙන් භූගෝලීයව විතරක් නෙවේ අවසානයට ගෙදර ඇතුලෙන් පවා වෙන් වෙනවා. ඒක ඇතුලෙදි එන trauma එකත් එක්ක තමයි මම නොදන්න දේවල් ඇදෙන්න පටන් ගන්නෙ. එතකොට අපේ අවිඥානය එලියට එන්න පටන් ගන්නවා.
- මේක ඇතුලෙ” මිනිසා සහ සොබාදහම ” කියන දේට වඩා ” මම හා සොබාදහම” කියන දේ ඉස්මතුවන එන ප්‍රකාශන බොහෝමයි නේද?
අපට දෙයක් පිටින් බලලා වගේම ඒකට ඇතුලු වෙලත් විශ්ලේෂනය කරගන්න පුලුවන්. ඉතින් මම මේකට ඇතුලු වුනා. මම මේකේදි තෙවැදෑරුම් සම්බන්ධයක් ගොඩනගාගන්නවා. මම, මමත් එක්ක මම අනෙකාත් එක්ක හා මම පරිසරයත් එක්ක කියන මේ පද්ධතිමය සම්බන්ධය ඇතුලෙ තමයි මම මේ ගනුදෙනුව කරන්නෙ.
කොරෝනා කියන වචනය අපි අහන්නෙ මෑතකදිනෙ. එතකොට ඒක මොකක්ද? අපි තමයි ඒක නම් කරන්නෙ. ඒ වුනාට ඒක එන්නෙ කොහෙන්ද? එතකොට භාෂාවට ගේන්න බැරි අර්ථකතන ඉස්සර අපිව නැවැත්වෙනවා. දේවල් වෙනස් වෙනවා. විශ්ලේෂනය කරන්න අපි පෙලඹවෙනවා. සාමූහක වෙනවා කියන එක අපෙන් උදුරාගැනෙනවා. එතනදි ඇත්තටම මම මේක සමාජයට පටවන්න හැදුවට මම තමයි මේකෙන් නියෝජනය වෙන්නෙ.
මම මමත් එක්ක කරන අරගලය, මම අනෙකත් එක්ක තියෙන සම්බන්ධය හා මම පරිසරයත් එක්ක තියෙන සම්බන්ධයට. ඔය තුනෙන් මොකක් කඩා වැටුනත් පද්ධතිය කඩා වැටෙනවා. මම මගේ අවුල ලිහා ගත්තෙ නැත්නම් මට මගේ අවුල තේරෙන් නැත්නම් මට අනෙකාව සතුටු කරන්න බැහැනෙ. මම මගේ ego එක වැඩ කරන හැටි දැන ගන්න ඕන. මම විශ්වාස කරන දෙයක් තමයි artist කෙනෙක්ට ego එක නැත්නම් art කරන්න බෑ තියන එක. ඒක අවශ්‍යයි. එතකොට ඒක කොහොමද එලියට කරදරයක් නොවන අයුරින් තියාගන්නෙ කියන එක මම තේරුම් ගන්න උත්සාහ කරනවා.
- මේ චිත්‍ර බොහෝමයක කොහේ හෝ තැනක හඳක් ඇදලා ඒ මැද “රට” ලියවෙලා තියෙනවා,
ඒක මම පොඩි අතීතකාමයත් එක්ක කරපු වැඩක්. අපි පොඩි කාලෙ අපට කියලා තියෙන්නෙ හඳේ හාවෙක් ඉන්නවා කියලා. අපි ඒක ඇත්තටම විශ්වාස කරලත් තියෙනවා. එතකොට අපේ සංස්කෘතියත් එක්ක ර යන්න ට යන්න රට කියලා ලියලා අපි හාවා ඇඳලා තියෙනවා. ඒ මොහොතේ ළමයින්ගෙ මනසේ වැඩකරන පරිකල්පනය හරි ලස්සනයි. එතකොට තමයි හඳේ සෞන්දර්යය දැනෙන්න පටන් ගන්නෙ. දැන් අපට හඳ විද්‍යාවෙන් තේරෙනවා. එතකොට අර මොනවත් නෑ. මෙතන සිද්ධ වෙලා තියෙන්නෙ අර ළමා පරිකල්පනයෙන් මම තාම කැඩිලා නෑ කියල පොඩි හින්ට් එකක් ගැසීමක්.
- ඔබේ ඒක පුද්ගල ප්‍රදර්ශන හතම මේ ආකාර ගැලරි ආකෘතියකින් තමයි එලියට එන්නෙ. ඒ ආකෘතියෙන් මිදෙන්න අදහසක් නැද්ද?
මම ගැලරි ආටිස්ට් කෙනෙක් විදියට හැඳින්වෙන්න කැමති නෑ. ගැලරියෙන් පිටට කලාව අරන් යන එක අපි කරන්න ඕන. මගේ පලවෙනි එක කළේ ලයනල් වෙන්ටඩ් එකේ. මේක මහජන අවකාශයට විවෘත ගැලරි එකක්. ඕන කෙනෙකුට මෙතන්ට එන්න පුලුවන්. ඊට පස්සෙ ප්‍රදර්ශන හතරක්ම කලේ පෞද්ගලික ගැලරි එකක. ඒක වෙනම ධනපති පංතියක වෙනම ජීවන රටාවක චිත්‍ර මිලදී ගන්න පුලුවන් මිනිස්සු විතරක් එන තැනක්. මට මේකත් එතන කරන්න ආරාධනා දෙකක් ආවා. මගේ එකවුන්ට් එකට සල්ලිත් වැටෙයි. නමුත් මට මේ චිත්‍ර ටික එතන පෙන්නලා වැඩක් නෑ. මේක අවධානමක්. එතන සියල්ල සංවිධානය කරලා ඩිසයින් කරලා විකුනන්නෙ එයාල. මට ඇදලා දෙන්න විතරයි තියෙන්නෙ. එතන ආර්ටිස්ලත් නෑ. චිත්‍ර ගන්තෙ කවුද කියලත් දන්නෙ නෑ. ඒ ආකෘතියට වඩා මේක හොඳයි. මේකටත් වඩා මේකෙන් එලියට යන ආකෘතිය හොඳයි. ඒ වෙනුවෙන් වැඩ කරන්නත් මම බලාපොරෝත්තු වෙනවා. ඊළඟට මොබයිල් එක්සිබිෂන් සීරිස් එකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
- රටේ හැම තැනකම පෝලිම් තියෙන අවකාශයක මෙහෙම චිත්‍ර ප්‍රදර්ශනයකට මිනිස්සු එන එක ඔබ දකින්නෙ කොහොමද
ඇත්තටම මේ සංස්කෘතිය තමයි මට ඕන. සියයට පනහක කමිෂන් එකකට චිත්‍ර විකුනලා එකවුන්ට එකට සල්ලි දාගන්නවට වඩා මගේ අතින් වියදම් කරන මං මෙතන චිත්‍ර පෙන්නන්නෙ ඒ නිසා. මේකේ opening එක වෙලාවෙ වාහන වලින් එන අයට ඒක ලොකු තර්ජනයක්. සමහර අය මට පුද්ගලිකව කතා කරලා කිව්වා ” සීරියස්ලි තෙල් ගහගන්න බැරි වුනොත් එන්න වෙන්නෙ නෑ ” කියලා. බස් එකේ එන්න හිටපු යාළුවෙක් හෝල්ට් එකේ ඉදලා ඉදලා ගිහින් බස් නෑ කියලා කෝල් කරා. එතකොට මේ රටේ තියෙන මේ දේශපාලන අධිකාරිය විසින් උරුම කරපු ආර්ථික අවපාතය විසින් හැදෙමින් තියෙන දේවල් පවා කඩා දානවා. මහන්සි වෙලා දින නියම කරගෙන ප්‍රදර්ශන තියනකොට එන්න ඕන මිනිස්සුන්ට පවා එන්න බැරිකරවලා තියෙනවා. මේක මේ ක්ෂණිකව ඉබේ හටගත්ත දෙයක් නෙවේ. චිරාත් කාලයක් තිස්සෙ අපේ රටේ පවතින දේශපාලන අධිකාරීන් විසින් කල දේවල් වල පොලා පැනීම තමයි මේ. එහෙම වෙලත් ගැලරිය පිරිච්ච එක සතුටක් ඉතින්.
- ඔබ අවුරුදු 16 ක් රූපවාහිනී ආයතනයේ set designer කෙනෙක්. මේ රට ඔබෙන් හරියට වැඩක් අරන් තියෙනව කියල හිතනවද?
ඒක ඉතින් මේ රටේ ඒතරම් නොවෙන දෙයක්නෙ. මම ඒ ගැන පසුතැවෙන්නෙ නෑ. මම ඒ ගැන අවබෝධයෙන් ඉන්නෙ. ඕනම තැනක් වෙනස් කරන්න මිනිස්සු හිතන විදිය වැදගත්නෙ. එතකොට එතනදි ප්‍රගීත් කියන සාධකය නෙවෙයි වැදගත්. මනුස්සයෙක් හිතන විදියයි වැදගත්. මේකෙ ප්‍රගීත් රත්නායකගෙ දේශපාලන කඳවුර නෙවෙයි වැදගත්. එයා හිතන විදිය. ගුණාත්මක හා ව්‍යුහාත්මක වෙනසක් කරන්න මනුස්සයෙකුගේ හැකියාවල් හා දැක්මවල් එකතු කරගෙන ඒ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න ඕන. නමුත් දේශපාලනික හෝ මතවාදිමය හෝ මොකක් හෝ හරස් කරගෙන මගේ ආර්ට් එක හෝ වෘත්තීයභාවය තුළ මගේ සාරය යොදා ගැනෙන්නේ නැහැ. මේ රටේ හැම තැනකම ඒක එහෙමයි.
- බේකරිය අවකාශයේ තිබුනු ජනිත් වීරසිංහගෙ චිත්‍ර ප්‍රදර්ශනය වෙනස්ම ආකෘතියක වැඩක්. ආර්ටිස්ටත් ආපහු අරන් යන්න බැරි රසිකයාටත් අරන් යන්න බැරි කලාවට විතරක් අයිති වැඩක්. කලාව නම් එහෙම වෙන්න ඕන කියපු අය බොහෝමයක් ඒක එතන තියලා ආපහු ඇවිත් තමන්ගෙ පරණ පුරුදු විලාසිතාවටම යනවා. ඔබත් එහෙමද?
චින්තා ලස්සන කතාවක් කරා එදා. සුදු අලියන්ගේ කලාව හා වේයන්ගේ කලාව කියලා. ඒ ගැබක වැඩේ වේයන්ගේ කලාවට අයිති කාරණාවක්. මං මෙතන කරලා තියෙන්නෙ සුදු අලියන්ගේ කලාවක්. ගැබක වැඩේ කිසිම ප්‍රාග්ධන හිමිකාරීත්වයකට අයිති කරගන්න බැරි ඉදිරිගාමී වැඩක්. මම ඒකම කරන්න ඕන කියලා එකක් නෑ. හැබැයි ඒ අවංක සීරියස් වැඩේ වෙනුවෙන් මං පෙනී ඉන්නවා.
- බොහෝ දෙනා ඔබේ චිත්‍ර හඳුන්වන්නෙ abstract art විදියට,
ලංකාවේ abstract art ගැන චින්තනය තියෙන්නෙ හරිම පටු තැනක. ලංකාවෙ මිනිස්සු abstract කියන්නෙ තේරෙන්නැති දේවල් වලට. මට මගේ art නාමකරණය කරන්න බැහැ ඇත්තටම abatract ද semi abstract ද figurative ද conceptual ද මොනවද කියලා. මම ඒකට වචනයක් දෙන්න දන්නෙ නෑ. මොකද ඒක ඇතුලෙ අවිඥානය වැඩ කරනවා. ඉස්සර මම චිත්‍ර ඇන්දා. දැන් මට චිත්‍ර ඇදෙනවා!
|සඳුනිකා රත්නායක|
ඡායාරූප : ෆේස්බුක් අවකාශයෙන්..