යමක් කල හැක්කේ කෙලෙසද? එය එලෙසින් කළ යුතුය!

43 Conference Group 43 new political discussion in sri lanka

43 සමුළුව ගැන අදහස් ගොන්නක්..

අද රට මුහුණ පා තිබෙන ණය අර්බුධයට නිදහසින් පසු සිටි පාලකයන් සියලු දෙනා වගකිවයුතු බව “දාර්ශනික ඇත්තක්” විය හැකි වුවද එය කරුණුමය වශයෙන් එතරම් සත්‍යයක් නොවේ.  අද අපට ගෙවන්නට තිබෙන සමස්ථ ණය ප්‍රමාණයෙන් සීයට අසූවක්ම ලබාගෙන තිබෙන්නේ 2005 න් පසුවය. ඩී ඇස් සේනානායකගේ සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක දක්වා සියලු දෙනා ලබාගෙන ඇත්තේ ඉන් සීයට දාහතරක් වැනි සුළු ප්‍රමාණයකි. යහපාලන ආණ්ඩුවෙන් ලබාගත් ණය වලින්ද සීයට අසූවක් ලබාගෙන ඇත්තේ 2005 සිට 2015 දක්වා ගත් ණයවල පොලිය ගෙවීමටය. 2005 සිට 2015 දක්වා රට මොනතරමේ විනාශකාරී ආර්ථික ගමනක ගොස් ඇත්ද යන්න මින් පැහැදිලිය.

එම කාල පරිච්ඡේදය තුලදී රටට මූල්‍ය වශයෙන් විනාශයන් දෙකක් සිදු විය. ඉන් පළමු වැන්න නම් රට බංකොලොත් වන ස්වභාවයේ මූල්‍ය අර්බුධයකට මාවත විවර වීමයි. දෙවැන්න නම් රට කෙරෙහි තිබෙන “මූල්‍යමය විශ්වාසය” බිඳ වැටීමයි.  2005 – 2015 කාලය තුලදී මෙන් ගිනි පොලියට ලැබෙන  වාණිජ ණය නොව , සහනදායි පොලියට ලැබෙන මූල්‍ය ණය සැලකිය යුතු ප්‍රමාණයක් යහපාලන ආණ්ඩුවට ලැබිණි. රටේ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක වූයේ මෙම මුදල් වලිනි. එම සංවර්ධන යෝජනා සැමෙකක්ම, ඊට පෙර සිදු කෙරුණු කිසිදු ශක්‍යතා අධ්‍යනයක් නොමැති, ප්‍රතිලාභ පිළිබඳ ගණනයක් නොමැති අරුමෝසම්කාරී විශාල ඉදිකිරීම් මෙන් නොව, රටට දැරිය හැකි, රටට අවැසි සංවර්ධන ක්‍රියාවලීන් විය. ඊට අමතරව හෝමාගම තාක්ෂණික උද්‍යානය, සැහැල්ලු දුම්රිය වැනි,  ව්‍යාපෘතියත් සමග සුවිශාල තාක්ෂණික සහයෝගිතාවයකට යා හැකි සංවර්ධන ක්‍රියාවලීන් විය. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය එක රැයින් අවලංගු විය. හෝමාගම තාක්ෂණික උද්‍යානය ඉදිකිරීමට තිබුණු තැන දැන් ඉදි කරන්නට යන්නේ වැලිකඩ තිබෙන සිරගෙදරය. එවිට වැලිකඩ සිරගෙදර භූමිය හොඳ ගණනකට විකිණිය හැක.

අලුත් ආණ්ඩුව යටතේ කිසිදු ණයක් ගත්තේ නැත යන්න මුලාවකි. ඒ මුලාවට අමතරව කිව යුත්තේ අලුතින් ණය ලබාගැනීමේ විශාල අපේක්ෂාවන් තිබුනත් කිසිදු රටක් අපට ණය නිකුත් කිරීමට ඉදිරිපත් නොවූ බවය. රටක්  ලෙස ලංකාව කෙරේ තිබුණු මූල්‍ය විශ්වාසය පොළොවට සමතලා වී තිබේ. මේ තත්වය ගැන මින් වසර ගණනකට පෙර තේරුම් ගත්තේ ස්වල්ප දෙනෙකි. චම්පික රණවක දැන් වසර හතකට පෙර ලියූ “ආලාපාළු ආර්ථිකය” පොතද, “මූල්‍ය ව්‍යාසනයක් අත ළඟ” පොතද මේ කරුණු සවිස්තරාත්මකව දක්වයි. එදා මේවාට සිනහසුනු බොහෝ දෙනා දැන් බයෙන් භිරාන්ත වී සිටිති.

ඇතැම්හු ලංකාව කියුබාවක් කිරීමටත් තවත් පිරිසක් ලංකාව සිංගප්පූරුවක් කිරීමටත් සිහින දකිති. මේ සිහින දෙකම ලංකාවේ මහ පොළොවේ යතාර්ථයට වලංගු නැත. ලංකාව වෙනුවෙන් කල හැකි එකම දෙය සහ කල යුතු එකම දෙය නම් එය වඩාත් හොඳ ලංකාවක් කිරීමයි. මේ ගමනේදී අප කිසිදු දෘෂ්ඨිවාදයකට කොටු විය යුතු නැත. මනුෂ්‍යයා දෘෂ්ඨීන්ගේ සිරවුණු විට මරණය තෙක්ම ඒවා ආරක්ෂා කිරීමට පෙළඹෙයි. ලංකාව දැන් වැටි තිබෙන්නේ තනි දෘෂ්ඨියකට විසඳිය හැකි අර්බුධයකට නොවේ. මෙයින් ගොඩ ඒමට අවශ්‍යය වන්නේ ප්‍රයෝගික විසඳුම්ය. යමක් කල හැක්කේ කෙලෙසද එය එලෙසින් කළ යුතුය. එනයින් ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි එකම වාදය ප්‍රයෝගිකවාදයයි. අපි ප්‍රයෝගිකවාදීන් වන්නෙමු.

පැරණි වම ලංකාවේ ආර්ථිකය සහමුලින්ම රාජ්‍යය මගින් පාලනය විය යුතු බව තවමත් සිතයි. මීට ප්‍රතිපක්ෂ උදවිය කියන්නේ රාජ්‍යය හැකි තරම් හකුලා ආර්ථික ක්‍රියාවලිය සහමුලින්ම පෞද්ගලික අංශයට පැවරිය යුතු බවය. එසේ කොට රාජ්‍යය මධ්‍යගත ශක්තිමත් දේශපාලන ඒකකයක් පමණක් ලෙස ක්‍රියා කල යුතු බවය. මින් පළමු මාදිලිය බණ්ඩාරනායක, සිරිමා වැන්නවුන් අතින්ද, දෙවැන්න ජේ ආර් ගෙන්ද අසාර්ථකත්වයට පත් විය. මේ අන්ත දෙකේ දැන් අප සිරවිය යුතු නැත. නිදහස් වෙළඳපලට ඉඩ දෙන, එය දිරිගන්වන ගමන්ම රාජ්‍යය අවශ්‍ය අවස්ථාවලදී නොපැකිල ඉදිරිපත් විය යුතුය.

නමුත් මේ විනාශකාරී පාලනය යටතේ සිදු වූයේ කුමක්ද? එය ලංකාවේ මූල්‍ය විශ්වාසය බිඳ දැමුවාට අමතරව ඉතා හොඳින් තිබුණු නිදහස් වෙළඳපල ගණනාවක්ද විනාශ කොට තිබේ. ටයිල් අපනයනකරුවන් බර ගණනක් සිටි වෙළඳපල දෙදෙනකුගේත්, සිය ගණනක් අපනයනකරුවන් සිටි සීනි වෙළඳ පල එක් අයකුගේත් මාෆියාකාර ඒකාධිකාරයට යටවන්නේ මේ අනුවය. ඊට අමතරව අමනෝඥ තීරණ සහ ගජමිතුරු දේශපාලනය නිසා රාජ්‍ය අංශයද හැකිලී පරව ගොස් තිබේ. මේ දෙඅංශයම සමාන්තරව ශක්තිමත් කල යුතු මොහොතක ඒ දෙකම සහමුලින්ම බිම්බත් කොට තිබේ.

දැන් අපට ඉන්ධන සඳහා ඉන්දියාවටත්, සහල් සඳහා චීනයටත් හැරීමට සිදු වී තිබේ. නමුත් ඒ කුමන කාලයකටද? මේ සතියෙන්, මාසයෙන් මාස තුනෙන් පසුව අපට සිදු වන්නේ කුමක්ද?

අපට දැන් සිතීමට  සිදු වී තිබෙන්නේ මේ රාජ්‍ය ඝාතක මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද යන වගය. මෙය සාමාන්‍යයෙන් එළඹෙන මැතිවරණයක්, ජානධිපතිවරණයක් වැනි තරඟකාරී දෙයක් නොවේ. එවැනි තරඟයකදී මෙන් පිල්බෙදී කා කොටා ගන්නට අපට වරම් නැත. රටේ සියලුම සාරවත් කොටස් එක වේදිකාවකට ගොඩවිය යුතුය. සාකාච්ඡා කල යුතුය. ඉතාම වැදගත් දෙය නම් අප අපවම ප්‍රශ්න කරගත යුතුය. වාමංශිකයන් වාමාංශයත්, ජාතිකවාදීන් ජාතිකවාදයත් ප්‍රශ්න කළ යුතුය. ’43 වේදිකාව’ තැනෙන්නේ ඒ වෙනුවෙනි. එය ඔබ සැමට විවෘතය. හැකි ඉක්මනින් එයට ගොඩ වී බලන්න.

වෙනස් වන්නේ හිතන පතන මිනිසාය. තමන් විසින් තමන්ව ප්‍රශ්න කිරීමකට ලක් කරන විවෘත අවංක මිනිසාය. ප්‍රතිපත්තිගරුක වීම යන්නෙහි මුඛ්‍ය අර්ථය නම් යහපත සඳහා පැවතීම යන්න මිස කාලය තුළ ගල් ගැසීම නොවේ. අප දැන් වෙනස් විය යුතුමය. මේ අපගේ ජාතියේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයකි.

ඉහත මා වචන කලේ පසුගිය 23 දා පවත්වන්නට යෙදුනු ’43 කණ්ඩායමේ’ වර්ෂ පූර්ණ සමුළුවේදී මට ඇසුණු දේය. මේ අදහස් පසුබිමේ තබාගෙන එම කණ්ඩායම විසින් සකස් කල යෝජනා සහිත මාර්ග සිතියමක් අද එලි දැක්විණි.

දිනෙත් මල්ලිකාරච්චි

Social Sharing

Related posts