භූමිපුත්‍ර සංකල්පය යනු යම් දේශයක උරුමක්කරුවන් වශයෙන් පෙනී සිටිය හැකි අය අන් අයගෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිත වෙන සංකල්පයකි. එහෙත් මෙය බොහෝ අවස්ථාවල එක් රටක් තුළ යම් වාර්ගික ජන කොටසක් සුපිරි කණ්ඩායමක් ලෙස පෙන්නුම් කිරීම සඳහා දේශපාලනික වශයෙන් අවභාවිත කරන වචනයක් බවට ද පත්ව ඇත.
දේපළ අයිතිය යන්න මූලිකව භෞතික වශයෙන් පවතින හෝ බුද්ධිමය වශයෙන් පවතින හෝ කොටස් දෙකක් ලෙස හඳුනාගැනෙයි. භූමිපුත්‍ර සංකල්පය යටතේ වැඩි අවධානයක් යොමුවන භූමිය හා ප්රාග්ධනය, ගෙවල්, වාහන, කර්මාන්ත ශාලා, පොත්පත්, සතුන් ආදිය භෞතික දේපළ වශයෙනුත් නව සොයාගැනීම් අදහස් සහ වචන ආදිය බුද්ධිමය දේපළ වශයෙනුත් වර්ගීකරණය කළ හැකිය. මෙහිදී දේපළ අයිතිය යන්නෙහි අරුත සියලු ම ආකාරයේ සම්පත් අයිතිය වුවත් එහි ප්‍රධාන සංඝටකය සහ අද මෙරට වඩාත් විවාදයට තුඩු දී ඇති ප්රස්තුතය වන භූමියේ අයිතිය පිළිබඳව සලකා බැලීම සඳහා මෙහි දී වැඩි අවධානයක් යොමු කෙරෙයි.
භුමියෙන් 84% ක් රජයට
ලාංකික සන්දර්භය තුළ භූමිපුත්‍ර සංකල්පය එහි නියම අරුතින් සලකා නිරීක්ෂණය කරන විට පෙනෙන විශේෂත්වය වන්නේ සංකල්පීය වශයෙන් මෙරට භූමිය ජනතාවට අයිති වුව ද, එහි සංයුතිය ආසන්න වශයෙන් 84% ක් රජයටද ඉතිරි 16% පුද්ගලික වශයෙන්ද බෙදී ගොස් ඇති බව යි.
ඉහත පරිදි පවතින බෙදීම අනුව මෙරටෙහි භූමි පරිහරනය එහි සත්‍ය භූමිපුත්‍රයින්ගේ අභිමතය පරිදි සිදුවනවා ද? එසේ නොමැති නම් ඔවුන්ගෙන් පරිබාහිර යමෙකුගේ අභිමතය පරිදි සිදුවනවාද? යන්න විමර්ෂනය කිරීම හරහා යථා තත්ත්වය සොයාගැනීම වැදගත් වන්නේ මෙතෙක් පැවතෙන මෙම ඉඩම් පරිහරන ක්‍රමය යටතේ අද පවතින ආර්ථික තත්වයට රට පත්වීම සඳහා මෙම ඉඩම් අයිතිය යම් දායකත්වයක් සැපයුවාද යන්න දැනගැනීම සඳහාය.
ආර්ථික විද්‍යා මූලික න්‍යායන්ට අනුව භූමියේ හෝ දේපළවල අයිතියේ ස්වභාවය රටේ සංවර්ධනයට සෘජුව බලපාන බව කියවෙයි. එම න්‍යායන්ට අනුව භූමිය මූලික නිෂ්පාදන සාධක වන ශ්‍රමය හා ප්රාග්ධනය අතරට ඊලඟ සාධකය ලෙස එක්වෙයි. එබැවින් නිෂ්පාදකයින්හට යම් නිෂ්පාදනයක් සිදුකිරීමට භූමිය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය ද අයිතිය ද අත්‍යවශ්‍ය සාධකයකි.
එහෙත් දැනට මෙරට පවතින ආර්ථික තත්ත්වය අනුව 84% පමන වූ රජයට අයත් භූමි මඟින් රටේ නිෂ්පාදනයට හා ආර්ථිකයට සධාරණ දායකත්වයක් ලබා දෙනවාද යන්න පිලිබඳව ඇත්තේ ගැටලුවකි.
දේපළක අයිතිය යනු කුමක්ද?
යම් දේපළක අයිතිය සම්පූර්ණ වශයෙන් ඇතැයි හඳුනා ගැනෙනුයේ එය ලඟ තබා ගැනීමට ඇති අයිතිය (possession), පාලනය කිරීමේ අයිතිය, භාවිතයට ගැනීමේ ඇති අයිතිය, එයින් ආදායමක් උපයාගැනීමට ඇති අයිතිය හා විකිණීමට ඇති අයිතිය ඇත්නම් පමනකි. ඉහත අයිතීන් සුරක්ෂිත වූ විට භූමිය හෝ දේපළ සඳහා මුදල් ආයෝජනය කිරීමටත් ඒ සඳහා කාලය කැපකොට දියුනු කිරීමටත් අයිතිකරුවන් උත්සුක වෙයි. එසේ නැතහොත් එම දේපළ දියුනු කළ හැකි අයෙකුට විකිණීම සිදුකෙරෙයි. ඒ ආකාරයෙන් දේපළ දියුණුවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙයි . එහෙත් යම් දේපළක අයිතිය එය භුක්තිවිඳින්නාට නොමැති නම්, එසේ විකිණීමට නොහැකි අතර එම අයිතීන් සුරක්ෂිත නොවන තැනක ආයෝජනය කිරීමට ව්‍යවසායකයින් පෙළඹීමට ඇති අවකාශයද විරලය.
ඉහතින් සඳහන් කළ මෙරට ඉඩම් වල තත්ත්වය නිරීක්ෂණය කිරීමේ දී හෙලිවන යථාර්ථය නම් රජය සතු ඉඩම් යම් ප්‍රමාණයක් ජනතාව වෙත භාවිතය සඳහා නිදහස්කර ඇතත් දේපළ අයිතිය කිසිදාක එම ඉඩම් ලාභීන්ට ලබා දී නොමැති බව යි. එම හේතුව නිසා ඉඩම්ලාභීන්ට එහි ජීවත්වීම හැර වෙනයම් ව්‍යාපාරික හෝ වාණිජ කාර්යයක් සඳහා ප්රාග්ධනය සොයාගැනීමට එම දේපළ උකස් කිරීමට හෝ කොටසක් හෝ සම්පූර්ණයෙන් හෝ විකිණීමට අවකාශයක් නොමැත. මෙම ඉඩම් අයිතිය ප්‍රතිලාභීන් වෙත ලබා නොදීමට දිරිදෙන අන්දමේ ජනප්‍රිය සංකල්පයක් වනුයේ එසේ අයිතිය ලබාදුනහොත් ප්‍රතිලාභීන් එම ඉඩම් විකුණා තම පරිභෝජන අවශ්‍යතා ඉටුකරගැනීමට පෙලඹෙනු ඇති බව යි. එවැනි සිදුවීම් ඉඳහිට හෝ සිදුවිය හැකි බව පිළිගත යුතු අතර එවැනි සිදුවීම් පුද්ගලික දේපළ හිමියන් අතර වුව ද සිදුවිය හැකි දෙයකි. එහෙත් එය ප්‍රධාන ප්‍රවාහය නොවන බව පුද්ගලික ඉඩම් පරිහරනය නිරීක්ෂනය කිරීමෙන් වටහාගත හැකිය.
රජයේ ඉඩමක් වානිජ කටයුත්තකට ගැනීමට යන කාලය අවුරුදු 5ක්..!
රජයේ ඉඩමක් වානිජ කටයුත්තකට ලබාගැනීම ද ඉතා අපහසු සහ කල්ගතවන කටයුත්තකි. දේශපාලන මැදිහත්වීමකින් තොරව ඉල්ලුම්කරුගේ සක්‍රීය මැදිහත්වීම මත මෙය සිදුකරන්නේ නම් අවම වශයෙන් අවුරුදු පහක් හෝ වැඩි කාලයක් ඒ සඳහා ගතවනු ඇත. එබැවින් දැන් පවතින ක්‍රමය යටතේ දේශපාලන මැදිහත්වීමකින් තොරව රජයේ ඉඩමක් වානිජ කටයුත්තකට ලබාගැනීම ඉතා අසීරු සහ කල්ගතවන ක්‍රියාවකි.
මේ අනුව 21% වන පුද්ගලික අංශය සහ ගොවීන් වෙත නිකුත්කර ඇති රජයේ ඉඩම් වලින් වැඩි ප්‍රමාණයක් යැපීම් කෘෂිකර්මයෙන් ඔබ්බට වර්ධනය වී වානිජ මට්ටමට පත් වී නොමැති බව නිරීක්ෂණය කළ හැකි ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගොවිතැනෙහි නිරත පිරිස සම්පූර්ණ රැකියා නියුක්තිකයන්ගෙන් 25% පමණ වුව ද දළ ජාතික නිෂ්පාදිතයේ කෘෂි අංශයේ දායකත්වය 7.4% කි. මෙම දායකත්ව ප්‍රතිශතය සේවා අංශය සඳහා 58% වන අතර එහි රැකියා නියුක්තිකයන්ගේ ප්‍රතිශතය සමස්තයෙන් 47% පමන වෙයි. කර්මාන්ත අංශයේ එම දායකත්ව ප්‍රතිශතය27% වන අතර එහි රැකියා නියුක්තිකයන්ගේ ප්‍රතිශතය සමස්තයෙන් 28% කි. මෙම සංඛ්‍යා ලේඛන වලින් පෙනීයන්නේ කෘෂි අංශයේ ශ්‍රම ඵලදායකත්වය සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පවතින බව යි. එසේ නම් මෙම පසුබැස්මට හේතුව කුමක්දැයි සොයාබැලීම මගින් කෘෂි අංශයේ ශ්‍රම ඵලදායකත්වය යහපත් තත්ත්වයට පත්කරගැනීම සඳහා අවශ්‍ය කරුනු සෙයාගැනීමට හැකිවනු ඇත.
මේ සඳහා දේපළ අයිතිය පිලිබඳ ආර්ථික විද්‍යා න්‍යයික කරුණු තවදුරටත් අධ්‍යනය කිරීම වැදගත් වන්නේ කෘෂි කර්මාන්තයට ඉතා වැදගත් සාධකයක් වන භූමියේ 84% ක අයිතිය රජය සතු වන පසුබිමක ය. දේපළ අයිතිය තහවුරුව ඇති පසුබිමක එහි හිමිකරු හෝ හිමිකරුවන් එම දේපළ ආදායම් උපදවීම සඳහා හෝ තමන්ගේ සුභසාධනය සඳහා හෝ යොදවා ගැනීමට උත්සුක වන බව න්‍යායික මතය යි. ඒ සදහා ප්රාග්ධනය, ශ්‍රමය හා කාලය එකතු කිරීම සහ ඒ සඳහා වැඩ කිරීම ඉලක්ක සපුරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය අනිකුත් සාධක වෙයි. තවත් අතකින් අයිතිය විසින් මෙම පෙළඹවීම එනම් එහි හිමිකරුවන් එම දේපළ ආර්ථික නිෂ්පාදනයේ යෙදවීමටත් ආයෝජන සිදුකිරීමටත් එහි අගය වැඩිකර ගැනීමට උත්සුක වීමටත් නොඑසේ නම් එය බදු දීමට හෝ විකිණීමටත් ක්‍රියා කරවන බවද කියවේ . මෙම ක්‍රියාවලිය නිසා අවසානයේ සම්පත් නිසිලෙස නිසි පුද්ගලයන් වෙත යොමුකරවීම මඟින් ආර්ථික ඵලදායකත්වය වර්ධනය වන බව ආර්ථික විද්‍යා මතයයි. ඒ මතයට අනුව ඉඩම් හිමිකරු වන රජය ඉඩම් සංවර්ධනයට හෝ ආර්ථික දියුනුවට ඉවහල් වන සේ ක්‍රියා කළ යුතු වුවත් ඉහත සංඛ්‍යා ලේඛන අධ්‍යයනය කිරීමේ දී එය එසේ සිදුවෙනවා ද? යන්න පිලිබඳ ඇත්තේ සැකයකි.
එසේ නම් රජය ඉඩම් අයිතිය නිසි ලෙස ක්රියාවේ නොයොදවන නිසා ඉඩම්වල ඵලදායකත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමට බාදා සිදු වෙන බව නිගමනය කළ නොහැකිද? එසේ ම මෙය පුද්ගලික අයිතිය හා පොදු දේපළ අයිතියේ අන්ත ඵලය පිළිබඳ පවතින තාර්කික අරගලයට උත්තර සැපයෙන ප්‍රායෝගික උදාහරනයක් නොවන්නේ ද?
භුමියේ අයිතිය හා දේශප්‍රේමය
පවතින ලාංකික සන්දර්භය තුළ රජයේ ඉඩම් අයිතිය පැහැදිලි ලෙස ම තහවුරු වී ඇත. අමතර වශයෙන් ජනතාවද භුමියේ අයිතිය සහ දේශප්‍රේමය පිළිබඳ ව්‍යාකූල එහෙත් දැඩි මතවල එල්බගෙන සිටින අතර රජයේ ඉඩම් විකිණීම තබා බදුදීම ගැන පවා දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතී. පුදුමයට හේතුවන කාරනාව වන්නේ ජනතාව එසේ විරෝධය දැක්වුවද රජය එම ඉඩම් නිසි ලෙස පරිහරනය කරමින් එහි අයිතිකරුවන් වන තමන් වෙත ප්‍රමාණවත් ප්රතිලාභ ලබා නොදීම පිලිබඳවවත් ඔවුන් නිසි අවබෝධයකින් සිටිනවාද යන්න සැක සහිත වීමයි.
ශ්‍රී ලංකාව තුළ 84% ඉඩම් අයිතිය රජය සතු බැවින් ඒවා කළමනාකරනය කරනු ලබන්නේ තෝරා පත්කරගත් ආන්ඩු මඟිනි. හිමිකරුවන් මහජනතාව වුව ද සාමූහික අයිතිය රජය වෙත පවරා ඇති බැවින් මේවා ජනතාව වෙනුවෙන් පාලනය කරනු ලබන්නේ ඔවුන් විසින් පත්කරගනු ලැබූ මහජන නියෝජිතයින් සහ රජයේ නිලධාරින් විසිනි. මෙම කණ්ඩායම් දෙකෙහි ම බහුතරය තම තනතුරු වල බලය දේශපාලන වාසි ලබාගැනීමටත්, අමතර ආදායම් ඉපයීමේ මාර්ගයක් ලෙස භාවිත කිරීමටත්, හුරුවීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට ඉඩම් පරිහරන ක්‍රමවේදය ඉතා අකාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වේ . මෙහිදී ජනතාවගේ දේපළ අයිතිය පිලිබඳව පවතින නොදැනුවත් බව, අයිතියේ විසිරුනු ස්වභාවය, දුරස්ථ භාවය, දුර්වල සම්බන්ධතාවය සහ නියෝජිතයන්ගේ සහ නිලධාරින්ගේ වගවීමක් නොමැතිබව නිසා අයිතිකරුවන් වන ජනතාව වෙතින් භුමියේ අයිතිය පිලිබඳ ඔවුන්ගේ ආධිපත්‍යයේ සම්බන්ධතා පුරුක ගිලිහී ඇත. මෙම තත්වයෙන් මිදී තම අයිතීන් බලගැන්වීමට ඔවුන්ට ඇති නොහැකියාව හේතුවෙන් රජයේ දේපළ භාවිතයේ සපල බව අඩු වී ඇතැයි නිගමනය කළ හැකිය. මෙවායේ පාලනය රජය වෙනුවෙන් අමාත්යායාංශ සහ දෙපාර්තමේන්තු හා වෙනත් රජයේ ආයතන මඟින් සිදුකරන බැවින් ඒවාට අනුබද්ධ ජානගත අකාර්යක්ෂමතාව මගින් දේපළ අයිතිය ක්රියාවේ යෙදවීමට දේපළ හිමිකරුවන් වන ජනතාවට ඇති මාර්ග බොහෝ දුරට අහුරා ඇත.
මෙවැනි කොටු වූ සමාජ පවුරු තුළ බොහෝ කාලයක් ජීවත් වීම නිසා ජානගත වී ඇති දේපළ අයිතිය පිලිබඳ ව්‍යකූල සහ වැරදි මත නිවැරදිකර ගැනීමට තව කලක් ගතවිය හැකිව තිබූ නමුත් අද පවතින තත්ත්වය හමුවේ යථාර්ථයට මුහුණ දීමටත් එය අකමැත්තෙන් වුව ද පිළිගැනීමටත් ජනතාවට සිදුවනු ඇත.
බදුදීම, විකිනීම සම්බන්ධව දේශපාලන පක්ෂ මතය
ගාලු මුවදොර ඉඩම් විකිණීම, හම්බන්තො ට වරාය බදුදීම, ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්නය බදුදීම, වරාය නඟරය බදුදීම, යුගදනවි බලාගාරය විකිනීම, යෝජිත කොළඹ නඟරයේ සහ පිටත ඉඩම් සහ ගොඩනැඟිලි බදුදීම හා විකිනීම ආදිය පිළිබඳව දේශපාලන පක්ෂවල මතය විපක්ෂයේ සිටිය දී එයට විරුද්ධවත් බලයට පැමිනි පසු එයට පක්ෂ වීමටත් ලෙස වෙනස් වීමට හේතුවද මෙම තත්ත්වය හරහා විග්රහ කළ හැකිය. මෙහි දී ජනප්‍රිය දේශප්‍රේමී සංකල්පය හරහා දේශීය සම්පත් සුරැකීම යන ධජය යටතේ ජනබලය ඩැහැගන්නා දේශපාලකයන්ට බලයට පැමිනි පසු භුමියේ යථාර්ථය වන ධනවාදයේ නියමයන්ට යටත්වීමට සිදුවීම අනිවාර්ය සංසිද්ධියක් බව සඳහන් කළ යුතුය.
එබැවින් දේශීය සම්පත් සුරැකීම යන ධජය යටතේ ජනබලය ඉල්ලන කිසිවෙකුට හෝ බලය ලබාදීම යනු තවත් වංචාකාර කල්ලියකට බලය ලබාදීමක් වනු ඇත. දේශීය සම්පත් දේශීය අයිතිය යටතේ තබා ගැනීමට අවශ්‍ය නම් පළමුව කළ යුත්තේ නිෂ්පාදන සහ නිර්යාත ආර්ථිකයක් තුළින් උපයන විදේශ වත්කම් හෝ ධනය මෙම සම්පත්වල ආයෝජනය කිරීම යි. එසේ නොමැති වුවහොත් විදේශ මුදල් ආයෝජනයන් ඒ සඳහා මෙහි පැමිනෙනු ඇත. මෙම යථාර්ථයට අද අප මුහුන දෙමින් සිටිනුයේ අත්‍යවශ්‍ය ආනයනයන් සඳහාවත් විදේශ විනිමය සොයාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවිනි. එබැවින් නිෂ්පාදන නිර්යාත හෝ ඉපයීම් වලින් විදේශ ගෙවීම් පියවීම වෙනුවට වත්කම් විකුණා එම ගෙවීම් සිදුකිරීමට සිදුව ඇත. එහෙත් එහි වාසිදායක තත්ත්වය වන්නේ එම විදේශ මුදල් කාර්යක්ෂමව ආයෝජනය වන බැවින් ඒවායේ ප්රතිලාභ ලෙස දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමටත් රැකියා අවස්ථා බිහිකිරීමටත් හේතුවනු ඇති බැවිනි. එසේ ම යම් කලක දේශීය ආර්ථිකය ශක්තිමත් වුවහොත් එම ව්‍යාපාර නැවත දේශීය ව්‍යාපාරිකයාට මිලදී ගැනීමට හැකියාවද උදාවනු ඇත.
එබැවින් දේශීය සම්පත් විදේශකයන්ට විකිණීම පවතින ජනමතයට විරුද්ධ වුවත්, එය අද පවතින තත්ත්වය යටතේ ප්රගතිශීලී පියවරක් බව කිව යුතුය.
කීර්ති ගොඩිගමුව