පෞද්ගලික අංශයේ අනතුරු වන්දිය ‘ලක්ෂ 20 දක්වා ඉහලට’

රාජකාරියේ නිරතව  සිටියදී සිදු වන අනතුරු හේතුවෙන් මිය යන පෞද්ගලික අංශයේ සේවකයන් සදහා ගෙවන  වන්දි මුදල ඉහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ වැඩබිම් වලදී සිදුවන අනතුරු හේතුවෙන් මිය යන සහ නිත්‍ය පූර්ණ ආබාධිත තත්වයට  පත්වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සඳහා මෙතෙක් ගෙවූ කම්කරු වන්දි මුදල රුපියල් ලක්ෂ විස්ස දක්වා වැඩිකිරීමට  කැබිනට් අනුමැතිය ලැබුණු බවයි.

ඒ අනුව වැඩබිම් අනතුරකදී සිදුවූ මරණයකදී මෙතෙක් ගෙවූ රුපියල් 550,000 ක් වූ මුදල රුපියල් 2,000,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගැනෙන බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.

රජය පවසන පරිදි සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට ප්‍රතිලාභ සළසා දීම සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක නෛතික ප්‍රතිපාදනය වනුයේ 1934 අංක 19 දරණ සේවක වන්දි ආඥා පනතයි.

මෙම පනත මගින් අනුමතව තිබූ වන්දි මුදල් ප්‍රමාණය 2005 අංක 10 දරණ සංශෝධන පනත මගින් වැඩි කිරීමට පියවර ගනු ලැබුව ද වසර 16 කට පෙර නියම කරන ලද එම වන්දි මුදල සහ නෛතික ප්‍රතිපාදන ද වර්තමානයට නොගැලපෙන හෙයින් එම පනත වර්තමානයට ගැලපෙන සේ යාවත්කාලීන කිරීමේ අරමුණ ඇතිව මෙම නව සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත කඩිනමින් ඉදිරිපත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  අවධාරණය කරයි.

ඒ සඳහා කඩිනමින් පියවර ගැනීමට අවශ්‍ය බලය කැබිනට් මණ්ඩලය විසින් ලබාදීම මෙරට වැඩ කරන ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත සංශෝධනය කිරීමෙන් පසුව රැකියාව හේතුවෙන් සේවකයන්ට සිදුවන අනතුරුවලට අමතරව සේවකයා පදිංචි ස්ථානයේ සිට රැකියා ස්ථානයට යන අතරතුරේදී සහ රැකියාව නිමවී පදිංචි ස්ථානයට ආපසු යෑමේදී සිදුවන අනතුරු සඳහා ද වන්දි ලබා ගැනීමටත් වැඩකරන ජනතාවට අවස්ථාව උදාවන බව රජය පවසයි.

“එසේම, මිය ගිය සේවකයකු වෙනුවෙන් වන්දි ලෙස තැන්පත් කරනු ලබන මුදලින් රුපියල් ලක්ෂය නොඉක්මවන මුදලක් ඔහුගේ අවමංගල්‍ය වියදම් දැරීම සඳහා ගෙවීමට අවශ්‍ය බලය කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත පැවරීමටත්, අධිකරණ සේවා කොමිසන් සභාව මගින් පත් කරනු ලබන රෙජිස්ටාර් තනතුරක් හඳුන්වා දීම මෙන්ම වන්දි අයකර ගැනීමේ කාර්ය පටිපාටිය කඩිනම් කිරීම සඳහා පවත්නා නීති රාමුව තුළ පිස්කල්වරයකු මගින් කොමසාරිස්වරයාට වන්දි අයකර ගත හැකි අයුරින් කාර්ය පටිපාටිය සකස් කිරිමටත්, මෙම නව සංශෝධිත පනත මගින් අපේක්ෂිතය.”

දෛනික සහ කෑලි ක්‍රමයට වැටුප් ලබන සේවකයන්ට ගෙවනු ලබන වන්දි ප්‍රමාණය ගණනය කිරීම,කම්කරු වන්දි ගෙවීමේදී අදාල කර ගන්නාවූ අවම සහ උපරිම මාසික වැටුප තීරණය කිරීම සහ නිත්‍ය පූර්ණ සහ තාවකාලික බෙලහීනතාවයකදී ගෙවන වන්දි ප්‍රමාණය ඇතුළු කරුණු සියල්ලම පාහේ නව සංශෝධිත පනත මගින් යාවත්කාලීන කරන බව කම්කරු අමාත්‍යවරයා වැඩිදුරටත්  සදහන් කරයි.

Social Sharing
නවතම