‘එක කවිය සිය වරක්’

Samara Wijesinghe eka kawiya siyawarak

හදිසියේ කඩා හැලුනු ගෝලීය වසoගතයෙන් සිරව, නිවස යැයි සම්මත කුලකයේ  සිට බොහෝ කාලයක් තවමත් ගෙවෙන්නේ යලි ජීවිතය ගැන සිතන්නටය. කලක් පසෙකදමා තිබූ  පොත පත කියවන්නටය. කුටුම්බයෙහි  බර බොහෝ අයට මෙන් මටද ඉහල වුවද කවි පොතක් කියවන විට හිතට දැනෙන්නේ මද සැහැල්ලුවකි. ඒ මද සැහැල්ලුව මැද  කව් පොත් කියවීමෙන් මා ලබන ,ඉගෙනුම හා ආස්වාදය කිව නොහැකි තරම් ය. එබැවින් කවිගැන කිසිවක්  දුටුවේ ද  මට එය සකස්කඩයක්ම  වෙයි.

කල්පනා ඇම්බ්‍රොස් කිවිදිය විසින්  කලකට පෙර ලියන ලද  කවියෙකු ගේ  අපූර්ව කව් පොතක් ගැන අනගි සටහනක්  මා නෙත් පැහැර ගත්තේ ළඟදීය.   ඒ  ගැන ඇයට මගේ අවoක ආදර ස්තුතිය පුද කරමි.

ඒ සටහන ඔස්සේ මා ඉව අල්ලා යන්නේ ඒ කවීන්ද්‍රයන් සොයන්නටය. කවියා  සමර විජේසිංහ වන අතර ඔහු විසින් පලකල එකම කාව්‍ය සoග්‍රහය “එක කවිය සියවරක් ” නම් වෙයි.

Samara Wijesinghe

කතෘ සමර විජේසිංහ

අපගේ අභාග්‍යයකට මෙන් මෙකී කව්පොත අද  අගනුවර පොත් හල්වල පමණක් නොව ජාතික පුස්තකාලයේ වුවද දක්නට නොමැත. පොත කියවීමේ ආසාවෙන් මුහුණු පොත තුලින් එය සෙවීමට ගත් උත්සාහය ද නිරර්ථක වීය. සමර විජේසිංහ කවියාගේ මුහුණු පොතද අද දක්නට නැත. එහි මා නොකියවූ බොහෝ කවි තිබෙන්නට ඇත. කවි බූන්දියේ සමර කවියාගේ කවි කීපයක් තිබීම වාසනාවකි. එහෙත් කවි පොත සොයා ගත යුතුය .අවසානයේ අප හිතේන්ද්‍ර  ලේඛක මලික්  තුසිත ගුණරත්න මගින් සූරිය ප්‍රකාශයන්හි සේවය කරන. සේනකගේ මිතුරකුගේ  පොතෙහි ජායා පිටපතක්  කියවා ගත හැකිවිය.

කවි ගැන විචාර කරන්නට හැකි බවක් මගේ බුද්ධි කුලකයේ නැති වුවද  කවියට ආදරය කරන සකියෙකු ලෙස මෙකව් ගැන මට හිතෙන කුමක් හෝ දෙයක් මා කිව යුතුය. මන්ද සමරගේ කව් අපට ජීවිතය කියවන්නට අනුබල දෙන බැවිනි. ඉතින් මම සමර සමග සැරිසරමි.

” බොහෝ කලකට පසු යළිත්

අරුත් සුන් බව

විකුණන්නට තබා තිබුනෙන්

වහා මිලදී ගතිමි

කේවලක් නොකරම

 

මගේ ප්‍රියතම ඇදුම

මට හරියටම ගැලපෙන.

අරුත් බර කව් ගෙතූවද ජීවිතයේ අරුත් සුන් ඇඳුම බොහෝ මිල ගෙවා පළදා ගත් සමර අද අප අතර නොමැත .ඔහුගෙන් බොහෝ දෑ උගෙනීමට තිබියදී  සමර අප අතැර ගොසිනි. එහෙත් සිය එකම කව්

පොතින් හෙතෙම අපට දායාද කල  කව් රස  හා බැඳි පරිකල්පනය අදත් අපට ජීවිතය කියාදෙන නදියක් වැන්න.

” අවට පරිලෝකනය කරත

ඇස් නතර වෙන රූ කීපයක්

මoගල සාදයේ සාරි ගොඩ මැද

 

රූමත් ගැහැණියක්

ලැම ඉග උකුල

යහපත් පරිමාණයෙන් යුතු

දෙවරක්  බැලිය යුතු

 

පසුම්බිය තුලින් ආ උපැස්

පසුම්බිය  තුලට නැවතත්

ඒ බිරිඳ

ගෙදර දී නො පෙනෙන

 

සිත නුඹ නොපණත් ය

අයිතිකරු පවා රවටන .”

ජීවිතයේ  අප සොයමින් යන ඉමේ අරුත් කුමක්දැයි  ප්‍රශ්න කරන, සමරගේ කවි සැබැවින්ම  අති ගැඹුරු පරිකල්පනයකින්  යුක්තය. ප්‍රේමය,විරහ, හා බලාපොරොත්තු  පිළිබඳව  අප සිත් හි  නේක රූප ස්වරූප  සිත්තම් කරන්නට සමත් ය.  එකී රූප  කවි

අප සියල්ලන්ටම වටහා ගැනීමට තරම් බසින් සරලය. එපමණක් නොව එම  කව් ජීවිතය විනිවිද දකින අපූර්වත්වයෙන්  පිරිපුන්ය .

”  අයැදිමි දමනු මැනවැයි

මගේ හිස් පාත්තරයට

හේතුවක්

හෙට උදේ

නැගිටින්න තරම් වන

 

නිමිත්තක්

ආශාව  ජනිත කරවන

 

වචනයක්

කරුණා සහගත වූ

 

ප්‍රේමය ටිකක්

අද දිනය

පිරිමසාගන්න තරම් වන.”

එසේම සමර ගේ  කව් සිත මෙරට දාහක් දුක්ඛ දෝමනස්සයන් ට මුහුණ දෙන වනිතාව දෙස හෙලන දයාර්ද බැල්ම,   මානවීය ගුණයෙන්ද සවිමත්ය . .කුටුම්බයෙහි  නිරතුරු පීඩා විඳින සොයුරියන් දෙස සිය පන්හිදෙන් ඔහු අතුරන වර්ණ සිතුවම්   අපටද ජීවිතයේ නිවැරැදි මග කියාදෙන කැඩපතක්  වැන්න.

” පහසුවෙන් බිදෙන සුලු

පෑහීම අසීරු වු

මැටි කළය නුඹ

දියට පමණක් යනෙන

උකුල මත වැඩම වන

 

බිදීමට දුෂ්කර වූ

පහසුවෙන් පෑස්සෙන

තඹ තලිය මම

නුඹෙන් දිය ටිකක් ගෙන

බත සදන

සියලු ගිනි උහුලගෙන.

…………………………….

වෙලාවක්  නැති හැටි

පොහොසත් අයට මෙන්

හඬන්නටවත්

 

සොයා ගන්නට බැරි හැටි

පුoචිම පුoචි හේතුවක්වත්

හිනාවෙන්නට

සවසට

ඔහු ඉදිරියේවත්.”

……………………………

නොසිතන්

සබන් කැට මෙන්

ගැහැනු ගෙවෙතැයි

පෙම්වතුන්ගෙන්..

කවියක රසය මතුව එන්නේ  එහි  පද පෙරලීමෙන් පමණක් නොවේ. එම රසය හුදු ශීල්පීය  ක්‍රම, ප්‍රතිභා මගින් පමණක් ජනිත නොවන්නකි. කවියක් අප හදේ

නින්නාද වන්නේ  එම ප්‍රතිභාවට ඔබ්බෙන් ඇති කවියාගේ මානව දයාව  සිය ආත්මය කොට පැන නැගීමෙන් යයි මම සිතමි. සමර කවියා එකී මානවීය ගුණය  හඳුන් කැටක් සේ අතරුවාගෙන උපන්නෙකි.

 

“කුලක ඇත සම්මත

යෙහෙළිය පෙම්වතිය සුන්දරිය යැයි

නම් කරන ලද

ඔබ අයිති නැත කිසිවකට

සබා මැද කිව නොහැකි

බැඳීමක් ඇති මිසක

ජීවිතය නම් වූ දෙය

උරුම කළ දේය මේ අපට.”

………………………………..

 

“ආත්මාරක්ෂාවට

ආයුධ සන්නද්ධව

ආපසු ගෙදර එන විට

ඇය අත සමාවේ කඩුවය

 

ඉදින් මා

කුමකින් පහර දෙන්න ද

ඇයට”

ජීවිතයේ  අරුත් සොයා වට වන්දනාවක කරුණා කරන සකියන්ට සමරේගේ කවි මග සැබැවින්ම විමුක්තියේ සොඳුරු  මාවතක් බදුය. යස ඉසුරු පසුපස

ලොබ බැඳි මිනිසුන් මැද ලද දෙයින් තුටුව නොසැලී සිටින්නට තරම්  සවිමත්ය. හුස්මක්  නොගෙන ගිරි තරණය ට  බලෙන් මෙන් උර පොදි  පටවා  සකියන් ගාල් කරන සමාජ වපසරියට  මෙකව් නොතේරීම

අරුමයක් නොවන්නේය . එහෙත් කවියා විසින් දල්වනු ලබන  කව් ප්‍රදීපය සදා අමතක කල හැකිද ?

“බලනුය

 විය යුතුවූ සිදුවීම්

නො සිදුවෙන

කාලයේ කෙලවර

 

ඉතින් මේ

නික්ම යාමට  කාලය ය

සියලු දේ යෙදී ඇත

සමුගැනීමට සුදුසු ලෙස

 

කාලය ගලන්නෙය

අපිළිවෙල දිසාවට

……………………

පමා නො වෙනු ව

එලඹ ඇත්තේ

පිටවෙන්න සුදුසු වූ

ඉතා සුබ නැකතක් ය.

සමර  විජේසිංහ ගේ කවි  කියවන විට  මසිතෙහි හට ගන්නේ කිව නොහැකි තරම් බලවත් ශෝකයකි. කවියා විසින් අපට එලිදරව් කරනුයේ නොතිත් ආශාව සිය සොම්නසට නොව දොම්නසට හේතුවන බව නොවන්නේද ..

කරුණාව,දයාව,සෙනෙහස, ආදී මිනිස් දහමින් නොතොර  තැනක ජීවත් නොවීම නොවේද?

 

” ඉතිරි වී ඇත

ඉතා නීරස කොටස

ඉවතලීමට සුදුසු

 

නිම කළ නොහැකි වූ

ඉතිරි වී ඇති කොටස

නිම කල යුතු ම යැයි කියූවද

නිම නොකල වුව කිම

 

මදි ද

ඉදගන්නවත් නැතිව

පා පුවරුවේ

එක් පයක් තබාගෙන

එල්ලීගෙන

මෙතෙක් දුර(කල්)

පැමිණි එක

 

කොතැනින් බැස්ස වුව කිම

බැස්ස තැන ගමනාන්තය

සීනුව නාද කර ඇත

ඉදිරි නැවතුමෙන් බසිමි.

(ගමනාන්තය )

සමරගේ කව්  එකිනෙක  අපට පවසන්නේ  ජීවිතයේ අනියත බව මූලික කරගත් ,සරල ජීවන දහම යැයි මම සිතමි. ආදරය,අනාදරය , වියෝව, හරසුන්

ජයග්‍රහණ, විවාහික දිවියේ බන්ධන, සොඳුරු ඉම්, මෙන්ම සන්තාපයන් පිළිබඳව, දුර සිට්න  අපට සමීප රූ මවන  ඔහුගේ කවි සිත අපට පසක් කරන්නේ හුදෙකලා මුනිවර කවියකුගේ  පැසුනු බවකි.

ඔහුගේ කවියක එක් පදක් අනෙක් පද හා  එකිනෙක බැදෙන්නේ නුමුහුන් සoගීත කන්ඩයක ස්වර මාලාවන් නිරායාසයෙන්  මුසුව ගලා එන්නාක් මෙනි. එකව් තුලින් හටගන්නා ඔහුගේ පරිකල්පනය මතුවන්නේ සිය කවියට භාජනය වන මිනිසුන් පිළිබඳව උපන් අපරිමිත දයාවෙනි .ඒ කරුණා දයා රසය  හුදු ශිල්පීය ප්‍රතිභාව ඉක්මවා මහත් සoයමයකින් යුතුව  අප තුල පහන් සoවේගයක්

ජනිත කරවයි. එය කවියකු සතු පැසුනු බව යැයි මම සිතමි.. එවැනි ගුණයක් කවියකු තුල ඇතිවන්නේ සතත අභ්‍යාසයෙන්මය. අරුමය නම් ඔහුගේ එකම කවි පොතින් ඔහු මෙසියල්ල අපට දානය කර තිබීමයි. එසේම සමරගේ කව් නිරවුල් ය. සරලය.

නේරoජනාවෙන් ගත් දිය දෝතක් මෙන් සුපැහැදිලිය.

“හෙට අවදි වූ විට

සිතෙයි නම්

යළි පහන් දැල්විය  යුතු යැයි

එසේ කල මැන.

 

සිතෙයි නම්

දොර කවුළු වසාගෙන

සිටිය යුතු යැයි

එසේ කළ මැන

 

මම සිටින්නෙමි

විවෘතව

උමඟ කෙළවර

එළිය ඇති තැන

අසීමිතව…”

(එක කවිය සිය වරක්-2009)

සිය එකම කව් පොත “එක කවිය සිය වරක්” නමින් අපට දායාද කල මේ ආත්මික මිනිසා අද අප අතර නොමැතිවීම මහත් ශෝකයක් දනවන්නකි. එමෙන්ම

නූතන කවිය තුල සමර සැඟව ගියේ කෙසේදැයි මම  තවමත් කල්පනා කරමි. සමර ගැන අමර මතකය ඔහුගේ කව් තුලින් යළි  එලි පෙහෙලි කිරීම කවියට

පෙම් බැඳි සැමට කරනු ලබන අනගි සත්කාරයක් වන්නේය.  කව් ලියන, කව් රස විඳින, මා මෙන්ම ඔබද එක් දිනක උදෑසන අවදි වූ විට අප කවුරුන් දැයි

බලන්නට සමරගේ කව් යළි සොයනු ඇත.

” එක් දිනක උදෑසන

සයනයෙන් නගිත

හිදගෙනද නැති

සිටගෙනද නැති

ඉරියව්වකදි

පසක් විය

මම යනු කවුරුදැයි

 

මා නොහදුනන

බොහෝ දෙන ඇත

මම යනු

ඉන් කෙනෙක්.”

කවි ගැන අමර මතක තබා නික්ම ගිය සමර සොයුර. ඔබට මගේ  ශීර්ෂ ප්‍රණාම.

 

(කවි උපුටා ගැනීම “එක කවිය සිය වරක් “

කවිපොතේ ජායා පිටපතිනි.)

 

සුදත් දේවප්‍රිය

කැළණියේ දී.

Social Sharing

Related posts