ලංකා මුහුදේ මාළු බෑමට දත කන ඉන්දීය ධීවරයෝ…

ලංකා මුහුදේ බාධාවකින් තොරව මසුන් මැරීමට ඉඩ සලසා දෙන්නැයි ඉන්දීය ධීවර සමිති  ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

විශේෂයෙන් ලංකා නාවික හමුදාවෙන් කිසිදු ගැටළුවක් නොමැතිව ඉන්දු -ලංකා මුහුදේ ඉන්දීය ධීවරයන්ට මාළු අල්ලන්න ඉඩකඩ හදා ගන්න, තමිල්නාඩු ධීවරයන් වෙනුවෙන් ප්‍රාන්ත හා මධ්‍යම ආණ්ඩුව ලංකා ආණ්ඩුවත් එක්ක සාකච්ජා කරලා අනුමැතිය ගන්න අවශ්‍ය’ යැයි රාමේශ්වරම් ධීවර සංගම් නායක බෙන්සිංලාස් ජේසුරාසා ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලයි.

රාමනාදන්පුරම් පුදුකෝට්ටෙයි සිට මසුන් මැරීමට මුහුදු ගිය තමිල්නාඩු ධීවරයන් 68 දෙනකු ඔවුන් යාත්‍රා කළ බෝට්ටු 10 ක් සමඟින් ලංකා නාවික හමුදාව මගින් ඉකුත් මාසයේදී  අත්අඩංගුවට ගෙන තිබුනේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල්වීමේ චෝදනා යටතේය.

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු වල යෙදී සිටියදී තලෙයි මන්නාරමේ දී  නාවික හමුදාව අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 12 දෙනකු මන්නාරම් අධිකරණය මගින් ජනවාරි 05 වැනිදා නිදහස් කෙරිණි.

නාවික හමුදාව අත්අඩංගුවට ගත් මෙම ධීවරයන් පිරිස වැඩි දුර විමර්ශනය සඳහා ධීවර දෙපාර්තමේන්තුව බාරයේ රඳවා ගෙන සිට පසුව  අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඉන්දීය ධීවරයන් වෙනුවෙන් පෙනී සිටී මන්නාරමේ නීතිඥයෙකු වන එස්.දිනේෂන් කියා සිටියේ  බාල වයස්කාරයෙක් ද ඇතුලත් මෙම ධීවර කණ්ඩායමට වසරක සිර දඩුවමක් වසර දහයකට අත් හිටුවා ලබා දෙමින් උසාවිය මගින් ඔවූන් නිදහස් කළ බවය.

ලංකා නාවික හමුදා අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 68 දෙනකු සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස් කරන ලෙස ඉල්ලා රාමේශ්වරම් ධීවරයෝ  දින 13 ක් පුරා විරෝධතා දක්වා තිබිණි.

රාමනාදන්පුරම් දිස්ත්‍රික් ලේකම් සහ ධීවර දෙපාර්තමේන්තු නිලධාරින් දෙසැම්බර් 30 වැනිදා  පැමිණ විරෝධයට එක්ව සිටී ධීවරයන් හමුවී සහතික වුයේ ලංකාවේ සිරගතව සිටින ධීවරයන් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවය. ඒ අනුව ධීවර විරෝධය අත්හැර දැමිණි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද දෙසැම්බර් 24 වැනිදා යාපනයේ ධීවරයන්ට පොරොන්දු වී ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා පවත්වා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කොට ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවරයන්ගේ ට්‍රෝලර් යාත්‍රා සහ ධීවර උපකරණ උතුරේ ධීවරයන්ට පවරා දෙන බවයි.

රාමේශ්වරම් ධීවර වරායේ සිට ලොකු, කුඩා ධීවර බෝට්ටු 400 කින් ජනවාරි 03 වැනිදා මුහුදු ගිය තමන්, ධනුෂ්කොඩි,  කච්චතිව් කොදෙව්ව අසල මසුන් අල්ලමින් සිටිය දී එහි පැමිණි ලංකා නාවික හමුදාව ඔවුන් පළවා හැරිය බව ධීවරයෝ බලධාරීන්ට පැමිණිලි කර තිබේ.

Social Sharing
නවතම