ශ්‍රී ලංකාව දරුවාට ආරක්ෂිත ස්ථානයක් ද?

තොග පිටින් ලැබෙන ළමා අපයෝජන පැමිණිලි…

දරුවන් සම්බන්ධයෙන් දිනකට පැමිණිලි 20 – 40ක් වාර්තා වෙනවා. මාසිකව සලකා බැලුවහොත් පැමිණිලි 800 – 1500 අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. 2021 වර්ෂයේදී අපට පැමිණිලි 8500ක් පමණ ලැබිලා තියෙනවා. 2011-2020 කාලය තුළ NCPA වෙත මුළු පැමිණිලි 89,409 ලැබී ඇති බව අනාවරණය වෙනවා. එපමණක් නොව, 2021 ජනවාරි 31 වන විට නොවිසඳුණු නඩු 40,668 ක් පවතින බව NCPA ආයතනය නිල වශයෙන් කියා සිටිනවා. අපි කොච්චර පැමිණිලි විසඳුවත් අපිට තවත් පැමිණිලි තොගයක් ලැබෙනවා. දරිද්‍රතාවය, ගෘහස්ථ හිංසනය, මව්වරුන් විදේශ ගතවීම ආදිය නිසා බොහෝ අවස්ථාවල ළමා අපචාර වාර්තා වෙලා තියෙනවා.

සමහර විට ළමා අපචාර සිදුකර ඇත්තේ පවුලේ විශ්වාසය දිනාගත් සහ පවුලට උපකාර කරන ළඟම ඥාතියෙකු, අසල්වැසියෙකු හෝ දන්නා හඳුනන අයෙකු විසින්. ඉතින්, අපි සමාජීය වශයෙන් ආරක්ෂණ පද්ධතියක් වර්ධනය කරන්නේ කෙසේද? යන ගැටලුව තියෙනවා.  අපට නීතිය ක්‍රියාත්මක කර මානසික හා සමාජීය උපදෙස් ලබා දිය හැකියි. නමුත් සමාජයේ ළමා අපචාරවලට තුඩු දෙන සමාජ ආර්ථික හේතු තුරන් කිරීමට අප යම් කාර්යභාරයක් ඉටු කළ යුතුයි.

ලිංගික අධ්‍යාපනයෙහි අඩුපාඩු

අපේ අධ්‍යාපනය තුළින් ලිංගික අධ්‍යාපනය නිසි ලෙස ලැබෙන්නේ නැහැ. විද්‍යාවේ ‘ප්‍රජනනය’ කියලා පාඩමක් තිබුණත් ඒ සම්බන්ධයෙන් ඉගැන්වීමට ගුරුවරු අදිමදි කරනවා. වර්තමානයේ අසභ්‍ය වීඩියෝ සහ අන්තර්ජාලය තුළ සැරිසැරීම ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා. මේ ආකාරයෙන් පාලනයකින් තොරව හැඟීම් ප්‍රකාශ කරන්නෙ විශාල ලෙස මාර්ගගත වේදිකාවලට (Online platforms) නිරාවරණය වී ඇති නිසාද යන්න ප්‍රශ්නයක්.
මීළඟට, සමහර අවස්ථාවල අපට වාර්තා වෙලා තියෙනවා ළමයින්ට අසභ්‍ය චිත්‍රපට පෙන්වූ අවස්ථා. ඒ වගේම අපි කිව් ආකාරයට ළමයින්ව ලිංගික අපයෝජනවලට ලක් කිරීමට හේතු වන ඔවුන් අනාරක්ෂිතභාවයට පත්කරන කරන සාධක ද තිබෙනවා. මව කුස්සියේ ඉවුම් පිහුම් කරමින් සිටියදී දරුවන් අපයෝජනයට ලක් කෙරුණු අවස්ථා වාර්තා වෙනවා.

ළමා විවාහ නීතිය මගින් දිරිමත් කිරීම…

මුස්ලිම් විවාහ නීතියට අනුව, වයස අවුරුදු 12 ට වැඩි අයට ඔවුන්ගේ දෙමව්පියන්ගේ සහ ක්වාසිවරයාගේ කැමැත්ත ඇතිව විවාහ ජීවිතයට පිවිසිය හැකියි. එවැනි අවස්ථාවල ළමා විවාහ, නීතියෙන් දිරිමත් කිරීම කෙතරම් නුසුදුසුද යන්න සලකා බැලිය යුතුයි. මේ තත්ත්වය ළමා හා කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මුස්ලිම් නීතියේ තියෙන්නේ නීතියෙන්ම දීලා තියෙන අවස්ථාව. ඒ වගේම වැලිඔය වගේ සමහර ප්‍රදේශවලත්, වතු ආශ්‍රිත ප්‍රදේශවලත් මේ ප්‍රශ්නය බහුලව දකින්න ලැබෙනවා. එයට නීතියෙන් පිළිගැනීමක් ලබා දී නැතත්, ආර්ථික හා සමාජීය හේතූන් මත දරුවන් අඩු වයසින් විවාහ කර දෙනවා. එමගින් ළමා අයිතිවාසිකම් කඩවීමක් සිදුවෙනවා.

නීතියෙහි හිඩැස්

අධිකරණ ඇමති දැන් මුස්ලිම් ප්‍රජාවේ කෙනෙක්. මුස්ලිම් නීතියේ විතරක් නෙවෙයි මම කලින් කිව්වා වගේ සමහර පනත්වල තියෙනවා දරුවා අවුරුදු 14ට අඩු කෙනෙක් කියලා. සමහර පනත්වලට අනුව, එය අවුරුදු 16 ට අඩු අයෙකු ලෙස අර්ථ දක්වා තියෙනවා. 2021දී ළමයින් ගෘහ සේවයට බඳවා ගන්නා වයස අවුරුදු 14 සිට 16 දක්වා දීර්ඝ වුණා. එය තව දුරටත් අවුරුදු 18 දක්වා දීර්ඝ කළ යුතුයි කියලා අපි කියන්නෙ. මක්නිසාදයත් දරුවෙකුට ගෘහ සේවය නොවන, වෙනත් හානිකර නොවූ කාර්යක නිරත වීමට අවස්ථාවක් තිබිය යුතුයි. නමුත් ගෘහ සේවය ඒ සඳහා සුදුසු දරුවාගේ කුසලතා වර්ධනය කරන වෘත්තියක් නොවේ. ගෘහ සේවයට අවස්ථාවක් ලබා දීමෙන් දරුවන් අපයෝජනයට ලක් කිරීමට අපි පහසුකම් සලසනවා. ඒ නිසා අපි කියන්නේ වයස අවුරුදු 16ට වැඩි දරුවන්ට යම් යම් කොන්දේසි යටතේ තම ජීවිතයට සහ සෞඛ්‍යයට අහිතකර නොවන කාර්යයන්වල නිරත වීමට ඉඩ දිය යුතු බවයි.

ආයතනික වගකීම්

ඒ වගේම NCPA පනතේ 14 වැනි වගන්තිය යටතේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට, පොලිසිය විසින් සිදු කරමින් පවතින ඕනෑම ළමා අපයෝජන සිද්ධියක් පිළිබඳ විමර්ෂණ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට බලය තියෙනවා. පොලිසියෙන් පමණක් නොවෙයි, අපි සලකා බලමු දරුවෙකු නීතිය ඉදිරියට පැමිනුණා කියලා.  ‍‍එවැනි විටක සෑම මට්ටමකින්ම යුක්තිය ඉටු වී ඇත්දැයි පරීක්ෂා කිරීමට අපට හැකියි.

ඒ වගේම අදාළ පොලිසියෙන් නඩුව හරියට වෙන්නේ නැත්නම් අපිට පැමිණිලි ලැබෙනවා. එවිට අපි මැදිහත් වී අවශ්‍ය නියාමනය කිරීමේ ක්‍රියා පටිපාටිය සිදු කරනවා. ළමා ආරක්‍ෂාව පිළිබඳ කාටහරි බෝලෙ පාස් කරන්න අපට හැකියාවක් නැහැ. හැබැයි ඒක NCPA  ආයතනයට විතරක් කරන්නත් බැහැ. මොකද තව අදාළ ආයතන තියෙන නිසා. නිදසුනක් වශයෙන්, පරිවාස සහ ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව. ඔවුන් දරුවන්ගේ ආරක්ෂාව සහ භාරකරු ලෙස වගකිව යුතුයි. ළමා නිවාසවලට ළමුන් ඇතුළත් කිරීම සහ එම අනාථ නිවාසවල ගුණාත්මක බව සුරක්ෂිත කිරීම පරිවාස හා ළමාරක්ෂක සේවාව මගිනුයි සිදු කෙරෙන්නෙ. නමුත් නිසි අවශ්‍යතා සපුරා නොමැති අනාථ නිවාසවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට සහ ඒවා නියාමනය කිරීමට පනත මගින් NCPA වෙත බලය ලබා දී තියෙනවා. සමහර විට අනාථ නිවාසවල රැකවරණය ලබන දරුවන් 1929 අංකය හරහා අපව අමතලා ළමා නිවාසවල ඇති ගැටලු අපට හොරෙන් දැනුම් දෙනවා. ඉන්පසුව අපි අපේ ප්‍රාදේශීය විමර්ශන නිලධාරීන් සහ පොලිසිය හරහා පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියා පටිපාටිය සිදු කරනවා.

ඊළඟට එන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. ළමා අපචාර සම්බන්ධ බොහෝ සිද්ධීන්, අපරාධ චෝදනා එල්ල කළ යුතු නඩු. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුවට යම් කාර්ය භාරයක් තියෙනවා. එසේම ළමා ආරක්ෂාව පිළිබඳව  IMO ආයතනයට යම් යම් භූමිකාවන් ඉටු කිරීමට ඇත. මන්ද ලිංගික අපයෝජනය වැනි කිසියම් සිදුවීමක් සිදුවී ඇත්නම්, දරුවා IMO වෙත අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුයි. මානසික අපයෝජනයක් සිදුවුවහොත් දරුවා මනෝ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරනවා. ඒ වගේම උසාවියත්, පොලිසියත් අත්වැල් බැඳගෙන ළමා ආරක්ෂාව ක්‍රියාත්මක කළ යුතුයි.  මා කලින් කීවාක් මෙන් NCPA ය මෙහිදී යම් කාර්යභාරයක් ඉටු කරයි. නමුත් අප විසින් කළ යුතු කාර්යය සඳහා ඇති ඉල්ලුම ද අධිකයි.

මෙම ආයතනය තුළ වසර ගණනාවක සිට නිලධාරීන්ගේ හිඟයක් පවතිනවා. නොවිසඳුණු නඩු 45,000ක් පමණ තිබෙන බව කෝප් කමිටුවේදී ප්‍රශ්න කර, සාකච්ඡා කර තිබෙනවා. ඒකට හේතුව වුණේ, මීට මාස හයකට කලින් මම ඒ අංශය භාර ගනිද්දි, මීට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශයට අධ්‍යක්ෂවරයකුවත් බඳවාගෙන සිටියේ නැහැ. ඒ නිසා ගොඩක් වැඩ ගොඩගැහිලා තිබුණා. අතීතයේ එම නොවිසඳුණු සිද්ධීන් යම් ආකාරයකින් දැනට පවතින නඩුවලටත් බලපානවා. මම හිතන්නේ මෙය ක්‍රියාවලියක්, ක්‍රියාදාමයක්. ඒ තත්ත්වය තුළ අපි යම් ගමනක් යනවා. රටේ මිනිස්සුයි, අපේ සේවය ලබන අයයි තමයි අපේ කාර්යයන්වල ගුණාත්මක බව සලකා බලලා, අපිට ලකුණු කීයක් දෙන්න පුලුවන්ද කියලා කියන්න ඕනෑ.

Child protection authority

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ, නීතිඥ සජීවනී අබේකෝන් සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරිනි..

Social Sharing
නවතම විශේෂාංග