ව්‍යවස්ථාවක් කොමිටියක් මගින් ලියා ඉදිරිපත් කිරීම. – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

new constitution in sri lanka

ව්‍යවස්ථාවක් යනු රටේ ජනතාව විසින් තමන්ගේ අනාගතය කුමන ආකාරයක දේශපාලන හා නෛතික රාමුවක් යටතේ පවත්වා ගෙන යා යුතු ද යන්න පිළිබඳව ගන්නා තීරණවල ලේඛනයකි. සමාජයක තිරසාර පැවැත්ම මෙන් ම එහි සාමකාමී පැවැත්ම පවත්වාගෙන යන ආකාරයත්, ඒ තුළ සිදු වන්නා වූ සියළු ආර්ථික වැඩකටයුතු තමන් විසින් පිළිගන්නා සම්ප්‍රදායන් හා නීතිමය පදනම යටතේ පැවතිය යුතු ආකාරයත්, සමාජයේ ඇතිවෙන විවිධාකාර ගැටුම් කුමන ආකාරයකින් සඳහන් කර ගනිමින් සංසිදියාවේ ප්‍රතිපත්තියක් අඛණ්ඩව සමාජය තුළ පවත්වාගෙන යා හැක්කේ කෙසේද යන්න සම්බන්ධයත් රටේ සදාචාරය හා විනය ගරුක භාවය පවත්වගෙන යමින් මුළුමනින්ම ශිෂ්ඨ සම්පන්න වූ සමාජ වාතාවරණයක් නිර්මාණය කර ගන්නේ කෙසේද යන්න ආදී කරුණු පිළිබඳව  ජනතාව තමන් තුළ ජනනය කර ගන්නා වූ අදහස් හා මූලධර්ම ලේඛනගත කොට එම ලේඛන වලින් තමන්ව බැදී සිටීමට දෙනු ලබන්නා වූ කැමැත්ත මත ව්‍යවස්ථාවක් පදනම් වේ.

ව්‍යවස්ථාව නිර්මාණය කර ගැනීම පිළිබඳව ඇති ප්‍රධාන අදහස් මෙසේ කැටි කර ගත හැකිය.

ජනතාවගේ දැනුවත්කම මත පදනම් වී ජනතා කැමැත්තක් මත ව්‍යවස්ථාවක් අඩංගු වන සියලුම කරුණු නිර්මාණය කරගත යුතුය.

මෙවැනි නිර්මාණයක් කර ගත හැකි වන්නේ සමාජය තුළම මේ පිළිබඳව ඇති කරගන්නා වූ ඉතා ගැඹුරු හා පැහැදිලි වටහා ගැනීම් ඇති කර ගැනීම තුලින්.

මෙවැනි වටහා ගැනීම් ඇති කර ගත හැක්කේ සමාජය තුළම ඇතිවන කතිකාවන් තුළ දී පමණය. මේ අනුව කතිකාවකින් තොර ව්‍යවස්ථාව ව්‍යාජ හා විකාර සම්පන්න ලේඛනයකි.

ඉහත සඳහන් කරුණු අනුව ව්‍යවස්ථා යනුවෙන් හදුන්වන ලේඛන කොටස් දෙකකට බෙදිය හැකිය.

පළමුවැන්න නම් අව්‍යාජ හා විශ්වාසනීය භාවයෙන් යුතු ව්‍යවස්ථාවන් ය. ඒවා ඉහත සඳහන් ආකාරයේ ජනතාව විසින් ම තමන් ජීවත් විය යුතු සමාජයේ මූලික ව්‍යුහය හා එම මූලික ව්‍යුහය තුළ සියලුම ප්‍රශ්ණයන් වලට මුහුණ දීම සඳහා අවශ්‍ය වන නෛතික රාමුව නිර්මාණය කර ගැනීමකි. නෛතික රාමුවක් යනු සියලුම ප්‍රශ්න  වලට විසඳුමක් නොවේ. සමාජය තුළ ඇතිවන ප්‍රශ්න නිරන්තරයෙන්ම පැන නගින අතර එම ප්‍රශ්න නිරාකරණය කර ගැනීම ප්‍රායෝගික කරගත යුතු කාර්යයන්ය. ව්‍යවස්ථාවකින් කරනු ලබන්නේ එවැනි ප්‍රායෝගික කාර්යයන්ගෙන් නියැලෙන සමාජයකට එය නිසි ආකාරයෙන් කර ගැනීම සඳහා අවශ්‍ය වන්නාවූ සීමාවන් ප්‍රකාශයට පත්කර ගැනීමය. ඕනෑම දෙයක් ඕනෑම ආකාරයකින් කිරීම විනාශයට හේතු වන සාධකයක් බව පිළිගැනීම තුළ ඉහත සඳහන් මූලධර්මය පදනම් වී ඇත. වැරදි කිරීමට මිනිසුන් තුළ මෙන්ම සමාජ කණ්ඩායම් තුළ පවතින ප්‍රවණතාවය පිළිගෙන එවැනි දේ කිරීමට බාධා පමුණ වන ආකාරයේ මූලධර්මයන් නෛතික වශයෙන් ප්‍රකාශයට පත්කොට එසේ වැරදිවලට ගොදුරක් බවට සමාජය වැටීම වළක්වා ගැනීම මෙම ක්‍රියාමාර්ගය තුළින් බලාපොරොත්තු වේ.

ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම තුළින් ජනතාවක් ප්‍රකාශයට පත් කරන්නේ අනවශ්‍ය හා බලාපොරොත්තු නොවන ආකාරයක ව්‍යාකූලතාවයන් හා ගැටලු සමාජය තුළ ඇති කර නොගෙන සමාජය පවත්වාගෙන යෑමේ ක්‍රමවේදයකි. සමාජය තුළ විවිධ පුද්ගලයන් ද සමාජ කණ්ඩායම් මේ පුද්ගලයන් හා සමාජ කණ්ඩායම් අතර මහා පරිමාණ එකඟතාවයක් පවතින අතරම ඔවුන් අතර ගැටලුවට තුඩු දෙන්නා වූ ප්‍රශ්නය ද පවතී.

ව්‍යවස්ථාකරණයේ දී කරනු ලබන්නේ සමාජය තුළ පවතින සාධනීය වූ සියලුම එකඟතාවයන් ගේ හරය ව්‍යවස්ථා පද්ධතිය තුළට එනම් රටේ මූලිකම නීතිය රාමුව තුළට ගෙන ඒමත්, ඒ අතරම සමාජය තුල පවතින්නාවූ සමාජයේ පුද්ගලයන් හා සමාජ කොටස් අතර පවතින්නාවූ ගැටළු බුද්ධිමය ආකාරයකින් හා ශිෂ්ඨසම්පන්න ආකාරයකින් විසඳා ගැනීමේ නෛතික පදනම ද ඇති කර ගැනීමය. මේ අනුව එක අතකින් සමාජය තුළ ඇති ප්‍රබල එකඟතාවය මත ව්‍යවස්ථාව ගොඩනැගීමකින් එම එකඟතාවයන්ට සදාකාලික ප්‍රකාශනයක් දෙනවා මෙන්ම අනිත් අතින් සමාජය තුළ පවතින ගැටුම් විසඳා ගැනීමේ මාවතක් නිර්මාණය කර ගැනීම තුළින් ඒවා ක්‍රමයෙන් අතුරුදහන් වී යාමටත්, කෙසේ වුවත් ඒවා පවතින තාක් දුරට ප්‍රචණ්ඩත්වයකින් තොරව එම ගැටුම් විසඳා ගැනීමේ මාවත් නිර්මාණය කිරීමත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරන අත්‍යවශ්‍ය  අංගයක් වෙයි.

ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරෙන්නේ සමාජයේ එක්තරා වර්ධන අවස්ථාවකදීය. එනම් කිසියම් ඓතිහාසික සිදුවීම් මාලාවක් සිදු වෙමින් පවතින අවස්ථාවකදීය. වැඩි වශයෙන් ම එවනි අවස්ථාවක් ඇති වන්නේ සමාජය තුල කිසියම් තීරණාත්මක වෙනසක්  සිදුවන්නට යනවාය යන මතය ජනගත වූ වාතාවරණයක් තුලය.

යම් වෙනසක් ඇති වෙනවාය යන විශ්වාසය මත ඊට අදාළව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සිදුවන එක් අවස්ථාවක් නම් යටත්විජිතයක්  ස්වාධීන රාජ්‍යයක් බවට පත්වන අවස්ථාවය. යටත්විජිත ග්‍රහනණයෙන් මිදී ස්වෛරීය රාජ්‍යයක් බවට පත් වන රටක් අනාගතයේ දී තමන්ගේ රටේ සිදුවන්නාවූ පාලනය කුමන පිළිගත් නීතිමය රාමුවක් තුළ කෙරෙන්නේ ද යන එකඟතාවය මත ව්‍යවස්ථාවක් නිර්මාණය කරගෙන ඇත්තෙන් ම අලුත් රටක් පටන් ගනී.

සමාජයේ කිසියම් ගැඹුරු ප්‍රශ්න ඇති වී ඇති කාලයක දී එම ප්‍රශ්න වලට විසඳුම් සොයා ගැනීමට හුදෙක්ම ප්‍රායෝගිකව පමණක් නොහැකි බවත් ඒ සඳහා පළල් සමාජ එකඟතාවයක් හා ඒ එකඟතාවය මත පදනම් වන නෛතික රාමුවක් අවශ්‍යයි සිතන අවස්ථාවලදී ද ව්‍යවස්ථා නිර්මාණය කරා යොමුවීම දක්නට හැකිය. උදාහරණයක් වශයෙන් කිසියම් සිවිල් යුද්ධයකට කාලයක් තිස්සේ යොමු වී ඒ නිසා විශාල ජීවිත හානින් මෙන්ම සමාජයට අතිශයින් අහිතකර වූ සිදුවීම් ඇති අවස්ථාවක එම සිවිල් යුද්ධය අවසානයේදී සමාජය නව පදනමක් මත පිහිටුවා ගැනීම සඳහාත් අනාගතයේ දී පෙර කී වර්ගයේ ගැටීම් හා සිවිල් යුද්ධය ඇතිවීම වළක්වා ගැනීමේ පදනම ලෙස ද ව්‍යවස්ථා කරණයට යොමු වී ඇති අවස්ථා විරල නොවේ.

සමාජයේ ගැටුම්කාරී අවස්ථාවල් යන්න හුදෙක් ම සිවිල් යුද්ධ වලට සීමා වන දේවලුත් නොවේ. සමාජය තුළ යම් අවස්ථාවක විවිධ හේතූන් නිසා මහා පරිමාණ කඩාවැටීමක් සිදුවීමට පුළුවන. එම මහා පරිමාණ කඩාවැටීම් තුළට රටේ මුල්‍ය ක්‍රමය මුළුමනින්ම කඩා වැටීම, රටේ නීතිය ක්‍රියාත්මක කිරීම මුළුමනින්ම කඩා වැටීම, රාජ්‍යයේ බලතල බෙදී ඇති ආකාරය සම්බන්ධයෙන් ඇතිවී ඇති පිළිගත නොහැකි විෂමතාවයන් නිසා යම් බලපුළුවන්කාරකම් ඇති වී එම බල පුළුවන්කාරකම් නිසා රටට විශාල විනාශයක් සිදුවෙමින් පවතින අවස්ථාවක, රටේ මහා පරිමාණ ආහාර හිඟයක් ඇතිවීම තුළින් විශාල විනාශයක් ඇති වූ අවස්ථාවක හෝ ඇතිවීමට ඉඩකඩ ඇති අවස්ථාවක එයින් බේරීම සඳහා යම් සමාජ එකඟතාවයක් තුළට පැමිණ එම එකඟතාවයන් නීතිමය රාමුවක් යටතේ ගොනු කර ගැනීම තුළින් එසේ සමාජයේ ඇතිවී ඇති අතිශයින් ම විෂමතා තත්ත්වය මැඩ පවත්වා ගැනීමේ මාවතක්වත් නිර්මාණය කර ගැනීම සඳහාද ව්‍යවස්ථා  නිර්මාණය  කරනු ලබයි.

ලංකාවේ දැනට ව්‍යවස්ථාවක් අවශ්‍ය යන හැඟීම් පදනම් වී ඇත්තේ මූලික වශයෙන්ම රට තුළ එහි නූතන ඉතිහාසයේ කිසි දිනෙක නොසිදු  විදියේ මහා පරිමාණ විනාශකාරී තත්වයක් ඇති වී ඇති බව සමස්ත සමාජය පුරාම පිළිගෙන ඇති අවස්ථාවකදීය. එම මහා පරිමාණ කඩා වැටීමෙන් ඇති අංගයන් නම් රටේ මූල්‍ය ක්‍රමය මහා පරිමාණව කඩාවැටීම තුළින් රටට අවශ්‍ය වියහියදම් දරා ගැනීමට බැරි තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතීම එක් අංගයකි. එම මූල්‍ය අර්බුදය  ඇතිකිරීම පදනම වශයෙන් රට තුළ කාලයක් තිස්සේ පැව ඇති පාලනයෙන් නිසි පාලනයකින් තොර ණය ගැනීමේ ප්‍රතිපත්තිය ප්‍රධාන සාධකයක් ලෙස මතු වී ඇති බව රජය මෙන්ම අන් සියල්ලෝ ද මෙම අවස්ථාව වන විට ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත. එම පසුබිම යටතේ සමාජයේ මහා පරිමාණව බඩු මිල ඉහළ යෑම් වැඩිවීම මගින් එක් අතකින් උද්ධමනය වේගය  පාලනය නොකළ හැකි ආකාරයකින් පළල් වීමත්, එම නිසා සියලුම ප්‍රශ්ණ සිදු වී ඇත.

මේ නිසා රටේ සියල්ලන්ගේ චේතන බාල්දු වීමක් ඇති වී ඇති අතර එදිනෙදා වියහියදම් දරා ගැනීමට පවා මෙම බාල්දුවීම බලපායි.  මේ අතර ආර්ථික  අර්බුදය නිසාම රටේ අධ්‍යාපන කටයුතු, සෞඛ්‍ය කටයුතු හා වෙනත් මූලිකව ම  අවශ්‍යය වන්නා වූ කටයුතු වල වියදම් දැරීමට පවා බැරි තත්වයක් රට තුළ නිර්මාණය වී ඇත. මේ සියල්ල අභිබවා රටේ ප්‍රධානම ආහාර සැපයෙන මාර්ගයක් වන කෘෂිකර්මය විශාල වශයෙන් කඩාවැටීමකට භාජනය වීමත් ඉතාම නුදුරු කාලයක් තුළ මහා පරිමාණයෙන් ආහාර හිඟයක් ඇති වේය යන බයත් ඒ මගින් දැනටමත් ප්‍රබලව පවතින අවශ්‍ය ආහාර නැතිකම (Malnutrition) මෙන්ම සාඝත තත්ත්වයක් පවා නිර්මාණය වේය  යන බයත් දැන් රට තුළ පවතී. මේ සියල්ල සමග තවත් බැඳී තිබෙන ඉතා ප්‍රධාන ප්‍රශ්නයක් නම් රටේ නීතිය මුළුමනින්ම කඩා වැටී ඇති බවත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇති පොලිසිය සංස්ථාවක් හැටියට බිඳවැටීම නිසා ජනතාව ඔවුන් කෙරෙහි දක්වන ආකල්ප ඉතාමත් සාධනීය නොවන ආකල්ප බවට පත් වී තිබීමත් නීතිපති ක්‍රමය දේශපාලනකරණය කිරීම නිසා ඒ පිළිබඳව ඇතිවී ඇති කලකිරීමත්, අධිකරණයට කර ඇති විශාල පහරදීම් යටතේ එහි බලය, ඒ කාර්යභාරය  මෙන්ම එහි ස්වාධීනත්වය ද දුර්වල වීම යන කරුණු සමාජයේ කාගේත් එකගතාවයක් මගින් ප්‍රකාශයට පත් වන තත්වයක් ද රට පුරා ඇත.

එසේ නම්, කරුණු එසේ නිසා ලංකාවේ ව්‍යවස්ථාකරණය සිදුවන්නේ ඉහත සඳහන් කළ ආකාරයේ කිසියම් මහා පරිමාණ සමාජ ව්‍යවසනයකින් බේරීමේ මාවතක් නිර්මාණය කරගැනීමේ අරමුණෙනි. මේ අරමුණ සියල්ලටම වඩා මුල් තැනට පත් කර ගැනීම තුළින් පමණක් අර්ථවත් ව්‍යවස්ථාවක් නිර්මාණය කළ හැකිය.

Social Sharing

Related posts