අධිකරණ පද්ධතියේ නීති ප්‍රතිසංස්කරණ රැසක්!

අධිකරණ අමාත්‍යාංශයේ පවතින නඩු ප්‍රමාදය, රස පරීක්ෂණ වාර්තා ප්‍රමාදය ගැන අප දිනපතාම පාහේ කථා කරන්නෙමු.

බොහෝ නඩු වල රස පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් නිකරුණේ සැකකරුවන්ට බන්ධනාගාර ගතව සිටීමටද සිදු වේ. මේ නිසා රජයට ඔවුන් නඩත්තු කිරීමට අමතර බරක් දැරීමටද සිදු වේ. ඇතැම් විට රස පරීක්ෂණ වාර්තා වසර 1-2 ප්‍රමාද වුවන් අප දැක ඇත.

නඩු වල තත්ත්වයද එසේමය. බොහෝ නඩු වසර ගණන් ඇඳී ගොස් තීන්දුව ලැබෙන විට ඇතැම් අවස්ථා වල වින්දිතයා මිය ගොසිනි. මේ තත්ත්වය වෙනස් විය යුතු බව පහුගිය දිනවලදි  දිගින් දිගටම සිවිල් සමාජය රජයට  පෙන්වා දී සිටියහ.

එමෙන්ම ඇතැම් අණ පනත්, නීති වෙනස් විය යුතු බවද දිගින් දිගටම සාකච්ඡාවට ලක් වුවේය.

කෙසේ නමුදු මේ වන විට එහි යම් සාධනීය තත්ත්වයක් මතුව ඇත. ඉදිරි මාස කිහිපය තුළ නව නීති ප්‍රතිසංස්කරණ 10 ක් ඉදිරිපත් කරන බවත් ඊට අදාළව කමිටු කිහිපයක් මේ වන විටත් ක්‍රියාත්මකව ඇති අතර  කමිටු දෙකක වාර්තා මේ වන විටත් ලබා දී ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය සියලු  ක්‍රියාදාමයන් වඩාත් සාධනීය ලෙස  වැඩි දියුණු කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත්, ඒ සදහා මේ වන විටත් පියවර රාශියක් ගෙන ඇති බවත්, ඒවා ක්‍රියාත්මක කර හා වෙමින් පවතින බවත් ඔහු පවසයි.

නීති පද්ධතියේ පවතින ප්‍රතිසංස්කරණ සිදු කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය යටතේ ප්‍රතිසංස්කරණ අංශයක් ස්ථාපිත කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා  සදහන් කළේ ඉදිරි වසර හතර තුළ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය තුළ දැඩි වෙනසක් සිදු වන බවය.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය හා සෘජුව සම්බන්ධ වන අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් සිදු වන යම් ප්‍රමාදයන් ඇත්නම් ඒවා කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන් ඔහු සදහන් කළේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඊට හොදම උදාහරණය බවයි.

මීට මාස කිහිපයකට පෙර එම දෙපාර්තමේන්තුව තුළ රස පරීක්ෂක වාර්තා 8000 ක් පමණ ගොඩ ගැසී පැවති බවත්, අද වන විට ඒ සියල්ලෙහි වාර්තා ලබා දී අවසන් කර ඇති බවත්, මේ වන විට මසක් තුළ වාර්තාවක් නිකුත් කර අවසන් කළ හැකි ආකාරයේ කාර්යක්ෂමතාවයක් එම දෙපාර්තමේන්තුව තුළ පවතින බවත්, යුක්තිය පසිදලීම හා සම්බන්ධ වන සියලු ආයතන විධිමත් පරිදි කාර්යක්ෂම කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, අධිකරණ අමාත්‍ය අලි සබ්රී මහතා සදහන් කළේය.

තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා සදහන් කළේ. අධිකරණ පද්ධතිය තුළ වර්තමානයේ පවතින ගැටළු සදහා දිගු කාලීන පරිපුර්ණ විසදුම් හදුන්වා දෙන බවත්  එය වත්මන් රජය අවබෝධ කර ගෙන මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත්ය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අධිකරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කළ යුක්තිය ශක්තිමත් කිරීම සදහා වු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සම්මන්ත්‍රණය කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත් වුණු අවස්ථාවේය…( “Justice Strengthened” International Development Partners Dialogue commenced at the Hilton Colombo – Ministry of Justice )

-ශානි-

Social Sharing
නවතම