“අනිද්දා” සංස්කාරක නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන
රංජන් රාමනායක මන්ත්‍රීවරයා උසාවියට අපහාස කිරීම පිළිබඳව අපි හැමෝම දන්නවා ඔහුට අවුරුදු හතරක සිර දඬුවම් ලැබිලා තියෙනවා. එතකොට ලංකාවේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව නීතිය ගැන දැන් නැවතත් අලුත් සාකච්ඡාවක් ඇතිවෙලා තියෙනවා. ඇත්තටම මෙවැනි ඒ කියන්නේ උසාවියට අපහාස කිරීම පිළිබඳ චෝදනා ලබලා යම් යම් පුද්ගලයින් මීට පෙර වරින්වර සිරගත කරපු අවස්ථාවලදී, අධිකරණ අපහාස නීතිය පිළිබඳ මෙවැනිම සාකච්ඡා ඇති වුණා. නමුත් අවාසනාවකට ඒ හැම අවස්ථාවකම ඒ සිද්ධිය යට ගියාට පස්සෙ, ඒ ඒ සිද්ධියේ කාලය ඉකුත් වුණාට පස්සේ, ඒ සාකච්ඡාවත් එහෙමම යටපත් වුණා. දැන් නැවතත් ඇවිල්ල තියෙන්නේ ඒ පැරණි සාකච්ඡාව.
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව නඩු විභාග කරලා දඬුවම් දෙන්න අභියාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් බලය දීල තියෙනවා. හැබැයි ඒ බලය මොන සීමාවකද තියෙන්නෙ කියන දේ ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහේවත් සඳහන් වෙලා නැහැ. එතකොට එයින් පෙනී යනවා අධිකරණයට පුළුවන් තමන්ගේ අභිමතය අනුව මේ සඳහා දඬුවම් නියම කරන්න. එතකොට සාමාන්‍යයෙන් කරන්නේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව චෝදනාවක් ලැබුනහම ඒ අදාළ පුද්ගලයා අධිකරණයට කැඳවලා අධිකරණය විමසනවා ඔබට දඬුවම් නොකිරීම සඳහා මොනවාද තිබෙන හේතු කියලා. එතකොට ඒ පුද්ගලයා තමන්ගේ ප්‍රකාශය හෝ තමන්ගේ ක්‍රියාව සම්බන්ධයෙන් අධිකරණයට සෑහීමකට පත්වෙන තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. එසේ නොවුණහොත් ඔහු අර චෝදනාවට වැරදිකරු බවට පත් වෙනවා. දැන් රන්ජන් රාමනායක මහත්මයා සම්බන්ධ කාරණාව ගත්තොත්, රන්ජන් රාමනායක මහත්මයා අරලියගහ මන්දිරය ඉදිරියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකට පස්සේ එලියට ඇවිල්ල මාධ්‍යවලට කරපු ප්‍රකාශයක් තමයි මේ චෝදනාවලට පදනම වුණේ. එහිදී අධිකරණය ඇහුවා ඔබට මේ ගැන මොනවද කියන්න තියෙන්නේ සහ ඔහුගේ ප්‍රකාශය තහවුරු කරන්න කරුණු තියෙනවද කියලා. එතකොට අධිකරණය තමන්ගේ තීන්දුවෙන් කියන්නේ අධිකරණය ඉදිරියේ රන්ජන් රාමනායක මහත්මයාගේ පාර්ශවයෙන් තමන්ගේ ඒ ප්‍රකාශය තහවුරු කරන්න කරුණු ඉදිරිපත් නොවුණු බව. ඒ වාගේම අධිකරණය නිරීක්ෂණය කරනවා අධිකරණයට රන්ජන් රාමනායක මහත්මයා පැමිණිලා නඩු විභාගයට මුහුණ දීලා එළියට ගිහිල්ලා නැවත වාරයක් මාධ්‍යවලට වරින්වර තමන්ගෙ ප්‍රකාශය තහවුරු වෙන විදියට ප්‍රකාශ නිකුත් කිරීම. ඒ කාරණාව මත තමයි ඔහුට වසර හතරක සිර දඬුවමක් අධිකරණය විසින් නියම කරන්නේ.
දැන් අපි අර පරණ සාකච්ඡාවට ගියොත් අධිකරණයට තමයි ඒ බලය තියෙන්නේ, අධිකරණයට අපහාස කිරීම පිළිබඳව යම්කිසි පුද්ගලයෙක් චෝදනාවක් ලැබුවාම ඒ චෝදනාව සම්බන්ධයෙන් විභාග කරල දඬුවම් දීමට. එතකොට අපිට පේනවා මෙතැන දී සාමාන්‍යයෙන් පිළිගන්න ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය වෙනවා. මොකක්ද ස්වාභාවික යුක්තියේ මූලධර්මය, තමන්ගේ නඩුව තමන් නොඇසිය යුතුයි කියන කරුණ තමයි ඒක. ඒ කියන්නේ තමන් නඩුවක යම් පාර්ශවයකට සම්බන්ධයක් තියෙනවා නම් ඒ නඩුව අහන්න තමන්ට සුදුසු කමක් නැහැ කියන කරුණ.
නමුත් අධිකරණය, අධිකරණ පද්ධතියට අපහාස කිරීම පිළිබඳ නඩු තමන්ම අහනවා. හැබැයි එයට නීතියෙන් පිළිගැනීමක් හිමි වෙලා තියෙනවා. මෙහිදී ස්වභාවික යුක්තියේ මූලධර්මය කඩවීමට නීතිමය අවකාශයක් අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම දීලා තියෙනවා. එතකොට අපි තේරුම් ගත යුතුයි එසේ නම් අධිකරණය මේ පාවිච්චි කරන්නේ රටේ ඉහළම නීතියෙන් තමන්ට ලැබුණු බලය. ඒ වගේම ඒ බලයට සීමාවක් පනවල නැහැ. උදාහරණයක් හැටියට රන්ජන් රාමනායක මහත්මයාට දෙන්න ඕනෙ මොන වගේ දඬුවමක් ද? වසර කීයක් ද? කියන දෙය සම්බන්ධයෙන් අපේ නීතියේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. වෙන ආකාරයකට කිව්වොත් ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වැරදිකරුවෙක්වන පුද්ගලයකුට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමහරවිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දෙන්න තරමට අවශ්‍ය නම් අධිකරණයට බලයක් තියෙනවා.
දැන් එක් පසෙකින් අධිකරණය තමන්ම පාර්ශවකරුවෙක් වන නඩුවක් අහනවා. දෙවැනි කරුණ ඔවුන්ට දෙන්න පුළුවන් දඬුවම ගැන සීමාවක් නැහැ. මෙහිදී මම හිතන ආකාරයට නම් අධිකරණයට ඉතාම බරපතළ වගකීමකින් තමයි මේ අවස්ථාවේදී කටයුතු කරන්න වෙන්නේ, එක් පසෙකින් තමන් මේ සිදුවීමේ පාර්ශවකරුවෙක්, දෙවනුව තමන්ට අසීමිත බලයක් තියෙනවා එතකොට මේ බලය කොහොමද භාවිතා කරන්න කියන එක අධිකරණය හිතන්න ඕනෑ. මම හිතන්නේ හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තමයි ඒක. අනිත් කරුණ අපි තේරුම් ගත යුතු දේ තමයි අධිකරණය මේ දඬුවමක් නියම කරන විට මේ තීන්දුව ගන්න කොට එක් පසෙකින් අර පුද්ගලයා වැරදිකරුවෙක් කරනවා වගේම අධිකරණයත් පරීක්ෂාවට ලක් වෙනවා තමන්ගෙ තීන්දුව සම්බන්ධයෙන්. වෙනත් ආකාරයකට පැහැදිලි කළොත් අධිකරණය තමන්ට අපහාස කිරීම, තමන්ට අගෞරව කිරීම පිළිබඳවයි මෙය පුද්ගලයකුට වරදකාරීත්වය පටවන්නේ.
එහිදී ඊළඟට මතුවන ප්රශ්නය තමයි අධිකරණය තමන්ගෙන් ගෞරවය පවත්වාගෙන තියෙනවද කියන එක, අධිකරණය තමන්ට අපහාස නොවෙන පරිදි වැඩ කටයුතු කරලා තියෙනවාද කියන එක. එතකොට ඒක ගැන අපිට විවිධ මත තියෙන්න පුළුවන්, නමුත් මම මතු කරන්න කැමති කාරණය තමයි අධිකරණය තමන්ට අපහාස වෙනවයි කියලා තීන්දු ගන්න කොට, අධිකරණය තමන්ගේ ගෞරවය රැක ගන්න කටයුතු කරන්න ඕනේ කියන කාරණය. ඒක එකක්. දෙවෙනි කාරණය ලෝකේ පොදු නීති ක්‍රමය, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය යටතේ යටත් විජිත හැටියට හිටපු රටවල භාවිතා කරපු නීති ක්‍රමය අපි භාවිතා කරන්නේ. මේ පොදු නීතිය යටතේ උදාහරණයක් ලෙස ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල් සැලකුවොත් ඒ රටවල පවා අධිකරණයට අපහාස කිරීම පිළිබඳ අධිකරණය තමයි නඩු අහන්නෙ. නමුත් ලංකාවට වඩා ඉදිරියට ගිහිල්ලා, විශේෂයෙන්ම ඉන්දියාව සැලකුවොත් එහෙම තවත් මණ්ඩලීය වෙනත් රටවල් සැලකුවොත් එහෙම ඒ ඒ අය නීති නිර්මාණය කරලා තියෙනවා කොයි ආකාරයෙන් ද මේ බලය පාවිච්චි කරන්නේ කියලා. එහිදී අත්තනෝමතික බලයක් නෙමෙයි අධිකරණය පාවිච්චි කරන්නේ. නීතිය අනුව නිර්මාණය කරපු බලයක්.
ලංකාවෙ තියෙන සාකච්ඡාව තමයි ඇත්තටම දිගින් දිගටම මෙවැනි සිදුවීම් ඇති උනාම අධිකරණය මේ බලය පාවිච්චි කළ යුත්තේ කොහොමද කියන කරුණ සම්බන්ධයෙන් අපි නීතියක් පාර්ලිමේන්තුව අරඹයා සම්මත කරගත යුතුයි. අපි දන්න විදියට නොයෙක් අවස්ථාවල ඒ සඳහා කෙටුම්පත් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි එකම දේ ඒ කිසිම දෙයක් නීති බවට පත්වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඉතාම වැදගත් කාරණය තමයි මේ මොහොතේ පවා අධිකරණය කල්පනා කරලා බලන්න ඕනේ මේ නීතිය ඉස්සරහට ගේන්න මොකක්ද ගන්න ඕනේ ඊළඟ පියවර කියලා. ඒ වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා නීති කොමිසම වගේ ආයතන බලයක් සහ හැකියාවක් වගේම දැනුමක් සහිත ආයතන දැන් මැදිහත්වෙලා වහාම සලකා බලන්නට ඕනෑ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව නීතියක් නිශ්චිතව පනවන්නේ කොහොම ද කියන කරුණ ගැන.
ලෝකෙ වෙන රටවල් වල මේ වගේ අවස්ථාවල අධිකරණයට අපහාස කිරීම පිළිබඳව අරගෙන තියෙන පියවර මොනවද? දීලා තියෙන දඬුවම් මොනවද? හොඳම උදාහරණය එන්නේ ඉන්දියාවෙන්, ඉන්දියාවේ පහුගිය කාලේ ජේෂ්ඨ නීතිඥවරයෙක් අධිකරණයට අපහාස කරා කියලා චෝදනා ඉදිරිපත් කරලා ඔහු අධිකරණය ඉදිරියට කැඳෙව්වා. තමන්ගේ ට්විටර් පණිවිඩයක් මගින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කළා කියලා. ඒ සඳහා ඔහුට හේතු දක්වන්න කිව්වා. ඒ වගේම අධිකරණය අවස්ථා කිහිපයකදී ම ඔහුට සමාව ගන්න, එහෙම වුනොත් මේ නඩුව අවසන් කරන්න පුළුවන් කියලා දැන්වූවා. නමුත් ඔහු සමාව ඉල්ලුවේ නැහැ. සාමාන්‍ය තත්වයන් යටතේ අධිකරණය කියනවා සමාව ගන්න කියලා. මේ පුද්ගලයා සමාව ගන්නේ නැහැ. අවස්ථා කීපයක් ලබා දෙනවා. එවැනි අවස්ථාවක සමාව දෙන්න හදන පුද්ගලයින් කෝපයට පත් වීම සාමාන්‍ය දෙයක්. එතකොට අධිකරණය තමන්ගෙ ගෞරවය ගැන නැවත වතාවක් හිතලා මේ පුද්ගලයා සමාව ඉල්ලන්නේ නැති නිසා අවසානයේ නඩු විභාගයක් පැවැත්වුවා. මේ පුද්ගලයා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්. ඒ වගේම සමාජ ක්‍රියාකාරිකයෙක්. අවසානයේ අධිකරණය තීන්දු කළා නඩු විභාගයකින් පසු මේ නීතිඥවරයා අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනාවට වැරදිකරු කියලා. හැබැයි ඒකට ඒ අධිකරණය දීපු දඩුවම අපි හැමෝම දන්නවා දැන්. රුපියලක දඩයක් ඔහුට නියම වුණේ. ඒ වගේම අරුන්දතී රෝයි, අධිකරණය දීපු නඩු තීන්දුවක් විවේචනය කිරීම සම්බන්ධයෙන් ඇයට දවසක සිරදඬුවමක් තමයි ඉන්දියානු අධිකරණය නියම කළේ. ලංකාවේ වගේම නීති ක්‍රමයක් තමයි ඉන්දියාවේ තියෙන්නේ. ලංකාව වගේම එංගලන්ත යටත් විජිතයක් බවට ඉන්දියාව පත්වෙලා තිබුණා. පොදු රාජ්‍ය මණ්ඩලීය රටක්. පොදු නීති ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඔවුන් නීතියක් නිර්මාණය කරගෙන තියෙනවා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම ඒ නීතිය යටතේ කටයුතු කරන විට, ඔවුන් තීන්දුවක් දෙන විට, ඒ තීන්දුවෙන් සලකා බලනවා වැරදිකරුවෙක් කරන පුද්ගලයා සම්බන්ධයෙන්. ඇතැම් විට ඉතා දූරදර්ශීව සලකා බලා තමයි දඬුවම් නියම කරලා තියෙන්නේ.
මේ විදියට බලද්දී අධිකරණයට අපහාස කිරීමට අදාළව නීතියක් නැති තත්වයක් යටතේ ලංකාවේ අධිකරණය ඉතාම තර්කානුකූලව, මොකට ද අපි දඬුවම් දෙන්නේ? ඒ දඬුවමින් ඇතිවන ප්‍රතිඵලය මොකක් ද? කියන කාරණා සම්බන්ධයෙන් බලවත් ලෙස සලකා බැලිය යුතුයි. විශේෂයෙන් මේ කාරණයේ දී නැවත වාරයක් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතියක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් අපි බර යොදා කටයුතු කරන්න ඕන. මොකද ලංකාවේ අධිකරණය ඉන්දියාවේ අධිකරණයට වඩා යම් ආකාරයකට වෙනස් විදියටයි කටයුතු කරලා තියෙන්නේ. අපිට හොඳ උදාහරණ තියෙනවා. ටෝනි එමෑනුවෙල් ප්‍රනාන්දු, අග්‍ර විනිශ්චකාරවරයා හිටපු අධිකරණ ශාලාවකදී විනිශ්ච මණ්ඩලයක් ඉදිරියේ ශබ්ද නගා කතා කිරීම සම්බන්ධයෙන් ඒ මොහොතෙම ඔහුව විත්තිකරුවෙකු හැටියට නම් කරල, ඒ මොහොතෙම ඔහුට අවුරුද්දක සිර දඬුවමක් නියම කළා. අධිකරණය මේ පුද්ගලයාගේ ක්‍රියාව නිසා ප්රකෝපයට පත් වෙලා ඉන්න වෙලාවක ඒ ප්‍රකෝප වූ විනිශ්චයකාරවරු විසින්ම සිර දඬුවම් නියම කළා. එතකොට ඉතාම පැහැදිලියි නීතියක් නොමැති තත්වයක් යටතේ මේ බලය කාට හරි අපයෝජනය කරන්න පුළුවන් පහසුවෙන් කියන එක.
මෙහි තියෙන ඉතා භයානක තත්ත්වය තමයි මෙතනින් පසු මොකක්ද කරන්නේ කියන එක ගැන තියෙන අවිනිස්චිතතාවය. වැඩි බර සාක්ෂි තියෙන්නේ ඇත්තටම මින් එහාට ගත හැකි පියවරක් නැහැ කියලා. ඉතින් එහෙම නම් අභියාචනා අවස්ථාවකුත් නැත්නම්, රටේ ඉහළම අධිකරණය නම් මේ දඬුවම දීලා තියෙන්නේ, ඒ අධිකරණය කොයිතරම් වගකීමකින් වැඩ කළ යුතු ද?. ඒ නිසා එක් පසෙකින් චෝදනා ඉදිරිපත් කරන්නේ අධිකරණය. නඩු විභාග කරන්නෙත් අධිකරණය. දඬුවම් නියම කරන්නේ අධිකරණය. සමහරවිට අලුගෝසුවා බවට පත්වෙන්නෙත් අධිකරණය මේ මුළු ක්‍රියාවලිය තුළම. ඒ නිසා තවත් අවස්ථාවක මෙවැනි සාකච්ඡාවක් ඇතිවීමට පෙර, ඒ කියන්නේ තවත් පුද්ගලයෙක් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වෙලා සිර දඬුවම් ලබන්නට මේ බලය නිශ්චය කරන, ඕනෑම අයෙකුට පැහැදිලි වෙන නීතියක් පනවන්න වහාම පියවර ගන්න ඕනි කියලා නැවත නැවත අවධාරණය කළ යුතුයි.