සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක්ද?

කාන්තාවක් ජිවිතයේදී අභිෂේක තුනක් ලබයි. ඒ් වැඩිවිය පැමිණිම, විවාහ වීම හා මව් පදවිය ලැබීමය. මේ අවස්ථා තුනට අමතරව කාන්තාවක් යම් අභිෂේකයක් ලබන්නේ නම් ඒ් සිය දක්ෂතාවෙනි. කැපවීමෙනි.

නමුත් කාන්තාවක් දික්කසාද වීම අද සමාජයේ ඇය අවලංගු කාසියක් බවට පත් කිරීමට තරම් කරුණක් වී ඇත. දික්කසාදය යන වචනය අපේ සමාජයට මෙතරම් බලපෑම් කරන්නේ කුමක් නිසාද? යන්න තේරුම්ගත නොහැකිය. කාන්තාවක් විවාහක සැමියාගෙන් දික්කසාද වන්නේ එකට පවුල් කෑමට නොහැකි කුමන හෝ බරපතල තත්ත්වයක් ඇති වු විටය. සමාජයේ සිට බලන කෙනෙකුට එහි වැරැද්දක් නොපෙනෙන්නට පුලුවන. නමුත් කුලගෙයි විඳවන්නේ කාන්තාවය.

දික්කසාද කාන්තාවකට අප සමාජයේ ඇති තැන කොතනැද යන්න ඊයේ (04) දින කොළඹ නෙලුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රි ලංකා විවාහක රූ රැජින තරඟයේදී මනාව වටහා ගත හැකි විය.

එය සමස්ත කාන්තා පරපුරටම සිදු කළ අවමානයකි. අපහාසයකි. විශේෂයෙන්ම කාන්තාවක් විසින් තවත් කාන්තාවකගේ පෞද්ගලිකත්වය රටට හෙළි කර ඇය රටට පෙන්වන්නේ ඇයගේ නිරුවතය. එසේ නොමැතිව අපහුසතාවයට/ අවමානයට පත් වු කාන්තාවගේ ක්‍රියාකලාපය නොවේය.

නිරූපණ ශිල්පි පුෂ්පිකා ද සිල්වා ගැන මේ වන විට රටේ නොදන්නා අයෙක් නැත. සමාජ මාධ්‍ය ජාලා වල ඇයට සහාය පතා විවිධ කමේන්ට්ස්, පෝස්ටු පළවන්නේය.

පුෂ්පිකා ද සිල්වා ගැන නිරූපණ ක්ෂේත්‍රයේ නොදන්නා අයෙක් නැත. ඇය මාස ගණනාවක සිට ශ්‍රි ලංකා විවාහක රූ රැජින තරඟයට සුදානම් විය. ඒ් කිසිදු අවස්ථාවක තරඟයේ කිසිදු බලධාරියෙක් ඔයා ඩිවෝස් කෙනෙක්, ඒ් නිසා මේකට පෙනී ඉන්න බැහැ යැයි පැවසුවේ නැත. ඇය අංක 20 යටතේ තරඟ කළාය.

නමුත් තරඟයේ ජයග්‍රාහිකාව තෝරන අවසන් රැයේදී ඇය 2020 ශ්‍රි ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු පලඳින්නේය. ඒ් ශිරාන්ති රාජපක්ෂ, රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහගේ ප්‍රධානත්වයෙනි. නමුත් ඇයට සිය සතුට භූක්ති වීඳිමට සිදු වන්නේ තප්පර කිහිපයක් පමණි. ඒ් ඇයට පැළඳු කිරුළ වර්තමාන ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි වේදිකාවට ඉතා අමානුෂික ලෙස ගලවා ගැනීම හේතුවෙනි.

කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කළේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා දික්කසාද වී ඇති බැවින්   විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවත්ය. ඇය ඉන්පසු තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරගකාරිය ප්‍රකාශයට පත් කළාය.

මෙය ඇය විසින් සිදු කරන ආකාරය මෙන්ම පුෂ්පිකාගෙන් කිරුල ගලවා ගන්නා ආකාරයද ඉතාම නින්දිතය. මෙය කැරොලයින්ට තිබු ජනතා ප්‍රසාදය පවා අහිමිව යාමකි.

කැරොලයින් ජූරී

කැරොලයින් ජූරි යනු  2020 ලෝක විවාහක රූ රැජිණය වේ. ලෝක විවාහක රූ රැජිණ අවසන් මහා තරගය පැවතියේ ඇමරිකාවේ ලස් වේගස්හිදී ය. එම කිරුළ ශ්‍රී ලංකාවට හිමි වුණේ වසර 35 කට පසුවය. එහිදී අවසන් මහා තරගයේ දී රටවල් 51 කින් සහභාගිව සිටි රූමතියන් සියලු දෙනා අභිබවමින් 27 හැවිරිදි එක් දරු මවක වන කැරොලයින් ජූරි, 2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ දිනා ගත්තාය.

මීට පෙර විවාහක රූ රුජිණ කිරුළ 1984 දී ශ්‍රී ලංකාවට හිමි කර දුන්නේ රෝසි සේනානායකයි. ඒ, පළමු වරට පැවති විවාහක රූ රුජිණ තරගාවලියේ දීය.

පුෂ්පිකාගේ කථාව

ඇය පොලොන්නරුවේ සිට කොළඹට පැමිණි කාන්තාවකි. එක් දරු මවකි. සැමියාගෙන් වෙන්ව සිටින අතරතුර ඇය මෙම තරඟාවලියට සහභාගි වී තිබුණි.  ඊයේ සිදු වු අප්‍රසන්න සිදුවීම ගැන ඇය පවසන්නේ ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට  අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ  කිරුල උදුරා ගනු ලැබු බවය. නමුත් ඇය හිස කෙලින් තබාගෙන, පෙර සේ සිටින බවත් ඇයට  මෙය තවත් එක සිදුවීමක් පමණක් බව සිය මුහුණු පොතේ සටහන් කර ඇත.

එමෙන්ම ඇගේ හදවතේ නැඟී වේදනාව ඇය තවදුරටත් අකුරු කර තිබුණේ මෙසේය.

ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, “.. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?” යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.

එහෙත්, මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුලු ලෝකයක ගැහැණුන් මෙන්ම පිරිමින් ද, පක්ෂ පාට ජාති ආගම් කුල මල භේද පසෙක ලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියමි.

අනික් අතට මම දික්කසාද ගැහැණියක් නො වෙමි. මේ ලියන මොහොතේ ත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එ සේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.

මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ.

මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුල පැලඳුවෙමි. ඒ මොහොතේ ම මම ලංකාවේත් ලෝකයේ ත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.

ඉදින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.

“අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි”!!!

පුෂ්පිකා මේ වන විට ඇයට සම්බන්ධ වු අසාධරණය සම්බන්ධව කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇති අතර මෙය සටහන් කරන මොහොත වන විට ඇයගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අවසානයේ සටහන් කරන්නට ඇත්තේ ගෞරවාන්විත තරඟයක් ලෙස මෙතෙක් කලක් පැවති ශ්‍රි ලංකා විවාහක රූ රැජින තරඟයද අයාලේ ගොස් ඇති බවය.

-ශානි-

Social Sharing
නවතම