දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මලෛයහ ජනතාවගෙන් රජයට ඉල්ලීම් 15ක්!

 

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මලෛයහ දමිළ ජනතාව තවමත් දැඩි දුෂ්කරතා අතර ජීවත් වන බවට වාර්තා වෙයි. ව්‍යසනයෙන් මාස කිහිපයක් ගතව තිබුණද, වතුකර ප්‍රදේශවල පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා මන්දගාමීව සිදුවන බව පීඩිත පවුල් පෙන්වා දෙයි.

වර්තමානයේදී සිය ගණනක් පවුල් පාසල්, තාවකාලික කඳවුරු සහ කුඩාරම්වල තාවකාලිකව නවාතැන් ගෙන සිටින අතර, නැවත පදිංචි කර ඇති නිවාසවලින් බොහොමයක් ජීවත්වීමට අනාරක්ෂිත බවද ඔවුන් පවසති. එමෙන්ම, ඉඩම් හිමිකම පිළිබඳ අපැහැදිලිතාව සහ රජය විසින් ප්‍රකාශිත සහන ලබාගැනීමේදී ඇති ගැටලු හේතුවෙන් බොහෝ පිරිසක් කිසිදු වන්දි හෝ සහනයක් නොලැබී ඇති බව සඳහන් වේ.

මෙම පසුබිම තුළ, මලෛයහ දමිළ ජනතාව වෙනුවෙන් නියෝජනය කරන පාර්ශව රජයට ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීම් 15 මෙසේය.

1. නිවාස සම්පුර්ණයෙන්ම විනාශ වූ හෝ නැවත පදිංචි කිරීමට අවශ්‍ය මලෛයහ දමිළ පවුල් සඳහා රුපියල් මිලියන 5 ලබාදිය යුතුය. අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා රුපියල් මිලියන 2.5ක් දක්වාද ගෙවිය යුතුය. ඊට අමතරව, ඉඩමක් මිලදී ගැනීමට අවශ්‍යතාවක් ඇත්නම්, රුපියල් මිලියන 5ක් දක්වා වෙන් කළ යුතුය (NDRSC/02/04/10 චක්‍රලේඛණයට අනුව).

2. රටේ සෙසු පුරවැසියන්ට හා සමානව, කිසිදු වෙනස් කොට සැලකීමකින් තොරව සුදුසුකම් ලත් මලෛයහ දමිළ ජනතාවට නිවාස සහ අනෙකුත් හානි සඳහා සහන හා වන්දි ලබාදිය යුතුය. ආපදා සහන සැලසීමේදී සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේදී වතු සේවකයින් සහ සේවකයින් නොවන අය අතර කිසිදු වෙනසක් නොකළ යුතුය.

3. මේ රටේ භූමිය සමඟ මලෛයහ දමිළ ජනතාවගේ සම්බන්ධතාව සහතික කිරීම සඳහා, වතුකරයේ ප්‍රදේශ තුළ විධිමත් ඉඩම් ඔප්පු සහිත තනි නිවාස ලබාදිය යුතුය. වතුකර ප්‍රදේශ වල මහල් නිවාස ආකාරයේ (බහු මහල්) නිවාස ව්‍යාපෘති ප්‍රතික්ෂේප කළ යුතුය.

4. ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය දිට්වා ව්‍යසනය සඳහා සහන සැලසීමට හෝ වෙනත් මාර්ගයකට යොමු නොකළ යුතුය. එය වෙනම, සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස පැවතිය යුතු අතර මුලින් සැලසුම් කළ පරිදි කඩි නම් ආකාරයකින් ක්‍රියාත්මක කළ යුතුය.

5. දිට්වා නිවාස ව්‍යාපෘති මගින් වතු ජනාවාස නිසි මාර්ග, විධිමත් ලිපිනයන්, විදුලිය, පානීය ජලය, සමාජ යටිතල පහසුකම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් වලින් සමන්විත ඒකාබද්ධ ගම්මාන ලෙස නැවත ගොඩනැගිය යුතුය. මෙම ක්‍රියාවලිය වතු පද්ධතිය ” අහෝසි කිරීමට සහ ඒවා නව ගම්මාන ” බවට පරිවර්තනය කිරීමට පහසුකම් සැලසිය යුතුය.

6. ඉඩම් අයිතිය සහ ‘නව ගම්මාන’ නිර්මාණය සහතික කිරීම සඳහා, වැවිලි සමාගම් සමඟ ඇති බදු ගිවිසුම් වහාම සංශෝධනය කළ යුතුය.

7. තාවකාලික කඳවුරු, කුඩාරම් සහ වෙනත් ස්ථාන වල දැනට දුක් විඳින ජනතාව විවිධ ස්ථානයන්ට මාරු කරනවා විනා, ඔවුන්ට ගෞරවයෙන් සැලකිය යුතුය, අතිශයින් වැදගත් වන්නේ, නව නිවාස සඳහා ඉඩම් හඳුනා ගැනීම සම්බන්ධ තීරණ ගැනීම කළ යුත්තේ බලපෑමට ලක්වූ පවුල් සමඟ සාකච්ජා කිරීමෙනි.

8.  ඉඩම් හිමිකාරිත්වයේ අයිතිය කාන්තාවන්ට සමානව ලබාදිය යුතුය.

9. ඉඩම් හිමිකාරිත්වය සහිත ස්ථිර නිවාස විසඳුමක් ලබා ගන්නා තෙක්, සුදුසු ස්ථාන වල සංක්‍රාන්ති නිවාස වහාම ලබාදිය යුතුය. මෙම නිවාස මූලික පහසුකම් වලින් සමන්විත විය යුතු අතර ජාත්‍යන්තර මානුෂීය ප්‍රමිතීන්ට (SPHERE ප්‍රමිතීන්ට) අනුකූල විය යුතුය.

10. කෘෂිකර්මාන්තය, පශු සම්පත්, ව්‍යවසාය සහ ජීවනෝපාය ආශ්‍රිත හානි ආවරණය කරමින් මලෛයහ දමිළ පවුල් සඳහා රජයේ සහන සහ වන්දි ලබාදීමේදී, ඔවුන්ගේ නිශ්චිත අවදානම් සහගත තත්ත්වයන් විසඳීම සඳහා හුදෙක් විධිමත් සමානාත්මතාවයෙන් ඔබ්බට ගිය සාධාරණ (equitable) ප්‍රවේශයක් රජය විසින් අනුගමනය කළ යුතුය.

11.  ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම පුරවැසියන්ට මෙන්, මලෛයහ දමිළ ප්‍රජාව සඳහා සහන සහ සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා හරහා යොමු කළ යුතුය. මේවා පෞද්ගලික සමාගම් වලට හෝ වැවිලි මානව සංවර්ධන භාරයට (Plantation Human Development Trust – PHDT) පවරා නොදිය යුතුය.

12.  මලෛයහ දමිළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් වලට ගරු කළ යුතුය. සියලුම අයදුම්පත්, නීල නිවේදන සහ සන්නිවේදනයන් දෙමළ භාෂාවෙන් ලබාදිය යුතුය. රජයේ කාර්යාල මෙම පවුල් සමඟ ඔවුන්ගේ භාෂාවෙන් සන්නිවේදනය කරන බවට සහතික කළ යුතුය.

13.  සහන සහ වන්දි ලබාගැනීමේදී දුෂ්කරතා හෝ දුක්ගැනවිලි තිබේ නම්, කාලෝචිත විසඳුම් ලබාදීම සඳහා විධිමත් දුක් ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණ ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් ස්ථාපිත කළ යුතුය.

14.  කිසිදු කෙටි කාලීන ආපදා සහන පියවරක් මලෛයහ දමිළ ජනතාවගේ ඉඩම් සහ නිවාස අයිතිවාසිකම් සඳහා වන දිගුකාලීන ඉල්ලීම් හෝ අරගලයට පටහැනි යමක් නොකළ යුතුය.

15. දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වතුවල පාලම්, මාර්ග, පඩිපෙළ, රැඳවුම් බිත්ති සහ ප්‍රජා ගොඩනැගිලි ඇතුළු ප්‍රජා යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය සම්පූර්ණ වගකීම් භාරගත යුතුය. පළාත් පාලන ආයතනවලට අරමුදල් වෙන් කිරීමට සහ වතු තුළ යටිතල ( පහසුකම් අලුත්වැඩියාව සහ සංවර්ධනය සිදු කිරීමට ඉඩ සලසන නීතිමය විධිවිධාන පිළිබඳව රජය ප්‍රාදේශීය සභා වලට පැහැදිලි උපදෙස් ලබාදිය යුතුය. මෙම ප්‍රදේශවලට පළාත් පාලන ආයතනයන්හි මැදිහත්වීම වළක්වන ආකාරයේ කිසිදු නීතියක් දැන් නොමැති අතර, ඒ පිළිබඳව අපැහැදිලි බවක් තිබේ නම්, එය පැහැදිලි කළ යුතුය.

මෙම ගැටලු විසඳීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනියගේ සෘජු මැදිහත්වීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙමින්, පීඩිත ජනතාවගේ ගෞරවනීය හා ඉක්මන් ප්‍රතිසාධනය සඳහා වහාම සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක්ද ඉදිරිපත් කර ඇත.

එමෙන්ම, සියලු දේශපාලන පක්ෂ, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ පාර්ලිමේන්තු නියෝජිතයින් විශේෂයෙන් ජාතික ජනබලවේගය (NPP), දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) සහ ලංකා කම්කරු කොංග්‍රසය (CWC) මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී රජය තුළ තීරණ ගන්නන්ට බලපෑම් කරනු ඇතැයි අපේක්ෂා පළ කර ඇත.
පීඩාවට පත් පවුල් සඳහා ඉක්මන් සහ සාධාරණ විසඳුම් ලබාදීම රජයේ වගකීමක් බවත්, වර්තමානයේ පවතින ප්‍රගතිය අසමත් බව නිවැරදි කිරීම සඳහා එකමුතුවෙන් කටයුතු කළ යුතු බවත් ඔවුන් අවධාරණය කරයි.

Social Sharing
නවතම පුවත්