
මැදපෙරදිග කලාපයේ පවතින යුධමය වාතාවරණය හමුවේ එම කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ රැකියා සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ වන විටත් සකස් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශ සමඟ එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටින බව එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.
මෙම කරුණු ඔහු ප්‍රකාශ කළේ, මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති අර්බුධකාරී තත්ත්වය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් අතරතුරය.
සභාපතිවරයා සඳහන් කළේ, යුද තත්ත්වය ආරම්භ වී සති දෙකකට ආසන්න කාලයක් ගතවී තිබුණද මේ වනතෙක් කිසිදු ශ්‍රී ලාංකිකයකුට දරුණු තුවාල හෝ ජීවිත හානි වාර්තා වී නොමැති බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් විශාල කැපකිරීම් සහ වියදම් කරමින් ගමන් කරන බැවින් ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඉතා සූක්ෂමව තීරණ ගැනීම අවශ්‍ය බවයි. එසේම, ආරක්ෂාව පිළිබඳ අවදානමක් පවතින්නේ නම් ලංකාවට පැමිණීම වඩාත් සුදුසු බවද ඔහු අවධාරණය කළේය.
“මේ වන විට තත්ත්වය එතරම් දරුණු මට්ටමකට වර්ධනය වී නැහැ. කෙසේ වෙතත්, අවශ්‍ය වුවහොත් ශ්‍රමිකයින් යළි ගෙන්වා ගැනීමට අදාළ සියළුම ක්‍රියාමාර්ග කඩිනමින් ගන්න අප සූදානම්,” යැයි වික්‍රමසිංහ මහතා පැවසීය.
තවද, යම් ශ්‍රමිකයෙකු සේවා ස්ථානයෙන් විතැන්වී ඇතිනම් හෝ ගැටලු ඇතිනම්, ඒවා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ සම්බන්ධීකරණ ක්‍රමවේදයක් සකස් කර ඇති බවද ඔහු සඳහන් කළේය. ඒ සඳහා 1989 දුරකථන අංකයට හෝ 071 9802822 වට්ස්ඇප් අංකයට සම්බන්ධ විය හැකි බවද දැනුම් දී ඇත.
මෙයට අමතරව, විදේශ තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශ නිලධාරීන් පැය 24 පුරා සීරුවෙන් කටයුතු කරමින් ශ්‍රමිකයින්ගේ තොරතුරු සම්බන්ධීකරණය කරන බවද සඳහන් වේ.
ශ්‍රමිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව පෙන්වා දුන් සභාපතිවරයා, විදේශ විනිමය රටට ගෙන එමින් මහන්සි වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රජය ගෞරවය පුද කරන බවද අවධාරණය කළේය.
