
පසුගියදා කොහුවල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුගේ රුව සමඟ පටලවගත් බොරැල්ල පොලිසිය දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයකුට චෝදනා කරමින් පහර දී තිබේ. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන පුද්ගලයෙකුට වන අතර දෙසැම්බර් 30 වැනිදා රාත්‍රීයේ කොහුවල බෝධියාවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවූ අතර ඉන් 16 හැවිරිදි දැරියකට තුවාල සිදු විය.
එම සිද්ධියට අදාළව පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතමින් අතින් අඳින ලද සැකකරුවෙකුගේ සිතුවමක්ද මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ අතර මෙම සිද්ධියට සැකපළ කරමින් ඔහුගේ රුව පටළවා ගනිමින් දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන ළහිරු මධුසංඛ නැමැති පුද්ගලයාට පහර දී ඇත. ඔහු ඉකුත් ජනවාරි පළමුවැනිදා කොළඹට පැමිණ ඇත්තේ සිය ව්‍යාපාරයට අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන යාම සඳහාය.
ඔහු එදින රාත්‍රීයේ බේස්ලයින් මාවතේ පිහිටි සිය බිරිඳගේ නිවසේ රැඳී සිට ඇති අතර ඊට පසුදින උදෑසන කාලයේ එම නිවසට පොලිස් නිලධාරීන් පැමිණ ඇති අතර අනතුරුව ස්ව කැමැත්තෙන් ප්‍රකාශයක් ලබාදීමට බොරැල්ල පොලිසිය වෙත ගිය තමන්ට අදාළ සැකකරුගේ සිතුවම පෙන්වා පොලිස් නිලධාරීන් පහරදුන් බවට තරුණයා චෝදනා කර ඇත. දින 2කට ආසන්න කාලයක් බොරැල්ල පොලිසියේ රඳවා සිටි ළහිරුව ඉන් නිදහස් කර ඇත්තේ ඉකුත් 3 වැනිදා පස්වරුවේදීය.
ස්ථානාධිපතිවරයා පවසන ආකාරයට සැකපිට අත්අඩංගුවට ගත් අදාළ තරුණයාගේ තොරතුරු පරීක්ෂා කර පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගත් බවත් ඔහුට පහරදුන් බවට පොලිසියට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
එහෙත් මෙම තරුණයා සඳහන් කර සිටින්නේ “පොලිසියට ගෙනිච්චට පස්සේ මාංචු දාන්න හැදුවා, මාව එල්ලන්න හැදුවා, ලොකු යකඩ බාර් එකක් අරන් මේක අල්ල ගනින් කියලා එල්ලන්න හැදුවා, මිරිස් කුඩු ගහනවා කිව්වා, ගොඩක් දේවල් කරන්න හැදුවා හැබැයි ඒගොල්ලෝ මට ගහලා ඒක නැවැත්තුවා. මම NGO එකේ වැඩකරන කතාව කිව්වා ඒ අයගෙන් අහලා බලන්න කිව්වා. ඊට පස්සේ මට ගහන එක පොඩ්ඩක් ඒගොල්ලෝ සීමා කළා. ඒත් එහෙන් මෙහෙන් ගැහුවා.” යනුවෙනි.
