පොලිස් නිලධාරියෙකුගෙන් අල්ලස්ගත් නුවරඑළියේ ASP හා SI අත්අඩංගුවට!

නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරිවරයකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියක අල්ලස් ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදු කෙරු විමර්ශනයකට අදාළව මේ අයුරින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙල්ලාවේලි පොලිසියට අනුයුක්තව රාජකාරි කරන ලද අවිවාහක පොලිස් කොස්තාපල්වරයකුට නිවසේ සිට රාජකාරියට පැමිණීමට මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ අවසරය ලබාගැනීම සඳහා වූ නිර්දේශ ලබාදීමට අදාළ කටයුතු සිදුකරදීමට අවස්ථා කිහිපයකදී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය රු. 72,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරනු ලබන සහකාර පොලිස් අධිකාරිවරයකු ඊයේ දිනයේ (05දා) අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ඉහත විමර්ශනයට අදාළව අවස්ථා කිහිපයක දී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත කල්මුණේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරනු ලබන කාන්තා පොලිස් සැරයන්වරියෙකු කල්මුණේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් නුවරඑළිය හා කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Social Sharing
පුවත්