
මෙරට ශ්‍රම බළකායට ඇති වටිනා සම්පතක් වන සේවක අර්ථ සාධක අරමුදලට නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දෙන බව රජය ප්‍රකාශ කර තිබේ.
කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත අඟහරුවාදා (නොවැ. 25) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඒ බව ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ කම්කරු දෙපාර්තුමේන්තුවේ වෙන වෙන ම පවතින දත්ත පද්ධති එක් ඩිජිටල් වේදිකාවක් වෙත ගෙන ඒම මෙන් ම ඊට තවත් බොහෝ අංග එකතු කිරීමට සූදානම් බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
වසරේ 2002දී පමණ සංවර්ධනය කර ඇති සේවක අර්ධ සාධක අරමුදලේ තොරතුරු පද්ධතිය වර්තමානයට සහ අනාගතයට ගැලපෙන ලෙස නවීකරණය වී නොමැති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
දැනට සේවක අර්ථ සාධක අරමුදලට ලියාපදිංචි වීමට කලින් වෙන් කර ගත් දිනයකදී කම්කරු කාර්යාලයට යාමට අවශ්‍ය වන අතර විනාඩි කිහිපයක් ගත වන ලියාපදිංචි වීමේ ක්‍රියාවලියට ඇතැම් විට පැය ගණනාවක් පෝලිමේ සිටීමට සිදු වේ.
මීට පිළියමක් ලෙස ඔන්ලයින් ඔස්සේ දෙසැම්බර් මස සිට සේවක අර්ථ සාධක අරමුදලේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා දීමටව නියමිතව ඇත.
මෙම නව ක්‍රමය හරහා පුද්ගලයා හඳුනා ගැනීම සිදු කරනු ලබන්නේ ජාතික හැඳුනුම්පත් අංකය හරහා ය.
සේවකයන්ට තම EPF/ETF මාසිකව ගෙවීම පිළිබඳව දැන ගැනීමට මෙන් ම සේවායෝජකයන්ට පද්ධති කිහිපයකට ඇතුළු නොවී තම සේවකයන්ගේ සේවක අර්ථසාධක ගෙවීම ද, ලියාපදිංචි කිරීම් ද නව ක්‍රමය හරහා පහසු කෙරෙනු ඇත.
“දැන් කරන්නේ අපි අපොයින්ට්මන්ට් එකක් දීලා ඒගොල්ලන්ව අපේ කාර්යාලයකට ගෙන්නගෙන රෙජිස්ටර් කරනවා. ඩිජිටල් සිස්ටම් එකෙන් අපි කරන්න යන්නේ, ඒක ඔන්ලයින් පුරවන්න පුළුවන්. පුරවලා වැඩ කරලා සේවායෝජකයන්ට පුළුවන් තමන්ගේ සේවකයෝ ටික ඒ සිස්ටම් එකට දාන්න, දාලා EPF/ETF නම්බර්ස් අරගෙන ඒ ටික සම්පූර්ණ කරන්න. එතකොට අපේ කාර්යාලයට එන්න අවශ්‍ය නැහැ,” යැයි අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
නව පද්ධතිය කම්කරුවන්ට අදාළ සියලු කටයුතු සහිතව සැකසීමට සැලසුම් කරන බව පැවසූ කම්කරු අමාත්‍යංශ ලේකම් එස්.එම්. පියතිස්ස දෙසැම්බර් මාසයේ මීට අදාළ ටෙන්ඩර් කැඳවීම කර ලබන වසරේ ඔක්තෝබර් මස සිට පද්ධතිය හඳුන්වා දීමට සූදානම් වන බව පැවසී ය.
