අය-වැය යනු රජයේ ඉතා වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් එකකි. 2026 වසර සඳහා වූ අය-වැය යෝජනාවලිය පිළිබඳ සලකා බැලීමේදී දැකගත හැකි විශේෂත්වයක් වූයේ, එමඟින් නව බදු එකතු වීමක් සිදු නොවීමයි. ඒ අනුව රජය විසින් ස්ථාවර බදු ප්‍රතිපත්තියක් ඇති කරලීම සඳහා ප්‍රයත්න දරන බව පැහැදිලිය. මෙරට වත්මන් ආර්ථික තත්ත්වය, ස්ථිර බදු ප්රතිපත්තියක අවශ්‍යතාව සහ වැදගත්කම පිළිබඳ රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ගිණුම්කරණ අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ.ජී.පී.වි. ගුණරත්න මහතා සමඟ දිනමිණ පුවත්පත කළ සාකච්ඡාව ඇසුරින් සැකසු ලිපියකි.
මේ රටේ වර්තමන් ආර්ථික තත්ත්වය පිළිබඳ සැලකීමේදී පෙර දැකගත නොහැකි වූ ආර්ථික ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙය ආරම්භයක් පමණි. ආසන්න වශයෙන් පසුගිය මාස නවයක කාලය තුළ අපනයන ආදායම බිලියන 9.1ක් ද, විදේශ ප්‍රේෂණ බිලියන 5.8ක් ද, අවසන් මාස කිහිපය තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 800ක් ද ළඟා කර ගැනීම වැනි ආර්ථික දත්ත දෙස බැලූ විට මෙය ඉතා සාධනීය තත්ත්වයක් ලෙස හඳුනාගත හැකියි. මෙමඟින් මෙරටේ ආර්ථිකය අද වන විට යහපත් දිශානතියකට ගමන් කරන බව පැහැදිලිය. අනාගතයේදී ද මෙවැනි වාතාවරණයක් ගොඩනඟා ගැනීම සඳහා කටයුතු කළ යුතුය. වර්තමානයේදී ගනු ලබන තීන්දු, තීරණ සහ ප්‍රතිපත්ති හේතුවෙන් අනාගතයේදී මෙම තත්ත්වය වෙනස් විය හැකියි. එබැවින් ආණ්ඩුව විසින් නිවැරදි තීන්දු, තීරණ ක්‍රියාවට නැංවුවහොත් අනාගතයේදී ද ආර්ථිකමය වශයෙන් සාධනීය තත්ත්වයක් නිර්මාණය කරගත හැකියි. එමෙන්ම ආර්ථික ප්‍රගතිය සම්බන්ධ සංඛ්‍යා දත්ත පිළිබඳ සැලකීමේදී ඒවා යහපත් මට්ටමක පැවතිය ද ඒ සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති දැක්ම, අවබෝධය මෙහිදී බෙහෙවින් වැදගත්ය. මන්දයත්, ආණ්ඩුවක පැවැත්ම තීරණය වන්නේ ජනතා කැමැත්ත මත වන බැවිනි.
නිෂ්පාදන පිරි – වැය
මෙරට ආර්ථිකය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතිය ද ජනතාවගේ ජීවන වියදම ඉහළය. රටක ආර්ථිකය දියුණු වන විට ජනතාවට ද සතුටින් ජීවත් විය හැකි පරිසරයක් පැවතිය යුතුය. එක් පැතිකඩකින් රටේ ආර්ථිකය ඉහළට එසවෙනවා සේම ජනතාවගේ ජීවන මට්ටම ද ඉහළ නැංවීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. නිදසුන් ලෙස ගත් විට අද වන විට සහල් කිලෝවක මිල රුපියල් 200 – 220ත් අතර වේ. නමුත්, මීට අවුරුද්දකට පමණ පෙර වී කිලෝවක් රුපියල් 120ක් බව ආණ්ඩුවේ තීරණය විය. සහල් මිල ඉතාමත් අධික වූ අතර සහල් කිලෝවක් රුපියල් 200 – 220ත් අතර මුදලකට මිලදී ගැනීම තාවකාලික විසඳුමක් පමණි. වී පමණක් නොව ආණ්ඩුව විසින් සෑම භාණ්ඩයකම නිෂ්පාදන පිරි – වැය අවම වන අයුරින් තීන්දු, තීරණ ගත යුතුය. නිවැරදි නියාමනයක් නැති වීම හේතුවෙන්, ඇතැම් භාණ්ඩවල නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති අතර, එවැනි අවස්ථාවල රාජ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍යය. එම මැදිහත්වීම තුළ මිනිසුන්ගේ ජීවන වියදම අඩු කරගත හැකියි. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මෙරට සියලුම පුරවැසියන් ආර්ථිකයට ප්‍රකෘතිමත් ලෙස සම්බන්ධ වේ. එබැවින් ඒ පිළිබඳව රජය මඟින් අවධානය යොමු කළ යුතුය.
මෙවර අය – වැය පිළිබඳ පිරික්සීමේදී එය යහපත් දැක්මක්, අරමුණක් සහිතව ඉදිරිපත් වූ අය – වැයක් ලෙස සැලකිය හැකියි. එය රටේ ඇති ගැටලුකාරී තත්ත්වයන් සඳහා කෙටිකාලීන විසඳුම්වලට වඩා දිගුකාලීන විසඳුම් ලබාදෙන අය – වැයකි. අය – වැය මඟින් අලුතින් බදු එකතු වීමක් සිදු නොවූ අතර, බදු අනුපාතයන්වල ද සැලකිය යුතු වෙන්සකම් සිදු වී නැත. එමඟින් අය – වැයෙන් ස්ථීර බදු ප්රතිපත්තියකට අවශ්‍ය පදනම සකස් කර ඇති බව පැහැදිලිය. මෙය මෙරට ආර්ථිකයට, ව්‍යාපාරික ප්‍රජාවට සහ ආයෝජකයන් සඳහා සාධනීය තත්ත්වයකි. භාණ්ඩ හා සේවා මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, වාර්ෂික පිරිවැටුප් මත බදු අය කරන ප්‍රමාණයේ සීමාවන් යම් මට්ටමකින් අවම කර ඇත. ස්ථිර බදු ප්රතිපත්තියකට අවශ්‍ය පදනම සකස් කිරීම තුළ දේශීය, විදේශීය ආයෝජකයන් මේ පිළිබ දැනුම්වත් වීමද සිදු වන අතර එය මෙරට ආයෝජන දියුණු කිරීම සඳහා වැදගත් සාධකයකි. 2026 වසර තුළ විශාල ආයෝජන ප්‍රමාණයක් දැක ගත නොහැකිය. ඉදිකිරීම්, කර්මාන්ත ක්ෂේත්‍රය, මාර්ග සංවර්ධනය ආදී ක්ෂේත්රයන් තුළ කෙටිකාලීන විදේශ ආයෝජන ගලා ඒමේ හැකියාවක් ඇත. නමුත් දිගුකාලීන, ස්ථාවර ආයෝජන පැමිණීම සඳහා යම් කාලසීමාවක් ගතවනු ඇත. එබැවින් වත්මන් රජය විසින් උත්සාහ ගන්නේ විශාල ආයෝජන ප්‍රමාණයක් රටට ගලා ඒමට අවශ්‍ය ආර්ථිකමය පරිසරයක් නිර්මාණය කිරීම සඳහාය. ඊට අවශ්‍ය මූලිකම සාධකය වන්නේ, ආයෝජකයන් තුළ මෙරට පිළිබඳ ඇති විශ්වාසය ගොඩනැඟීමයි. පසුගිය කාලය තුළ ආර්ථිකය යම් පසුබෑමකට ලක්විය. අතීතයේදී ව්‍යාපාරයක් ආරම්භ කරන විට විවිධ දේශපාලන බලපෑම්, මැදිහත්වීම් පැවතුණි. රජය මඟින් එවැනි පරිසරයක් තුළ වසර දෙකක පමණ කාලසීමාවක් ඇතුළත ස්ථිර බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට උත්සාහ කරයි. මෙවැනි පසුබිමක් තුළ අනාගතයේදී ආයෝජකයන් විසින් මෙරට තුළ ආයෝජන සිදු කිරීම සඳහා වැඩි කැමැත්තක් දක්වනු ඇත. එමඟින් වේගයෙන් ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීමට අපට හැකියාව ලැබේ.
ස්ථිර බදු ප්‍රතිපත්තියක් පැවතීම යනු රටක දිගුකාලීන ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. රටක ස්ථීර බදු ප්‍රතිපත්තියක් ඇති බව ආයෝජකයන් දැනුම්වත් වීම වැදගත්ය. ඕනෑම ආයෝජකයකුගේ අරමුණ වන්නේ ලාභ ලැබීමයි. එලෙස ප්රතිලාභ ලැබීම අරමුණු කර ගන්නා බැවින්, ඔවුන් තම ආයෝජනයන් සඳහා ඇති අවදානම් තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරයි. ස්ථිර බදු ප්‍රතිපත්තියක් පැවතීමේදී ව්‍යාපාර සඳහා ඇති අවදානම අඩු වේ. ව්‍යාපාර සඳහා ඇති අවදානම අඩු වන විට ආයෝජකයන් විසින් වැඩි වැඩියෙන් ආයෝජන කිරීම සඳහා පෙළඹේ. නිදසුන් ලෙස ස්ථීර බදු ප්‍රතිපත්තියක් පැවතීමේදී අදාළ වර්ෂ ගණන අනුව කොපමණ බදු ප්‍රමාණයක් ගෙවිය යුතු දැයි ආයෝජකයාට සැලසුම් කළ හැකියි. එක් ආයෝජකයෙක් විශාල බදු ප්‍රමාණයක් ගෙවන්නට අැතයි සිතමු. එහිදී ඔහු උත්සාහ කරන්නේ ආණ්ඩුවට බදු ගෙවනවා ද නැතහොත්, මෙම නිෂ්පාදන තවදුරටත් ප්‍රසාරණය කරනවා ද යන්න පිළිබඳවයි. නිෂ්පාදන කර්මාන්ත ගත්විට එතුළ ඇති සැපයුම් දාමය තුළම ආයෝජනය කිරීම මඟින් නිෂ්පාදන පිරි – වැය අවම කර ගැනීම සඳහා අවකාශ ලැබේ. එමෙන්ම නිෂ්පාදිත භාණ්ඩ පාරිභෝගිකයා දක්වා යන ක්‍රියාවලිය තුළ ද ආයෝජනයන් සිදු කළ හැකිය. අනවශ්‍ය ලෙස බදු ගෙවීමට වඩා නිෂ්පාදන පිරි – වැය අඩු කර, තරගකාරී මිලකට භාණ්ඩ පාරිභෝගිකයාට ලබාදිය හැකිය. වර්තමානයේදී නිෂ්පාදකයන් උත්සාහ කරන්නේ භාණ්ඩයේ මිල ඉහළ දමා හෝ හොඳ තරගකාරීත්වයක් ලබා දී භාණ්ඩ විකිණීමෙන් තම ව්‍යාපාරය රැකගැනීමටයි. එම මානසිකත්වයෙන් මිදී කටයුතු කිරීමෙන් වෙෙළඳපොළ තුළ සාධාරණ වෙෙළඳ ප්රතිපත්තීන්ගේ භාවිතයක් ඇති වේ. එමඟින් ව්‍යාපාරික පරිසරය තුළ අවදානම අවම වීම සහ බදු නිවැරදිව ගණනය කර ගැනීමට හැකි වේ. වැඩි ව්‍යාපාරික අවස්ථා රට තුළ පැවතීම මඟින් ආණ්ඩුවට ද වැඩි බදු ප්‍රමාණයක් එක්රැස් කර ගැනීමට හැකි වේ. නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීම තුළින් නිෂ්පාදන සඳහා ඇති වෙෙළඳපොළ වර්ධනය කර ගත හැකි අතර, එම නිෂ්පාදන විදේශීය වෙෙළඳපොළට ද යා හැකිය. එය විදේශ විනිමය රට තුළට ගලා ඒමට හේතුවක් වෙයි.
2026 අය – වැය යෝජනා අනුව එම වසර සඳහා ඇස්තමේන්තුගත මුළු රාජ්‍ය ආදායම රු. බිලියන 5305කි. ඉන්, රු. බිලියන 4850ක් ම බදුවලින් ඉපයීමට යෝජනා කෙරිණි. බදු ලැබුණහොත් රජය විසින් එම බදු රට තුළ හොඳින් ආයෝජනය කරන බවට විශ්වාසයක් ඇති කර ගත හැකිය. ඊට හේතුසාධක වන්නේ රජය වසරක් පුරා පවත්වාගෙන ආ මූල්‍ය විනයයි. අය – වැය මඟින් ඉදිරිපත් වූ ප්‍රධානතම යෝජනාවක් වන්නේ බදු පදනම වැඩි කිරීමයි. භාණ්ඩ හා සේවා මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගත් කල මිලියන 60ට පමණ පැවති වාර්ෂික පිරිවැටුප මිලියන 30 දක්වා අවම කර තිබේ. තවද බදු පදනම වැඩිවීමත් සමඟ දැනට බදු සඳහා ලියාපදිංචි වී නොමැති ව්‍යාපාරයකට ඒ සඳහා ලියාපදිංචි වී බදු ගෙවීම සිදු විය හැකිය. ඒත් සමඟ භාණ්ඩ හා සේවාවල මිලෙහි යම් වර්ධනයක් ඇති විය හැකිය. මෙය නිශ්චිතව දැක්විය නොහැකි අතර, එය ඉදිරියේදී විය හැකි තත්ත්වයකි. වෙෙළඳපොළ ආර්ථිකය නියාමනය සඳහා තවමත් නිසි නියාමනයක් නොමැත. ඉදිරියේදී භාණ්ඩ මිල කොතෙක්දුරට වැඩිවේදැයි නියාමනය කළ නොහැකිය. එය විවිධාකාරයෙන් සිදු විය හැකිය. එය සමාජ ප්රතිවිරෝධයක් ඇති වීම සඳහා ද හේතු විය හැකිය. මන්දයත් මෙරට තුළ භාණ්ඩ මිල වැඩිවීම හෝ බදු ගෙවීමට සිදු වුවහොත් බොහෝ පුද්ගලයන්, එය පෞද්ගලික වශයෙන් පමණක් සලකා බලන බැවිනි. එබැවින් ආණ්ඩුවේ වගකීම වන්නේ මේ පිළිබඳව නිවැරදිව ජනතාවට සන්නිවේදනය කිරීමයි. මේ අයුරින් බදු පදනම වැඩිවීම තුළ ව්‍යාපාර සඳහා ඇති වාසිය, බදු ගෙවීම තුළින් තමන්ගේ ව්‍යාපාරික, ගිණුම්කරණ වාර්තා නිවැරදිව පවත්වාගෙන යෑම, එතුළ බදු නිවැරදිව ගෙවීමට හැකියාව ලැබීම, බැංකු පද්ධතියට ගොස් ණය මුදල් ලබා ගැනීම තුළින් තම ව්‍යාපාර ප්‍රසාරණය කරගත හැකි වීම ආදිය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කළ හැකි නම් බදු පදනම ප්‍රසාරණය කිරීම සුබවාදී ලෙස බලපෑ හැකිය.
ආයෝජන වැඩි දියුණු කිරීම
මෙවර අය-වැය මඟින් මෙරට ව්‍යාපාරික ප්‍රජාව දියුණු කිරීම සහ නිෂ්පාදන කටයුතු සාධනීය මට්ටමකට ගෙන ඒමට හැකි ලෙස යෝජනා ඉදිරිපත් කර තිබේ. මේවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් නිෂ්පාදන පිරිවැය අවම කරගත හැකි අතර, එමඟින් භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු කරගත හැකිය. එහිදී එක් පැතිකඩකින් ආර්ථිකය සංවර්ධනය වීමත් තවත් පැතිකඩකින් උද්ධමනය අවම වීමත් සිදුවේ. තවද ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කිරීම මඟින් රැකියා වියුක්තිය ද අවම කරගත හැකිය. තවද මූල්‍ය ප්‍රතිපත්ති නිසි පරිදි උපක්රමශීලීව, ප්‍රයෝජනවත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවට ද අවකාශ හිමි වේ. මෙකී කරණාවන් තුළ මූල්‍ය වෙෙළඳපොළ තුළ ස්ථායීතාවක් ඇති කර ගැනීමට ද හැකියාව ලැබේ. මූල්‍ය වෙෙළඳපොළ ගත් විට ණය ලබාදීමේදී තෝරාගත් ව්‍යාපාරිකයන් සඳහා පමණක් ණය ලබා දීම සිදු කරන අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අපහසුතාවට පත්කරයි. මෙම අය – වැය තුළින් එවැනි තත්ත්වයන් සඳහා විසඳුම් ලබා දී තිබේ. එම යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුවහොත් මූල්‍ය වෙෙළඳපොළ තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ද වැඩි ඉඩක් ලැබෙන අතර, විධිමත් ලෙස ණය ලබා ගැනීමට ඔවුන්ට අවකාශ සැලසේ. ඒ අනුව එක් පාර්ශ්වයකට පමණක් නොව සමස්ත ආර්ථිකය සඳහාම දායකත්වය ලබා දෙන පාර්ශ්වයන් මූල්යපද්ධතිය සඳහා සම්බන්ධ වීම මෙහිදී සිදුවේ. මේ අනුව සමස්තයක් ලෙස සැලකීමේදී මෙවර අය – වැය රටේ ඉදිරි ආර්ථික වර්ධනය සඳහා වූ සාධනීය ක්‍රියාමාර්ග ඇතුළත් අය වැයක් ලෙස සැලකිය හැකිය.

