ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සාපරාධී කාරණා සම්බන්ධයෙන් ගිවිසුම්!

එක් රාජ්‍යයක් විසින් අනෙක් රාජ්‍යයට අධිකරණමය ලියවිලි සැපයීම සහ අපරාධ නඩු කටයුතු වලදී උපයෝගී කර ගත හැකි සාක්ෂි රැස් කිරීම ආදිය මඟින් සහාය දැක්වීමේ හෝ සහාය ලබා ගැනීමේ ක්‍රියාවලිය සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිකාව වශයෙන් හැඳින් වේ. අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව සඳහා විධිමත් ගිවිසුමකට එළඹීම මඟින් සවිමත් සහයෝගිතාවයක් ඇති කර ගැනීමට මෙන්ම අපරාධ වැළැක්වීම, විමර්ශන කටයුතු, නඩු පැවරීම හා අපරාධ මර්දනය සඵලදායි ලෙස ඉටු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.

දඬුවමට නියම වූ තැනැත්තන් භාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පිලිපීන ජන රජය අතර ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් වෙනත් රටක පුරවැසියෙකු වරදකරු කොට බන්ධනාගාරගත කිරීම සඳහා දඬුවම නියම කරනු ලැබූ විට එම පුද්ගලයාගේ දඬුවම ඔහු පුරවැසියෙකු යැයි හිමිකම් පාන රට තුළ ගෙවා දැමීමට හැකි වන පරිදි වන විධිවිධාන 1995 අංක 5 දරන වරදකරුවන් භාර දීමේ පනතේ ඇතුළත්ව ඇත. එමෙන්ම, යම් නිශ්චිත රටකදී බන්ධනාගාර ගත කිරීමේ දණ්ඩනයකට ලක් කරනු ලැබූ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ඔහුගේ ඉතිරි දඬුවම් කාලය ගෙවා දැමීමට ආපසු ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සඳහා වන විධිවිධාන ද එකී පනතේ ඇතුළත්ව තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ පිලිපීන ජනරජය අතර වරදකරුවන් භාර දීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත. යෝජිත ගිවිසුම මඟින් සිරකරුවන්ට සමාජීය පුනරුත්ථාපනය සහ සිය සමාජය සමඟ නැවත ඒකාබද්ධ වීම සඳහා සිය මව් රට වෙත පැමිණීමට අවකාශ ලැඛෙනු ඇත. ඒ අනුව, යෝජිත ගිවිසුමට අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව එකී ගිවිසුම අපරානුමත කිරීමටත් අධිකරණ, සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Social Sharing
අවකාශය නවතම