
1997 වසරේ මාර්තු 17 වැනි දින බෙම්මුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ ගෙහිමි කාන්තාව තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමෙ සිද්ධියට අදාලව ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව පසුගියදා ප්‍රකාශ කරමින් සිද්ධියට අදාල විත්තිකරුවන් 18 දෙනාගෙන් තිදෙනෙකුට ගම්පහ මහාධිකරණ විනිසුරු විසින් මරණ දඩුවම ලබා දී තිබේ.
මෙහි දී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කොට සිටියේ මෙම සැකකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකොට තිබූ චෝදනා පහටම ඔවුන් වරදකරුවන් වී ඇති බැවින් මෙම නියෝගය සිදු කරන බවය.
මිය ගිය කාන්තාව පදිංචිව සිටි නිවසේ තරුණියක හා පැවති ප්‍රේම සම්බන්ධතාවක් හේතුකරගෙන දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් අනතුරුව 25ක පමණ පිරිසක් පැමිණ නිවසට පහරදී, එහි තිබු වාහනයක් ගිනි තබා චිත්‍රා ජයසුන්දර නමති එක් දරු මවගේ බෙල්ල තියුණු ආයුධයකින් කැපීම හේතුවෙන් ඇය මියගොස් තිබිණ.
මෙම නඩුවේ මූලික විමර්ශන කටයුතු ගම්පහ පොලීසිය මඟින් සිදුකොට ඇති අතර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික නඩු විභාගයෙන් අනතුරුව ගම්පහ මහාධිකරණය වෙත යොමු කොට තිබිණ. මෙහි දී අලුත්ගමුව, බෝගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු හා ඔහුගේ ඥාති සොහොයුරන් දෙදෙනකු හට මරණ දඬුවම නියම විය.
පුද්ගලයන් 18 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ගම්පහ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගපුළි මහතා එකී නඩුවේ පළමු වැනි, දෙවැනි හා දාසය වන විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කොට අනෙකුත් සැකකරුවන් 13දෙනා නිදොස්කොට නිදහස් කළේය. මෙම නඩුවේ සැකකරුවන් දෙදෙනකු නඩු විභාගය අතරතුර දී මියගොස් තිබුණි.
මෙම නඩු තීන්දුව ප්‍රකාශ කිරීම සදහා අධිකරණයට වසර 28ක් ගතවී තිබේ. ශ්‍රී ලංකාවේ පවතින බරපතල ගැටළුවක් වන යුක්තිය ප්‍රමාදය මෙම නඩුව තුළිනුත් විද්‍යාමාන වේ. මෙම නඩුවට අදාල විත්තිකරුවන් ගම්පහ මහාධිකරණය විසින් ලබා දුන් මෙම තීන්දුව අභියෝගයට ලක්කළ හොත් තවත් වසර කිහිපයකින් මෙම නඩුව දිග්ගැසීමට නියමිතය.
