උප පොලිස් පරීක්ෂකවරයාට පහර දුන් පොලිස් පරීක්ෂකවරුන් තිදෙනාට රුපියල් ලක්ෂ 15ක වන්දියක් ගෙවීමට නියෝග

2022 වසරේ මහමගදී වාහනයකට ඉඩ ලබා නොදුන් බව පවසමින් උපපොලිස් පරීක්ෂකවරයෙකුට අමානුෂික ලෙස පහර දුන් පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂ 15ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

වින්දිත නිලධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීරණය කළ අධිකරණය, එම වන්දි මුදල රජයේ මුදල්වලින් නොව වගඋත්තරකාර නිලධාරීන්ගේ පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බවද අවධාරණය කළේය. ඒ අනුව මාරවිල රථවාහන අංශයේ හිටපු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් තිදෙනා එක් අයෙකු රුපියල් ලක්ෂ 5 බැගින් පෙත්සම්කරුට ගෙවිය යුතු වේ.

අධිකරණයේදී අනාවරණය වූ කරුණු අනුව, මහව සිට කොළඹ බලා මිතුරන් දෙදෙනෙකු සමඟ ගමන් කරමින් සිටි උපපොලිස් පරීක්ෂක චතුරංග දිසානායකගේ වාහනය ලුහුබැඳ පැමිණි මෙම පරීක්ෂකවරුන් පිරිස මහා මාර්ගය අවහිර කරමින් වාහනය නතර කර පහර දී තිබේ. තමන් පොලිස් නිලධාරියෙකු බව නැවත නැවතත් ප්‍රකාශ කළද, මත්පැන් පානය කර සිටි බවට සැක කෙරෙන වගඋත්තරකාර නිලධාරීන් විසින් නොකඩවා පහර දී ඇති බව සීසීටීවී දර්ශන මගින්ද තහවුරු වී ඇත.

මෙම ප්‍රහාරය හේතුවෙන් පෙත්සම්කරුගේ වම් අතට බරපතළ හානි සිදුව ඇති අතර, එය ඔහුගේ වෘත්තීය රාජකාරි ඉටු කිරීමටද බාධාවක් වී ඇති බව අධිකරණයට දන්වා තිබේ.

තවද, මෙම පහරදීමෙන් පසුව අසාධාරණ ලෙස වින්දිත උපපොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට එවක ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබූ බවද අනාවරණය විය. එම තීරණය නීතියට පටහැනි බව පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ සහකාර පොලිස් අධිකාරීවරයාට ද රුපියල් 50,000ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් පෙත්සම්කරුට ගෙවන ලෙස නියෝග කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, එයට විනිසුරු ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ එකඟතාවද හිමිව තිබේ.

මෙම තීන්දුව මගින් බලය අනිසි ලෙස භාවිතා කරන රාජ්‍ය නිලධාරීන්ට දැඩි පණිවුඩයක් ලබා දී ඇති අතර, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය දැඩි ලෙස ක්‍රියා කරන බව යළිත් තහවුරු කර ඇත.

Social Sharing
නවතම පුවත්