
අනුර කුමාර දිසානායක ජනාධිපතිවී වසරක් ගතවු දවසේ ඔහුගේ වසරක ශේෂ පත්‍රය පිලිබදව විමසුමක් කිරීම කාලෝචිතය. අනුර රටට ගෙන ආ දේශපාලන දෟෂ්ඨිය අනුරවාදය (Anurism) ලෙස නාම කරනයට ලක් කරන ලද්දේ වසරකට පෙර අප විසිනි. එසේ Anurism ලෙස නාමකරනයට ලක් කලේ අනුර ප්රායෝගිකවාදියකු ලෙස අපට වු විශ්ලේෂනය හේතුවෙනි.
ජනාධිපති වරනයට පෙර අප සඳහන් කලේ රටේ ආර්ථිකය ගොඩ නගන්නට නම් රනිල්ගේ දෟෂ්ඨිය සුදුසු බවත්, රට අගාධයට ඇද දැමු සහචර රාජ්‍යයට තිත තැබීමට අවශ්‍ය නම් ඒ සදහා සුදුසුම පුද්ගලයා අනුර වන බවය.
අනුර ජනාධිපති වීමෙන් පසුව රනිල්ගේ ආර්ථික දෟෂ්ඨිය තම රාජ්‍ය පාලනයට අදාල කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් අප අනුරගේ රාජ්‍ය පාලන දෟෂ්ඨිය ලේබල ගත කලේ ප්රායෝගිකවාදී (pragmatic) දෟෂ්ඨියක් ලෙසය. අප එම දෟෂ්ඨිය අනුරටම ආවේනික වු අනුරවාදය ලෙස නම් කරන ලද්දේ ඒ නිසාමය.
එසේ නාමකරණයට හේතුවුයේ අනුරගේ රජය සමන්විත වු ජවිපෙ හා මාලිමා දේශපාලන දෟෂ්ඨියට සපුරා වෙනස් වු ප්‍රවිශ්ඨයක් ඒ තුල දක්නට තිබුන නිසාය. බිමල් රත්නායක ඇමති වරයා දැනට අනුගමනය කරමින් සිටින ප්‍රවිශ්ඨය ජවිපෙ දෟෂ්ඨිය අනුරවාදයෙන් වෙනස් බවට මා දරන මතය හොදින් තහවුරු කරමින් සිටී. බිමල් ඇමතිවරයාගේ දෟෂ්ඨිමය පියා වන්නේ ටිල්වින් සිල්වා පක්ෂ ලේකම් වරයා මිස අනුරවාදය නොවේ.
ටිල්වින් ගේ දෟෂ්ඨිය කොමිනිස්ට් පක්ෂ රාජ්‍යයක් තවත් වසර 20 කට ගොඩනැගීමය. මාලිමා දෟෂ්ඨිය අනුරවාදයෙන් වෙනස් බව තහවුරු කරන්නේ හරිනි අමරසුරිය අගමැති වරියගේ රාජ්‍ය පාලන ප්‍රවිශ්ඨය තුලිනි. අධ්‍යාපන ප්රතිසංස්කරන හරහා ඇයගේ දෘෂ්ඨිය කියවාගත හැකිය. එම නිසා අනුරවාදයේ වසරක ශේෂ පත්‍රය අප පිරික්සා බැලිය යුත්තේ රටේ පාලන ශේෂ පත්‍රයට සාපේක්ෂව මිස මාලිමාව සහ ජවිපෙ එකව ඔවුන් විසින් ජනගත කරනු ලැබු මාලිමාවේ දේශපාලන දෟෂ්ඨිය වන පොහොසත් රටක් සැපවත් ජීවිතයක් ගොඩනැගීම පිලිබද කතාන්දරයට අනුව නොවේ.
සැබවින්ම ගත් කල මාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාෂනයට අනුව යන්නේ නම් මාලිමා රජය වසරක් ගත වු කල රටට දිනා දුන් හරයාත්මක ප්‍රගතියක් ඇත්තේම නැති බව කිව යුතුව තිබේ. රටක් ලෙස අප තවම ගත කරන්නේ පශ්චාත් බංකොලොත් අවධියකය.
- රට බංකොලොත්වීමෙන් පසුව අප ඒ දෙස ආපසු හැරී බැලු කල රටේ ශේෂ පත්‍රය ලෙස හදුනාගෙන තිබුනේ:
1. රටට එකතුවී තිබු අතිවිශාල ණය කන්ද,
2. එතෙක් ක්‍රියාත්මකව සහචර රාජ්‍ය ක්‍රමය විසින් ඇති කොට තිබු දුෂණය, අක්රමිකතාවය හා නාස්තිය,
3. සහචර රාජ්‍ය විසින් ගොඩනගා තිබු ආකාර්යක්ෂම රාජ්‍ය පාලනය, හා
4. පශ්චාත් යටත් විජිත ආන්ඩුකරනය විසින් රටට උරුම කරතිබු ජනවාර්ගික අසමගිය තුලින් නිපදවනු ලැබ තිබුනු දේශපාලන අස්ථාවර භාවයයි.
අනුරවාදයට වසරක් ගෙවී ගිය නිමේශයක රටක් ලෙස අප විමසා බැලිය යුත්තේ අප පසු කරමින් සිටින පශ්චාත් බංකොලොත් අවධිය තුල අනුර ජනාධිපති වරයාට තම පාලනය තුලින් කෙතරම් දුරකට ඉහත දැක්වු සතර වැදෑරුම් රාජ්‍ය පාලන අභියෝග සදහා පිලිතුරු සොයා ගැනීමට හැකිවුයේද යන්න පිලිබදවය.
ආර්ථිකය හා ණයබර:
ආර්ථිකයේ කෝනයෙන් බැලු කල අනුර ජනාධිපති වරයා කියන ආකාරයටම තමන් IMF පරිවාසයකට යටත්වී රටේ නය කන්ද කලමනාකරනය කිරීමට උත්සාහ දරමින් සිටී.
නමුත් අනුරවාදයට පශ්චාත් බංකොලොත් යුගය පසු කර යන්නට අවැසි වන ආර්ථික වෘද්දිය ( Economic Growth) සහ ආර්ථික සංවර්ධනය( Economic Development) අතර පවතින වෙනස ග්රහනය කරගන්නට නොහැකිවී තිබේ.
ඒ නිසාම අනුර ජනාධිපතිවරයාට පසුගිය වසර තුල එකතැන පල්වෙන ආර්ථිකය ස්ථායී කිරීම තුලින් ස්ථායී එකතැන පල්වෙන ආර්ථිකයක්( stable economic stagnation) ඇති කර ගැනීමට හැකිවී තිබුනද රටට අවශ්‍ය ගථික ආර්ථික වර්ධනයක් ( Dynamic Economic Growth) ඇති කරගැනීමට අවැසි මුලික අඩිතාලම හෝ දමාලීමට නොහැකිවී තිබේ.
එයට හේතුව වී ඇත්තේ අනුරවාදය සමගම හාමුසුවී ඇති රාජ්‍ය ධනවාදය පිලිබද ජවිපෙ දෟෂ්ඨියයි.
සහචර රාජ්‍ය හා දුෂණය;
සහචර රාජ්‍යයක ප්‍රධාන ලක්ෂන වන්නේ දුෂනය, අක්රමිකතාවය, නාස්තිය, දන්ඩ මුක්තියය(impunity), තෝරාගත් යුක්තිය( selective justice) ගෙනෙන නීතිය දේශපාලන අවියක් ලෙස භාවිතා කිරීමයි.( weaponization of rule of law) අනුරගේ පාලනය එලිපිට සහචර රාජ්‍යයේ ලක්ෂන පිටුදැකීමට කටයුතු කරන බව පැවසන්නේය. සක්‍රීයව එම ලක්ෂන පිටු දැකීමට කටයුතු කරන්නේය. ඒ බව සමාජයට ද දෘෂ්‍යමාන වන්නේය.
නමුත් සැබෑ තත්වය එයට වෙනස් බව දන්නෝ දනිති. ඒ සදහා ඉහත දැක්වු සහචර රාජ්‍යයේ ගති ලක්ෂණ එකින් එක ගෙන වර්ථමාන පාලයේ ක්‍රියා කාරකම් අනුසාරයෙන් ගෙන හැර දැක්විය හැකිව තිබේ. අද අනුර කරන්නේ අතීතයේ සිටි හොරු ඇල්ලීම පමණකි.
එයද තෝරා බේරාගෙනය. අනාගතයේදී රට තුල හොරකම් නැති කිරීමකට යමක් කිරීමට තවමත් අතගසා නැති බව කිව යුතුය. අතීත සොරුන් ඇලීම තුලින් ලැබෙන ආශ්වාදය මිස රටක් ලෙස ගොඩ නැගීමට ඉන් සලසන පිටු වහලක් නැත්තේය.
පාලනය තුල අනාගතයේදී සොරකම් පිටු දැකීමට සිදු කල යුතු ව්‍යුහාත්මක වෙනස්කමකට අත ගැසීමට නම් අවම වශයෙන් IMF එක විසින් සම්පාදිත Governance Diagnostic Assessment පිලිබද වාර්තාව ක්‍රියාවට නැගීමට කටයුතු කල යුතුව තිබේ. අනුර පාලනය එම වාර්ථාවේ එකදු හෝ නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමට පසුගිය වසර තුල යුහුසුලුවු බවක් පෙනෙන්නට නොතිබේ. දැන් පෙනෙන්ට තිබෙන්නේ අනුර ජනාධිපතිවරයා පැරනි සහචර රාජ්‍ය බිද දමා තමන්ගේම වු නව සහචර රාජ්‍යයක් අළුතින්ම නිර්මානය කරමින් සිටින බවය. ඒ සදහා ලබා දිය හැකි උදාහරන බොහෝමයකි.
පාලනයේ කාර්යක්ෂමතාවය:
රාජ්‍ය පාලනයේ කාරයක්ෂමතාවය ඇති කිරීමට සිදු කල යුතු කිසිදු හරයාත්මක මැදිහත්වීමක් පසු ගිය වසර තුල සිදුවු බවක් පෙනෙන්නට නොතිබේ. ඒ වෙනුවට අපට අසන්නට ලැබෙන්නේ ජනාධිපතිවරයා සහ විමල් රත්නායක ඇමති වරයාද අනෙකුත් මැති ඇමති වරුන් මාධ්‍ය ලග තබා ගෙන රාජ්‍ය සේවකයන්ට සිදු කරනු ලබන තර්ජනාංගුලි පමණකි. රාජ්‍ය සේවය ප්රතිසංස්කරනයටම ලියවුනු වාර්තා සිය ගනණක් තිබුනද ඉන් එක් වාර්ථාවක් හෝ පාලකයන් කියවා නැති බව ඔවුන් සිදු කරන ප්‍රකාෂ වලින් තහවුරු වන්නේය. පසුගිය වසරක කාලය තුල සිදුවුයේ රාජ්‍ය සේවකයා මන්දෝත්සාහී කිරීම පමනකි. රාජ්‍ය පාලනය කාර්යක්ෂම කිරීමට කිසිවක් නොසිදුවු රාජ්‍ය සේවකයා දනී.
වසරක් තුල සිදුවු එකම දෙය පැලවත්ත විසින් විවිධ කමිටු හරහා රාජ්‍ය සේවය ආක්රමනය කිරීමය. රාජ්‍ය සේවය තුල දැනට ක්‍රියාත්මක පැලවත්තේ කමිටු මගින් සිදු කොට ඇත්තේ පවතින අකාරයක්ෂම රාජ්‍ය සේවය තව දුරටත් අකාර්යක්ෂම කිරීමය.
ජනවාර්ගික ස්ථාවරත්වය;
පසුගිය වසරක කාලය තුල අනුරවාදයට රටේ ජනවාර්ගික ස්ථාවරත්වය ඇති කිරීමට ක්‍රිකට් කන්ඩායමට සුළු ජාතික ක්‍රීඩකයින් ඇතුලත්වීමේ වැදගත් කම පෙන්වා දීමට එපිටින් ගිය කතාවක් තිබුනේ නැත.
අඩුම තරමින් තමන් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන ප්‍රාදේශීය පාලනය පදනම් වන්නේ විමධ්‍යගත කරනය මතද එසේ නැති නම් බලය බෙදීම මතද යන්න පිලිබදව අදහසක් දෙන්නට තරම්වු දේශපාලනික නිර්භීත භාවයක් පෙන්නුම් කර තිබුනේ නැත. ඒ නිසාම ඉහත සදහන් කරුනු මගින් පෙන්නුම් කරන්නේ පශ්චාත් බංකොලොත් සමයේ රට පවතින උවදුරින් ගොඩඒම සදහා අනුරවාදයට එතරම් ප්රශසස්ත වැඩපිලිවලක් ඉදිරියට දැමීමට නොහැකිවී තිබෙන බවයි.
දේශපාලන කාංසාව නිසා මාලිමාව බලයට පත් කරන ලද ජනතාවට පසුගිය වසර තුල සිදුවු වෙනස් කම් මහ මෙරක් ලෙස පෙනීම අවිවාදිතය. නමුත් රටක් ලෙස අපි මුහුන දෙන අභියෝගයට සාපේකෂකව අනුරගේ වසරක ශේෂ පත්‍රය සාධනීය නොවන බව කියන්නේ රට ගැන සහ අපට අප ගැනම පවතින බයට සාපේකෂවය.

