සමාජ මාධ්‍ය යනු “මහජන මතය” පිළිබිඹු කරන දර්ශකයකි. උද්ධරණ ලකුණු හෙවත් පෙරැළි කොමා භාවිතා කර ඇත්තේ මෙම දර්ශකයේ අසම්පූර්ණත්වය, එනම්, සමාජ මාධ්‍ය විසින් ඉතා උස් හඬින් නැගෙන හා ධ්‍රැවීකරණය වූ හඬවල් වලට වැඩි ඉඩක් ලබා දෙන බව පෙන්වීමටයි. එහෙත්, සමාජ මාධ්‍ය යනු නොසලකා හරිය නොහැකි දර්ශකයකි.
වික්‍රමසිංහ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ කාර්යපටිපාටිමය දෝෂ පෙන්වා දීමෙන් මා ජනප්‍රියත්වය ලබා ගැනීමේ තරඟයක ජයග්‍රාහකයෙකු නොවන බව මට පෙනුණි. එහෙත්, 2006දී සිදුවූ බව කියන පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බවට පළවූ ප්‍රකාශයක් මා විසින් නැවත පළ කිරීමත් සමඟ මෙම ප්‍රතිචාර නව මට්ටමකට ලඟා විය. දැන් සමාජ මාධ්‍ය වේදිකා තුළ පිරිස් ඒකරාශි වෙමින් මගේ අදහස් කෙරෙහි ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වී ඇත. මා ඉහළ තත්ත්වයක සිට පහතට වැටුණු බවට ව්‍යාජ කනගාටුව පළ කිරීම් ද බිහිවන්නට විය.

නීතියේ ආධිපත්‍යය:
මෙම අවස්ථා දෙකෙහිදීම, මාගේ ක්‍රියාවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පුද්ගලයාට සහයෝගය දැක්වීමක් ලෙස විග්‍රහ කර තිබිණි. ඔවුන්ගේ ඇසින් බලන විට, එම චෝදනාවේ තත්ත්වය පිළිබඳ ස්ථාවරයක් ගැනීමකින් තොරව යම් අසාධාරණ ක්‍රියා පටිපාටියකට විරුද්ධ වීමට නොහැකිය. වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිකුරාදා සවස් යාමයේදී, “සුවිශේෂ තත්ත්වයන්” ලේඛනගත කිරීමෙන් පමණක් මහේස්ත්‍රාත්වරයාට ඇප ලබා දිය හැකි චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම දේශපාලනික චේතනාවෙන් යුක්ත බව පෙනේ යැයි පැවසීම, හිටපු ජනාධිපතිවරුන් වගකීමට බැඳී සිටිය යුතුද යන්න හෝ 2023දී වියදම් කළ මුදල් සාධාරණද යන්න පිළිබඳ ස්ථාවරයක් ගැනීමක් නොවේ. වසර 19කට පසු, නිමල් ලන්සාගේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම, නිෂ්ඵල හේතු මත බව පෙනෙන බැවින්, එය ඔහුට චරිත සහතිකයක් ලියා දීමක් නොවේ.

නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් කැපවී සිටින මා වැනි අයෙකු දේශපාලන බලධාරීන් හෝ දේශපාලනික විනිශ්චයකරුවන් විසින් සිදු කරන ක්‍රියා පටිපාටිමය වශයෙන් වැරදි ක්‍රියාවන් හෙළා දැකිය යුතුය. 1998-1999 කාලයේ ජනාධිපතිවරයාගේ විශ්වාසවන්ත ආර්ථික උපදේශකයෙකු ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර සිටින විටත්, මා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සිටින විටත්, අප අතර බොහෝ මත ගැටුම් තිබුණි. එහෙත්, එම මත ගැටුම් හේතුවෙන් ඔහුට එරෙහිව සරත් නන්ද සිල්වා හිටපු අගවිනිසුරුවරයා විසින් ගත් අසාධාරණ තීරණය ගැන මා ප්‍රසිද්ධියේ කතා කිරීම හා ලිවීම වැළැක්වුණේ නැත. ආචාර්ය පී.බී. ජයසුන්දර ඉදිරිපත් කළ ගැටලුකාරී ප්‍රතිපත්ති පිළිබඳ මට තිබූ සෘජු අත්දැකීම්, අගවිනිසුරුවරයාගේ අත්තනෝමතික හා ව්‍යාකූල තීරණවලට එරෙහිව ඔහු ආරක්ෂා කිරීම වැළැක්වුවේ නැත.
නිමල් ලන්සා විසින් සිදු කළා යැයි කියන පහරදීම හෝ ඔහුට එරෙහිව චෝදනා කර ඇති වෙනත් වැරදි සම්බන්ධයෙන් ඔහු වරදකරුද නිවැරදිකරුද යන්න පිළිබඳ මට කිසිදු සාක්ෂියක් නැත. එහෙත්, විමර්ශන හා නඩු පවරන කාර්යයන් බරපතළ ලෙස දේශපාලනීකරණය වී ඇති තත්ත්වයක් යටතේ, 2006 වසරේ දී කරන ලදැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් වසර 19කට පසු අත්අඩංගුවට ගැනීම අසාමාන්‍ය බව පෙනේ.
මගේ මතකයට අනුව, මිනීමැරුම් හා රාජද්‍රෝහය හැර වෙනත් අපරාධ සඳහා වසර 20කට පසු නඩු පවරනු නොහැකිය. ලන්සාගේ නඩුව, කාලාවරෝධ නීතිය මගින් නඩු පැවරීම තහනම් වීමට මාස කිහිපයකට පෙර ගෙන ඒම, වෙනත් එවැනි “සිසිල් නඩු” ද එකවර ගෙන එන්නේ නම් මිස සාධාරණීකරණය කළ නො හැකිය. එසේ නොවේ නම්, මෙය ද නඩු පැවරීමේ බලය අනිසි ලෙස භාවිතා කිරීමක් යැයි සාධාරණ තර්කයක් ඉදිරිපත් කළ හැකිය.
කෙසේ වෙතත්, ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කළේ ඇයි? රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ අරමුණ වන්නේ චූදිතයා නඩු විභාගවලට පෙනී සිටින බවත්, විමර්ශනයට බාධා නොකරන බවත් සහතික කිරීමයි. වසර 19කට පෙර සිදුවූ ප්‍රහාරයක් තවමත් විමර්ශනය කරනවාද? සාක්ෂි නොමැතිව නඩුව නැවත ඉදිරිපත් කළාද? මෙය රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම මගින් දඬුවම් කිරීමේ තවත් නඩුවක්ද?

මානසිකත්වයේ ගැටලුව:
17වන සියවසේ උඩරට ගැමියෙකු අපගේ නවීන බාහිර ආවරණය යට රඟදෙන බව මට නිතරම හැඟේ. අප නීතියේ ආධිපත්‍යය හා වෙනත් සුන්දරත්වයන්ට අගයක් නොදෙමු. රජු තම යටත්වැසියෙකුට දඬුවම් කිරීමට තීරණය කළ විට, අප එය ප්‍රශ්න නොකර පිළිගනිමු. එය අපට අප්‍රිය පුද්ගලයෙකුට එරෙහිව නම්, අපි එයට ඔල්වරසන්ද නගන්නෙමු.
ශ්‍රී ලංකා පොලිසියේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධමය කටයුතු සම්බන්ධයෙන් කාර්ය සාධනය බිඳවැටී ඇත. ඔවුන්ගේ වරදකරු කිරීමේ අනුපාතය 4-6% පමණ වේ. ඊට අමතරව, උසාවි ඉතා මන්දගාමීය. මෙය නිසා, නඩු පවරන්නන් විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම දඬුවමක් ලෙස භාවිතා කරයි. හැකි සෑම විටම, ඔවුහු සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR පනත) හෝ පොදු දේපළට එරෙහි අපරාධ පනත වැනි ඇප ලබා දීම සීමා කරන විධිවිධාන යටතේ චෝදනා ගොනු කරති. මෙහිදී ඇප ලබා දීමේ මූලධර්මය රීතිය වන අතර, රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම ව්‍යතිරේකය විය යුතුය යන මූලධර්මය උල්ලංඝනය වේ.
අපගේ බන්ධනාගාර ධාරිතාව ඉක්මවූ භයානක ස්ථාන බවට පත්ව ඇති බව, තවත් වරදකරු නොවන යැයි සැලකෙන පුරවැසියන් එහි ගාල් කිරීම වැළැක්වීමට බාධාවක් නොවේ. බන්ධනාගාරගතව සිටින්නන්ගෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් නඩු විභාගයට පෙර රඳවා ගැනීම් ය.
උඩරට ගැමි මානසිකත්වය යනු, රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම අධික ලෙස භාවිතා කිරීමට හා රිමාන්ඩ් තීරණ බොහෝ දෙනා විසින් සතුටින් බාර ගැනීමට හොඳම පැහැදිලි කිරීමයි. නීතිය අනුව හා නීතිඥයන්ගේ හා ඇපකරුවන්ගේ ආධාරයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අය ඇප මත මුදා හරින විට, එය නිදහස් කිරීමකට බොහෝ දුරට සමාන ප්‍රතිචාරයක් ඇති කරයි. මහජනයාගේ හා මාධ්‍යවල බොහෝ දෙනාගේ මනසේ, රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම යනු දඬුවමයි. ඇප මත මුදා හැරීම යනු නිදහස් කිරීමකි.
සමහරු තර්ක කරන්නේ, විනිසුරුවරුන් ඇප ලබා දීම රීතිය වන අතර රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම ව්‍යතිරේකය ය යන මූලධර්මයට අනුගත විය යුතු බවයි. තවත් සමහරු බලාපොරොත්තු වන්නේ දේශපාලන බලපෑම්වලින් ආරක්ෂා වූ ස්වාධීන නඩු පවරන්නන්ගේ කාර්යාලයකි. උඩරට ගැමි මානසිකත්වය තිබෙන තාක්, මේ දෙකම සිදුවීමට ඉඩක් නැත. එබැවින්, ඉතා ජනාකීර්ණ බන්ධනාගාරවලට තවත් තවත් පුද්ගලයන් ගාල් කිරීමේ අමානුෂික හා වියදම්කාරී භාවිතයට විකල්පයක් ලෙස ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය හඳුන්වා දීමට පිළිබඳව මහජන මතයක් ගොඩනැගීම සඳහා හඬ නැගීම මම ආරම්භ කර ඇත්තෙමි.
(Daily FT පුවත්පතේ 2025 සැප් 03 පළ වූ ලිපියක සිංහල අනුවාදයකි. මුල් ලිපිය – https://www.ft.lk/columns/How-to-react-to-remanding-of-politicians/4-781157?fbclid=IwY2xjawMkzZlleHRuA2FlbQIxMABicmlkETFrM094NUptU1BtMEhTWUNkAR6yt00I_oA5ipPkVl4vCYnujcQHorqNLr6PGgVYE-hQSTBqQaLv-HjGKrNKew_aem_ar51rSE0NnbwBuVmLOU4nw)
