ජීවන වියදම ඉහල යාම සහ දේශපාලන ප්‍රභූන් කෙරෙහි වූ මහජන කලකිරීම හේතුවෙන් තීව්‍ර වූ විරෝධතාවල ආරම්භය ඇති වූයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අධික වැටුප් ලබා දීම සහ නිවාස දීමනා ලබා දීම හෙළා දකිමින් පසුගිය අගෝස්තු 25 වන දින ජකර්තාහිදී පැවති විරෝධතාවකිනි.
අගෝස්තු 28 බ්‍රහස්පතින්දා රාත්‍රියේ, විරෝධතාකරුවන් සහ බලධාරීන් අතර උත්සන්න වූ ගැටුම්වලින් පසුව, 21 හැවිරිදි ඩිලිවරි යතුරු පැදිකරුවෙකු (rideshare driver) වූ අෆාන් කුර්නියාවන් ජකර්තා පොලිස් වාහනයකට යට වී මිය යාමත් සමගම සිදුවීම් ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය විය.
ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ සහ පොලිස් ප්‍රධානියා අෆාන් කුර්නියාවන්ගේ මරණය සම්බන්ධයෙන් සමාව අයැද සිටි නමුත් එය තවදුරටත් සමාජ අතෘප්තියට හේතු විය.
ඒ හේතුවෙන් ජකර්තා නගරයේ පැවති විරෝධාතා ඉන්දුනීසියාව පුරා පැතිර ගිය අතර, දහස් ගණනක් ජනතාව වීදි බැසීමෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස්, 700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කරයි. මේ අතර රජයේ පොදු ගොඩනැගිලි ගිනි තබා විනාශ කිරීමේ සිට රජ්‍ය ඇමතිවරුන්ගේ හා නිළධාරීන්ගේ දේපල මංකොල්ලකෑම් පිළිබදව සිදුවීම් ද වාර්තා විය.

ජකර්තාහි පැවති දින පහක විරෝධතාවලින් පසු කැරලිකරුවන් 1,240 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව බලධාරීන් පවසන අතර, නගර ආණ්ඩුකාර ප්‍රමෝනෝ අනුන්ග්ට අනුව, කැරලිකරුවන් බස් රථ, උමං මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් ගිනි තැබීමෙන් සිදුවූ හානිය රුපියල් බිලියන 55 ක් (ඩොලර් මිලියන 3.3 ක්) දක්වා පාඩුවක් ඇති බව පවසයි.
විරෝධතාකරුවන් විසින් රජයේ ගොඩනැගිලි සහ පොලිස් මූලස්ථාන ගිනි තබා ඇති අතර, සුලවේසි දූපතේ ගොරොන්ටාලෝ නගරය, ප්‍රධාන දූපත වන ජාවා හි බන්ඩුන්ග්, සුමාත්‍රා දූපතේ පැලෙම්බැං, බෝර්නියෝ දූපතේ බන්ජර්මාසින්, ජාවා හි යෝග්‍යාකර්තා සහ සුලවේසි හි මකසාර් යන නගරවල විරෝධතා පැවැත්වේ.

නැගෙනහිර මකසාර් නගරයේ නගර සභා ගොඩනැගිල්ලක විරෝධතාකරුවන් විසින් ඇති කරන ලද ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය අතර, සිව්වන පුද්ගලයා සිකුරාදා එම නගරයේම මිය ගියේ ඔහු බුද්ධි අංශ නිලධාරියෙකු යැයි වැරදියට විශ්වාස කළ පිරිසක් විසින් සිදු කළ පහර දීමක් හේතුවෙනි.
2024 පෙබරවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රබෝවෝ සුබන්ටෝ ජයගත් අතර, ප්‍රබෝවෝ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඔහු මුහුණ දෙන බරපතළ ම අභියෝගය මෙය විය හැක. 1998දී සුහර්තෝගේ පාලනය බිඳ වැටීමෙන් පසු ඇති වූ ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් ඉන්දුනීසියාව වේගයෙන් දියුණු වෙමින් පැවති අතර, එය ආසියාවේ ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන රාජ්‍යයක් බවට පත් වෙමින් පැවතුනි.
