සුමිත්‍රා, කුරු සහ ‘ගුණවර්ධන දේශපාලනය’

අප මුලින් සිතා සිටියේ සුමිත්‍රා [පීරිස්] ගැන නො ලියන්නය. එහෙත් කුරු [ගුනවර්ධන]ගේ මතකය එසේ සිටින්නට ඉඩ නොදුන්නේය. මේ මතකය පටන්ගන්නේ 1931 අවුරුද්දෙන් ය. අවිස්සාවේල්ල අසුනට තරඟ කිරීමට හැරී [ගුණවර්ධන – සුමිත්‍රාගේ තාත්තා] ට යෝජනා කළ විට ඔහු බලවත් හා ධනවත් පොරැස්ටර් ඔබේසේකර, බණ්ඩාරනායක [ඇස්.ඩබ්ලිව්. ආර්.ඩී.] සමඟ පැමිණ කළ ඉල්ලීමට එකඟව ඉවත්වන්නට සුදානම් වු බව රොබට්[ගුණවර්ධන – සුමිත්‍රාගේ බාප්පා] සිය ජීවිත කතාවේ කියන්නේය. හැරී ට නඟාගේ මාලය පළඳවා පවුලේ අඳ ගොවියෙකු වූ පොඩි සිංඤෝ පොරැස්ටර් විරුද්ධව දමන බවට තර්ජනයෙන් ඔහු මැතිවරණයට ඉදිරිපත් වූ බවයි රොබට් ලියා තිබෙන්නේ.

දැන් දේශපාලන සිඟාලයන්ට වාසභූමි වුවත් ‘බොරළුගොඩ වලව්ව’ හා ගුනවර්ධනවරු නූතන ලංකාව වෙනස් කිරිමට බලවත් දායකත්වයක් දුන්නෝය. ඉහත කී හැරීගේ දරුවන් දෙදෙනා වු තෙවන පරම්පරාවේ සුමිත්‍රා හා කුරු ගුණවර්ධන ලංකා සංස්කෘතික දේශපාලනයට අගනා මෙහෙයක් කළෝය. කුරු වැනි සොහොයුරෙක් නොසිටින්නට ‘සුමිත්‍රා පීරිස්’ කෙනෙක් සිනමා ඉතිහාසයේ හමු නොවන්නට ඉඩ තිබුණි. අප කුරු මුලින්ම දකින්නේ සමීප ඥාතියෙකුගේ මඟුලකදිය. රබර් සෙරෙප්පු දෙකක් දමා කලිසමක් හා කමීසයකින් සැරසී සිටි ඔහු බුරුත කෝට් කාරයන් පිරුණු ඒ ගමේ මඟුලේ සුවිශේෂයෙක් විය. ඔහු ගැන සොයන්න ගන්නේ මේ විශේෂය නිසාය.

ලන්ඩනයේ සිංහල ජනකතා අනුව නවීන පාරුවකින් යුරෝපයට යාත්‍රා කළ මුල්ම ලාංකිකයා කුරු ගුණවර්ධනය. සුමිත්‍රා යුරෝපයට යන්නේ ඔහු පසුපසින් ය. ලයනල් වෙන්ටඩ් කලාගාරයේ ප්‍රදර්ශනයක දි සුමිත්‍රාට ලෙස්ටර් හදුන්වා දෙන්නේත් කුරුය. ලෙස්ටර්ගේ අසාර්ථක වූ ‘රොබොට් නොක්ස්’ සිනමා ව්‍යාපෘතිය ලංකාවට ගෙනාවේත් කුරු ය. 1970 පටන් ලන්ඩනයේ සිට ලංකාවේ තරුණ දේශපාලනය වෙනුවෙන් කැපවී සිටියේත් කුරුය. කුරු, පෝල් [පීරිස්] විජය [ලැනරෝල්] මෙන්ඩිස්, අච්චා [ලැනරෝල්] හා සී. අයි.[ප්‍රනාන්දු] ඇතුළු පිරිසක් තැනූ ‘ගිනි පුපුර’ [ලන්ඩනය]1971 සමගි පෙරමුණේ තරුණ ඝාතන වෙනුවෙන් ජාත්‍යාන්තර උද්ඝෝෂණයක් මෙහෙය වීය. 1950 දශකයේ දී තරුණ වියේ යුරෝපයට ගිය මේ අපුරු තරුණ කණ්ඩායම විවාහ වී සිටියේ යුරෝපයේ සමාජවාදී ස්ත්‍රීන් සමඟය. 1978 දී මොවුහු විජේවිර [රෝහණ] බ්‍රිතාන්‍යට කඳවා ‘ගිනි පුපුර’ ජවිපේ ලන්ඩන් ශාඛාව කළහ. අපේ කල්පනාවේ හැටියට ජවිපේට එකතු වූ මුල්ම නාගරික ප්‍රභූ කණ්ඩායම මේ ‘ගිනි පුපුර’ වටා රොක් වී සිටියහ. 1993 දී ලන්ඩනයට ගිය අමරසිංහ [සෝමවංශ] විනාශ කරන තෙක්ම මේ කණ්ඩායම ජවිපේ සාමාජිකයන් වී සිටියහ.

අප මේ කතා කියන්නේ නැවුම් දේ නිර්මානය කරන්නෝ ඕපපාතිකයෝ නොවන බව කියන්නටය. සුමිත්‍රා ගුනවර්ධන පීරිස්ගේ පරපුර අධිරාජ්‍ය විරෝධින් වුහ. බොරළුගොඩ දොන් ජාකෝලීස් රුපසිංහ ගුණවර්ධන අධිරාජ්‍ය විරෝධයෙන් දිවි ගලවා ගත්තේ යන්තමිනි. ලංකාවට සමාජවාදය හා මාක්ස්වාදය ගෙනෙන පිලිප් [ගුණවර්ධන] ඔහුගේ පුත්‍රයාය. වාම ස්ත්‍රී දේශපාලනයේ නායිකාව විවියන් පිලිප්ගේ ලේලියකි. සුමිත්‍රා, පිලිප්ගේ වැඩිමහල් සහෝදරයාගේ දියණියයි. මීට අමතරව ඔවුහු නව ලංකා වාර්තා ගණනාවක්ම තබා ඇත. පසුගිය සියවස මුල් භාගයේදි කුල වාදය බිඳ මුල්ම විවාහ [පිලිප්- කුසුම, විවියන් – ලෙස්ලි] සිදු වූයේ මේ පවුලේය. දෙමළ – සිංහල විවාහ [ කැරොලයින් – අන්තෝනි පිල්ලේ] සිදු වූයේත් මේ පවුලේය. බොරළුගොඩ දේශපාලනය ජරාජිර්ණ වෙද්දී සුමිත්‍රා හා කුරු ගුණවර්ධන වෙනස් නවීන මඟක ගමන් ගත්තෝය.

සංගීතය, ජිවිතය හා ආත්මය කරගත් නිමල් මෙන්ඩිස් දිනක් අපුරු මතකයක් අපට කීවේය. ‘ගඟ අද්දර’ ට සංගීතය නිර්මාණය කරද්දී එහි ගී ගායනයට විජය [කුමාරතුංග] යොදා ගැනිමට නිමල් කල්පනා කලේය. ඔහු ඒ වෙනුවෙන් විජයගේ ගෙදරදී ගීයක් ටෙප් රැකෝඩයකට දමා ගෙන සුමිත්‍රා හමුවුණේය. ඕ දෙවතාවක් නොසිතා නිමල්ගේ කැමත්තට අනුමැතිය දුන්නාය. විජය ගායකයෙකු වූයේ ඒ ආකාරයට ය. සුමිත්‍රා මොනතරම් රැඩිකල් පවුලකින් ආවත් ඈ තුල සිටි ආසියාතික ස්ත්‍රිය පරාජය කරන්නට අසමත් වුවාය. ලෙස්ටර්ගේ මුල් විවාහයේ විස්තර කිසිවක් කිසිම තැනක සටහන් නොවන්නේ මේ ‘ආසියාතික ස්ත්‍රියගේ’ විරෝධය හා නොකැමැත්ත නිසාය.

සුමිත්‍රා පීරිස්ට සුභ ගමන්…!

– නන්දන වීරරත්න –
උපුටාගැනීමකි

 

Social Sharing
අවකාශය නවතම