ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය, ජනමත විචාරණයක් කරගමු!

විධායක ජනාධිපති ක්‍රමයක් යනු මොන වගේ එකක්දැයි බලාගැනීමට අවශ්‍ය සාක්ෂි අපට ලැබෙන්ට පටන්ගත්තේ ජේ. ආර්. ජයවර්ධනගේ කාලයේ පටන්මයි. එහෙත්, ඒ සාක්ෂි සැලකිල්ලට ගැනීම විවිධ අවසරයන් යටතේ හෙටට කල් දමා ගැනුණි. දැන් ඒ ජනාධිපති ක්‍රමය සමස්තයක් වශයෙන් මෙන්ම, වෙන් වෙන්වත් අරගෙන පරීක්ෂාවට ලක්කිරීමේ අවස්ථාව ගෝඨාභය රාජපක්ෂ විසින් අපට උදා කර දී තීබේ.

ඕනෑම වරදක, වගවීම කියා දෙයක් තිබේ. ඒ අනුව, පැනවෙන දඬුවම කියා දෙයක් තිබේ. ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ දා සිට කරන ලද වැරදි තුළ, අවම මට්ටමේ වගවීමකට සහ ‘දඬුවමට’ ලක් වූ පුද්ගලයන් ගණනාවකි. මේ මොහොතේ මතකයට නැඟෙන පරිදි, කෝවිඩ් සම්බන්ධයෙන් පවිත්‍රා වන්නිආරච්චි, කාබනික පොහොර සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ, මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපතිවරුන් වන ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, සමස්ත ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් පී. බී. ජයසුන්දර, සමාජ-දේශපාලනයේ සර්වාංග රෝග සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමතිවරුන් වශයෙන් අලි සබ්රි සහ බැසිල් රාජපක්ෂ පමණක් නොව, කලක් කෝකටත් තෛලයක් වශයෙන් පාවිච්චියට ගැනුණු හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වැනි තවත් දේශපාලනික සහ ආයතනික තලයේ විශාල පිරිසක්, මේ කෙටි කාලය තුළ තම තමන්ගේ අසාර්ථකත්වයන් වෙනුවෙන්, විවිධ මට්ටම්වලින් දඬුඅඬුවට බෙල්ල දී තිබේ. (වරදවා තේරුම් නොගන්න: ඒ කිසිවෙකු තමන් කළ කිසි වරදකට නිසි දඬුවම් මෙතෙක් ලබා නැත. සිදුව ඇත්තේ, දඬුවමක් වැනි මායාවක් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී තිබීම පමණි). එහෙත් ඒ කිසි අවස්ථාවක, එකී අවම මට්ටමෙන්වත් හානියක් කළ නොහැකි දුරකින් සිටි එක ආයතනයක් සහ එක පුද්ගලයෙක් සිටී. ඒ, විධායක ජනාධිපති ගෝඨාභය රාජජපක්ෂයි. ඔහු පසුගිය කාලයේ විවිධ පුද්ගලයන් අස් කෙළේ සහ පත්කෙළේ, තමා පමණක් සර්වතෝභද්‍ර තලයේ සිටිය හැකි බලයක් වශයෙන් ගනිමිනි.

ඉල්ලා අස්වන්නැයි රට්ටු තමන්ගෙන් ඉල්ලා සිටීම ගැන පසුගිය දවසක ගෝඨාභය රාජපක්ෂ කීවේ, අසාර්ථක නායකයෙකු වශයෙන් ගෙදර යාමේ හැකියාවක් තමන්ට නැති බවයි. එසේ නම්, ඉහතින් කී සියලු පුද්ගලයන් අසාර්ථකත්වය මත ගෙදර යා යුතු යැයි ඔහු තීරණය කෙළේ මොන පදනමක් උඩද? එහි අරුත වන්නේ, අනිත් සියල්ලන්ට බලපාන නෛතිකත්වයන් සහ ආචාරධාර්මික විනිශ්චයන් තමන් සම්බන්ධයෙන් පමණක් බලනොපාන බවයි. අපේ ජනාධිපති ක්‍රමය ඒ තරමට ඒකා-අධිපති ය.

හොඳම වෙලාව

ජනාධිපති ක්‍රමය ඉවරයක් කරගැනීමේ අසීරුතම අවධිය වශයෙන් සැලකිය හැක්කේ ජේ. ආර්. ජයවර්ධනගේ කාලයයි. හේතුව, එම ක්‍රමයේ තාරුණ්‍ය අවධිය එය වන බැවිනි. ඕනෑම ක්‍රමයක් ඉවරයක් කරගැනීමේ පහසුම අවස්ථාව එළැඹෙන්නේ ඒ ක්‍රමයේ මහලු අවධියේ ය. අද අප පැමිණ සිටින්නේ ඒ මොහොතටයි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය අපේ ප්‍රධාන කතිකාව බවට පත්වූ 1994 පටන් එම ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව නොදී බලයට පත් ප්‍රථම සහ එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂයි. ඒ ගෝඨාභය රාජපක්ෂම පසුගිය මැයි 11 වැනිදා ජාතිය අමතමින් මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තමන් කටයුතු කරන බව ප්‍රථම වතාවට කීවේය. ජනාධිපති ක්‍රමයේ දුර්වලම පුරුක මෙය බව සංකේතීයව වටහාගැනීමට එයම වුව ප්‍රමාණවත් ය.

‘වෙරිතේ රිසර්ච්’ ආයතනය කළ සමීක්ෂණයකට අනුව, මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සියයට 50 ක් දෙනා කියා තිබුණි. එම ආයතනයේ ඊළඟ සමීක්ෂණය පෙන්වා දෙන පරිදි, මේ වසරේ අප්‍රේල් මාසය වන විට එම පිරිස සියයට 74 දක්වා වැඩි වී තිබේ. ගෝඨාභය රාජපක්ෂ යටතේ මොන තරම් සීග්‍රයෙන් මේ ජනාධිපති ක්‍රමය පිළිබඳ ජනතා අප්‍රසාදය උත්සන්න වෙමින් තිබේද යන්න එයින් පෙන්නුම් කෙරේ.

මේ මොහොත අප අතපසු කළොත්, ඒ සඳහා ගෙවීමට සිදුවන වන්දිය, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කර ගැනීමෙන් අද සිදු කරගෙන ඇති ව්‍යසනයට වැඩි වන්දියක් වෙනවාට කිසි සැකයක් නැත. ඒ නිසා, ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීමේ වර්තමාන අරගලයට සමගාමීව මේ ජනාධිපති ක්‍රමය ඉවරයක් කිරීමේ ප්‍රයත්නයත් ඒකාබද්ධ කළ යුතුව තිබේ.

එහෙත් දැනට 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය නමින් ව්‍යාජයක්, විජයදාස රාජපක්ෂ හරහා ඉදිරියට ගෙනැවිත් තිබේ. මෙය, රාජපක්ෂ මතවාදයේ 20 වැනි සංශෝධනයට සුදු හුණු ගාන මායාවක් මිස, අඩු වශයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මායිමකටවත් යන දෙයක් නොවේ. ඒ නිසා, ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමේ වර්තමාන සෑම මහජන අරගලයක්ම ගෙන යන අතරේ, ජනාධිපති ක්‍රමය අවසානයක් කිරීමේ සත්‍යවාදී ව්‍යාපාරයකට උරදීමත් මේ මොහොතේ පටන් කළ යුතුව තිබේ. මේ, ඒ සඳහා වන එක් යෝජනාවකි.

ජනාධිපති ක්‍රමය තවදුරටත් තබාගත යුතු යැයි කියන පිරිස් තවමත් සිටිති. බහුතරයේ මතය ඊට වෙනස් බව, ඉහත සමීක්ෂණ දත්ත සහ  වෙනත් අතීත අත්දැකීම් අනුව පෙනී ගියත්, එය සංඛ්‍යාත්මකව ගණනය කිරීමේ නිශ්චිත හැකියාවක් මෙතෙක් ලැබී නැති නිසා දෙපැත්තටම තර්ක කිරීමේ හැකියාව ඉතිරිව තිබේ. උදාහරණයක් වශයෙන්, 1994 න් පසු, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව නොදී බලයට පත් එකම පුද්ගලයා වන ගෝඨාභය රාජපක්ෂට 69 ලක්ෂයක් ඡන්දය පාවිච්චි කොට තිබීමෙන් පෙන්නුම් කරන්නේ, විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගැනීමට වැඩි පක්ෂපාතීවයක් පළකිරීමකැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එය, ඊට කලින් සෑම ජනාධිපතිවරණයකදීම එම ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව සඳහා දෙන ලද ජනවරම් (1994, 1999, 2005, 2010, 2015) සියල්ල අවලංගු කිරීමකැයි තවදුරටත් කෙනෙකුට තර්ක කළ හැකිය. කෙසේ වෙතත්, මේ ප්‍රතිපාර්ශ්වීය මත දෙක විවිධ අවස්ථාවන්හිදී ජයග්‍රහණය කොට ඇති බව පෙනෙතත්, එකී ජයග්‍රහණයන්හි එකම හිමිකාරීත්වය ඒ මතවාදයට (ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ නොකිරීමට) පමණක්ම හිමිවන්නේද යන ප්‍රශ්නය ඉතිරි කොට තිබේ. උදාහරණයක් වශයෙන්, 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජයග්‍රහණය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඈ දුන් පොරොන්දුවේ ප්‍රතිඵලයක් පමණක්මද? අනිත් අතට, 2019 ගෝඨාභයගේ ජයග්‍රහණය, ජනාධිපති ක්‍රමය ආරක්ෂා කරගැනීම සඳහා වන පොරොන්දුවේ ප්‍රතිඵලයක් පමණක්මද?

එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්

මේ නිසා, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ජනතාවගේ නිශ්චිත මතය උරගා බැලීම මේ අවස්ථාවේ අප කළ යුතුව ඇති අත්‍යාවශ්‍ය කර්තව්‍යයකි. එය, අමතර වියදමකින් තොරව කරගත හැකි දෙයකි.

ව්‍යවස්ථානුකූලව ඊළඟ මහ මැතිවරණය කැඳවීමේ ආසන්නතම කාලය වන්නේ 2023 මාර්තු මාසයයි. එම මැතිවරණය තුළම, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ජනතාවගේ අදහස් විමසිය හැකිය. ඒ සඳහා ප්‍රතිපාදනයක් අපේ ව්‍යවස්ථාවේ 86 වැනි වගන්තිය යටතේ සපයා තිබේ. ඒ මෙසේ ය: “ජනාධිපතිවරයාගේ මතය අනුව, ජාතික වැදගත්කමකින් යුක්ත යැයි ඔහු සලකන්නා වූ යම් කාරණයක්, 85 වැනි ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ හැක්කේය.”

මෙවැනි ජනමත විචාරණයක්, අනිවාර්ය නෛතික බැඳීමක් ඇති නොකරයි. එය අපි දැනට මතකයේ තබා ගමු. එසේම, මෙවැනි ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා පවා, ජනාධිපතිවරයාගේ අනුමැතියත් අවශ්‍ය කෙරෙන බවත් මතකයේ තබා ගමු. පහත සඳහන් යෝජනාව, දැනට ඒ කොන්දේසි දෙකට යටත් ය. (ඒ ගැන පසුව කතා කෙරේ).

ඊළඟ මහ මැතිවරණයේදී, පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් සහ පක්ෂයක් තෝරාගැනීමේ ඡන්ද පත්‍රිකාවට අමතරව තවත් ඡන්ද පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතුය. ඒ, නිශ්චිත ප්‍රශ්නයක් ඡන්දදායකයාට යොමු කරමිනි. එනම්, විධායක ජනාධිපති ක්‍රමයට එකඟද නැද්ද යන්නයි. පිළිතුර, ‘ඔව්’ හෝ ‘නැහැ’ යන්නයි. එය, අවසාන ඉලක්කම දක්වාම ගණනය කළ හැකි විනිශ්චයකි. ඉහතින් පෙන්වා දී ඇති පරිදි, මෙවැනි විනිශ්චයක් ලැබුණු පමණින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ නෛතික අයිතිය ලැබෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය කරන තවත් කොන්දේසි කිහිපයක් තිබේ. ඒවා මෙසේ ය.

මුලින්ම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයකට දැනට පැමිණ සිටින විපක්ෂයේ සියලු පාර්ශ්ව (සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රස් සහ වතු කම්කරු පක්ෂ ආදිය) අතරේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ සම්මුතියක් ඇති කරගත යුතුව තිබේ. ඒ අනුව, ඒ සියලු පක්ෂ ඊළඟ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාව එක සේ අවධාරණය කළ යුතු අතර එම කාරණය තමන්ගේ මැතිවරණ වේදිකාවට රැගෙන යමින් ඒ සම්බන්ධයෙන් ඡන්දදායකයා සබුද්ධික කළ යුතුය. මොවුන් සියල්ලන් දැනටමත් ඒ සම්බන්ධ ප්‍රතිපත්තිමය එකඟතාවක සිටින බැවින් එය අසීරු කටයුත්තක් නොවේ.

දෙවැනුව, මේ සියලු පක්ෂ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට යා යුතුය. මන්ද යත්, ඉහත කී ජනමත විචාරණය කැඳවිය හැක්කේ ඔහුට පමණක් වන බැවිනි. ඉතිං, ඒ සඳහා ඔහුගේ අනුමැතිය ලබාගත යුතුව තිබේ. මේ වෙනුවෙන්, ඔහු සමග අතරමැද සම්මුතීන්ට එළැඹීම එහිදී අනිවාර්ය විය හැකිය. උදාහරණයක් වශයෙන්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කාර්යයට ඔහු එකඟ වනු ඇත්තේ, ඔහුගේ ඉතිරි කාලය (ඊළඟ මාර්තුවේ සිට ගත්තොත්, වසර එකහමාරක්) තුළ ඇතැම් බලතල තමන් අතේ තබාගැනීමට හැකි වන එකඟතාවක් ඇතොත් පමණක් විය හැකිය. උදාහරණයක් වශයෙන්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එකඟත්වය ලබාගැනීම සඳහා අමාත්‍යංශ තුනක් ඔහුගේ කාලයට පමණක් බලපැවැත්වෙන ආකාරයෙන් ඔහුගේ යටතේ ඉතිරි කිරීමට සිදු විය. ඒ ආකාරයෙන්, ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි කෙටි කාලය සඳහා පමණක් බලපැවැත්වෙන සේ ඇතැම් බලතල (උදා. රාජ්‍ය ආරක්ෂාව) ඔහු යටතේ ඉතිරි කිරීමට සිදු විය හැකිය.

තෙවැනුව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂ ජනමතය මේ මහමැතිවරණය තුළ ජයග්‍රහණය කළ යුතුව තිබේ. අප කලින් කී, අද වන විට මේ මතයේ සිටින විපක්ෂ කණ්ඩායම් සියල්ල, තනි සාමූහිකයක් වශයෙන් ගත් කල, ඊළඟ මහ මැතිවරණය ජයග්‍රහණය කරයි නම්, ජනමත විචාරණයට ඉදිරිපත් කෙරෙන ඔවුන්ගේ අනිත් අදහසත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කෙරෙනු ඇත.

ඒ ජනවරමට යටත්ව, (උපකල්පිත මාර්තුවේ) අලුතෙන් බලයට පත්වන ආණ්ඩුවක් යටතේ, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිය. එවැන්නක්, තුනෙන් දෙකක බලයක් සහිතව සම්මත කරගැනීමේ විශාල ඉඩකඩක් එදාට (ඉහත කී ජයග්‍රහණය ඔස්සේ) ලැබෙනු ඇත. ඊට අමතරව, ජනාධිපතිවරයාගේ අනුමැතියත් ඇති නිසා, අලුත් පාර්ලිමේන්තුවට තේරී පත්වන ඔහුගේ කඳවුරේ යම් සහායකුත් ඊට ලැබෙනු ඇත. 19 වැනි සංශෝධනය සම්මත කරගැනීමේදී, මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් ඒ තත්වය අපි අත්දුටුවෙමු.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය

ඊළඟ අදියර වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයට යාමයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබාගැනීමෙන් පසුව ජනමත විචාරණයකුත් අවශ්‍ය බව අපේ ව්‍යවස්ථාවේ ප්‍රකාශිතව කියැවී නැත. එහෙත් වෙනත් විධිවිධාන සහ ව්‍යවස්ථාමය මූලධර්ම ඔස්සේ සලකා බලමින්, එවැනි ජනමත විචාරණයක් අවශ්‍ය බවට නිගමනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ සාමාන්‍ය ස්වභාවයයි. දැන්, (ඊළඟ මාර්තුවේ) අලුත් පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනෙන සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්චය සභාවක් කැඳවිය යුතුව තිබේ. මේ පූර්ණ විනිශ්චය සභාව, ඊට කලින් (උපකල්පිත මාර්තුවේදී) පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ සඳහා වන ජනතාවගේ කැමැත්ත නිශ්චිතව ප්‍රකාශයට පත්ව ඇති හෙයින් තවත් ජනමත විචාරණයක අවශ්‍යතාවක් නැතැයි නිගමනය කිරීමට විශාල ඉඩකඩක් තිබේ. දැනටමත් ප්‍රකාශිත ජනතා අවශ්‍යතාව සහ ජනතා අභිමතය යන සාධකයට මුල්තැන දෙමින්, වාච්‍යාර්ථයෙන්ම නොව, හරයාත්මකව ව්‍යවස්ථාව නිර්වචනය කිරීමට එවිට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු වනු ඇත. එසේ වුණොත්, ඊළඟ ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන අතර, ජනාධිපති ක්‍රමයත් අහෝසි වනු ඇත.

එසේ වන එකක් නැතැයි අනිත් අතට අපි උපකල්පනය කරමු. එනම්, පුරුදු පරිදි, වාච්‍යාර්ථයෙන්ම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙළඹෙනු ඇතැයි සිතමු. ඒ අනුව, නැවත ජනමත විචාරණයක් අවශ්‍ය යැයි ඒ මගින් නියම කෙරෙනු ඇත. එය ප්‍රශ්නයක් නොවේ. මේ ක්‍රියාවලිය නොවිණි නම්, කොහොමත් 2024 දී ජනාධිපතිවරණයකට අප මුහුණදිය යුතුව තිබුණි. දැන් කිරීමට ඇත්තේ, ඒ ජනාධිපතිවරණය වෙනුවට (ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශය පරිදි) ජනමත විචාරණයක් පැවැත්වීමයි. එයින් අපට සිදුවන අමතර අලාභයක් හෝ හානියක් නැත. මේ ක්‍රමය අහෝසි කළ යුතු යැයි එක වරක් දැනටමත් (උපකල්පිත මාර්තුවේ පාර්ලිමේන්තු මැතිවරණයේදී) කියා ඇති ජනතාව, ඉන්පසු පාර්ලිමේන්තුව විසිනුත් ඒ ආකාරයෙන්ම තුනෙන් දෙකකින් මේ ක්‍රමය අහෝසි කළ යුතු යැයි සම්මත කරගෙන ඇති තත්වයක් තුළ, ඊළඟට පැවැත්වෙන ජනමත විචාරණයෙන් ඊට වෙනස් අදහසක් බලගැන්වීමට කටයුතු කරනු ඇතැයි සිතිය නොහැක.

මතු කළ හැකි ප්‍රති-ප්‍රශ්න කිහිපයක්

දැන් තව ප්‍රශ්න කිහිපයක් අප ඉදිරියේ ඉතිරි වෙයි. එකක් වන්නේ, මේ කියන යෝජනාව ප්‍රායෝගික වන්නේ නම් සහ ජනාධිපතිවරයාගේ කැමැත්තත් ඊට තිබේ නම්, දැනට තිබෙන පාර්ලිමේන්තුවෙන්ම මේ යෝජනාව සම්මත කරගෙන ජනමත විචාරණයකට නොයන්නේ මන්ද යන්නයි. එකක් වන්නේ, වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ගේ අතේ ඇති තාක් කල් වර්තමාන ජනාධිපතිවරයා එවැනි යෝජනාවකට එකඟ නොවීමයි. විජයදාස රාජපක්ෂගේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද කේඩෑරි කොට තිබීමෙන් ඒ බව පෙනේ. එහෙත්, ‘වෙරිතේ රිසර්ච්’ ආයතනයේ ඉහත සංගණයන්ට අනුව, මේ මොහොතේ ජනාධිපතිවරයාට සහ ඔහුගේ ආණ්ඩුවට රටේ ඇති අනුමැතිය සියයට 3 ක් පමණි. ඒ කාරණය මා අවධාරණය කරන්නේ, ඊළඟ මාර්තුවේ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නේ නම්, ඉහත කී ආණ්ඩු-විරෝධය එදා පාර්ලිමේන්තුව තුළ නිවැරදිව නියෝජනය කරවීමට ලැබෙන හැකියාවෙන්, වර්තමාන ජනාධිපතිවරයාගේ බලය දේශපාලනික අර්ථයකින් එදා වන විට බිංදුවට වැටී තිබේය යන කාරණය අවධාරණය කිරීමටයි. එය ඉතා වැදගත් සාධකයකි. ඉහත කී යෝජනාවට ඔහුගේ අනුමැතිය එදාට ලබාගැනීමට ඉඩ පෑදෙන්නේ ඒ අවසරයෙනි.

දෙවැනි හේතුව වන්නේ, වර්තමාන අරාජිකත්වය යටතේ, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා යොමු වීමේ හැකියාවක් නැති බවට ඉදිරිපත් කෙරෙන තර්කයයි. උපකල්පිත මාර්තුවේ අලුත් පාර්ලිමේන්තුවක් පත්කරගන්නේ නම්, ඒ කියන අරාජිකත්වයත් ඉන්පසු පහ වී තිබෙනු ඇත.

අවසාන වශයෙන්, දැනට රට පුරා දියත් වන ‘ගෝටා ගෝ හෝම්’ අරගල ක්‍රියාවලියත් මේ කාර්යය සාර්ථක කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන්නේය. මේ වන විටමත්, ඉලක්කගත වශයෙන් ගෝඨාභය රාජපක්ෂ එළවීමත්, සමස්තයක් වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් යන මාතෘකා දෙක මින් පෙර කිසි දවසක නොවූ විරූ ආකාරයෙන් ඒකාබද්ධව ඉස්මතුව ඇත්තේ, එකී අරගලයට ස්තුතිවන්ත වන්නටයි. ඒ අනුව, මාර්තු වන තෙක් නොසිට, ඊට කලින් මේ ආණ්ඩුව සහ ගෝඨාභය රාජපක්ෂ පැන්නීමේ කාර්යය සාක්ෂාත් කරගත හැකි වේවා ය යන්න මේ ලියුම්කරුගේ ප්‍රාර්ථනයයි. එය සාක්ෂාත් වුවත් නැතත්, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සමග ජනමත විචාරණයකුත් එකට පැවැත්විය යුතුය යන අදහස අවලංගු වන්නේ නැත.

ගාමිණී වියන්ගොඩ

Social Sharing
නවතම විශේෂාංග