තාත්තේ මට රටක් ඕනෑ…!

තව වසර කීපයකින් මගේ දරුවා විදේශයකට පිටත් කර හරින්නට මා සිතා සිටියා. හැකිනම් ඇයට විදේශයක පදිංචි වීමට ඉඩ සළසා දෙන්නට ද මා බලාපොරොත්තු වුණා. තවමත් ඒ අදහස වෙනස් වී නැහැ. එහෙත් ඇය කියන්නේ,

‘තාත්තෙ මට රටක් ඕනෑ.’

අධ්‍යාපනය වෙනුවෙන් විදේශ ගත වුවත්, විදේශ රටක පදිංචි වුවත් තමාගේ මව් රට අහිමි කර ගැනීමට ඇය සූදානම් නැහැ. ඇයට උවමනා කරන්නේ කවර ආකාරයේ රටක් දැයි මා දන්නවා. ගෝත්‍රික භාවයෙන්, වහල් භාවයෙන් අත් මිදුණු, දියුණු මනස් සහිත ජනතාවක් ජීවත් වෙන, ආර්ථීක ස්ථාවරත්වයක්, හො‍ඳ දේශපාලන සංස්කෘතියක් සහිත, සන්සුන් සාමකාමී රටක්. වර්ගවාදයෙන්, අන්තවාදයෙන් කුලල් කා ගන්නා රටක් තමාගේ මව් රට සේ සලකන්නට ඇය සූදානම් නැහැ.

එවන් රටක් ඇයට සාදා දෙන්නට මට යුතුකමක් තිබෙනවා. එය මගේ වගකීමක්.

රාජපක්ෂලා එලවීමෙන් මේ රටට සෞභාග්‍ය පහළ වෙතැයි අන්ධ විශ්වාසයක මා නැහැ. එහෙත් මේ රට අද පවතින ඛේදජනක තත්වයට ඇද දැමීමට කෙළින්ම වග කිව යුතු වන්නේ රාජපක්ෂ පවුලේ පාලනය බව සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට වැටහෙන කරුණක්. ඔවුන් අනාගතයේ දී කිසිදු ප්‍රගතිශීලි මතවාදයකට, අලුත් දේශපාලන සංස්කෘතියකට, දැනුවත් පරපුරකට, නැවුම් දේශපාලන ව්‍යාපෘතියකට නැගී සිටින්නට අවකාශය ලබා දෙන්නේ නැහැ. ඔවුන්ගේ ඒකායන අරමුණ ​තමාගේ සනුහරේ එකෙකු  රජ  කරවීම පමණයි. රජ්‍ය ධනය කොල්ල කා ගන්නේ ද ඒ වෙනුවෙන්.

අනාගත පරපුරට – ඔවුන් ලෝකයේ කොහේ සිටියත් – තමාගේ මව්බිම ගැන ආඩම්බරයෙන් කතා කරන්නට හැකි වන පසුබිමක් ගොඩ නගමු.

අරුණ ප්‍රේමරත්න

Social Sharing
නවතම