දුගියාට 500% කින්, ධනවතුන්ට 18% කින් විදුලිය වැඩි වෙයි..?

විදුලි බල මණ්ඩලයේ දෛනික පාඩුව පිරිමසා ගන්න යැයි කියමින් දුප්පත් ජනතාවගේ විදුලි බිල 500%කින්ද පොහොසතුන්ගේ විදුලි බිල 18%කින්ද වැඩි කිරීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ලැබේ.

මෙම විදුලි බිල වැඩි කිරීම පිළිබඳ යෝජනා ගැන අදහස් දක්වමින් පසුගිය දා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙලෙස අදහස් දක්වනු ලැබීය

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක

“ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කරලා තියෙනවා අති විශාල වැඩි කිරීමක් විදුලිබල ක්ෂේත්‍රයේ. අද විදුලි පාරිභෝගිකයෝ ලක්ෂ 75 ක් (මිලියන 7.5 ක්) පමණ විදුලි පාරිභෝගිකයන්ගෙන් මිලියන 6.5කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍ය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්.  කර්මාන්ත 72,831ක් පමණ. ප්‍රධාන මට්ටමේ හෝටල් 665 ක් තියෙනවා.  රජයේ ආයතන 10,385ක් තියෙනවා. පන්සල් පල්ලි, කෝවිල් 46,375 ක්, කඩ සාප්පු සහ පොදු දේවල් 884,000 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ ඔක්කොම ලක්ෂ 75 ක් විදුලි පාරිභෝගිකයන් ඉන්නවා. ඉන් ලක්ෂ 65 කට ආසන්න ප්‍රමාණයක් ම ඉන්නේ එදිනෙදා දෛනික නිවාසවල සහ අර්ධ නිවාසවල ඉන්න ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්.”

විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ලබාදුන්නාය කියන යෝජනාවෙන් යෝජනා කෙරෙන්නේ ඉතාම අඩුවෙන් විදුලි පරිභෝජනය කරන ඒකක 0 සිට 30 දක්වා විදුලි පරිභෝජනය කරන 13,89,000 කට ආසන්න පිරිසකගේ  විදුලි බිල 499% ගුණයකින් – ආසන්නයෙන් පස් ගුණයකින් වැඩි කරන්න කියලා.”.

“ඒකක 31 – 60 දක්වා ආසන්නයෙන් 17,00,500 (දාහත් ලක්ෂ පන්සීයකට ආසන්න ප්‍රමාණයක්) විදුලි පාරිභෝගිකයන්ගෙ විදුලි බිල 350% කින් (තුනහමාර ගුණයකින්) වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. ඒකක 60-90 විදුලි පාරිභෝගිකයන් 16,93,000 (දාසය ලක්ෂ අනූ තුන්දාහක්) පමණ පිරිස සම්බන්ධයෙන් 166% කින් විදුලි බිල වැඩි යෝජනා කරලා තියෙනවා. ඒකක 90 ට වඩා අඩු කණ්ඩායමේ තමයි අති විශාල පිරිසක් ඉන්නේ, ආසන්නයෙන් 2/3 ක් විදුලි පරිභෝගිකයෝ ඉන්නේ මේ ඒකක 90 ට වඩා අඩු පිරිස ඇතුලේ.  ගෘහස්ථ සාමාන්‍ය අගය ගත්තොත් 78% කින් වැඩි කරන්න යෝජනා කොට තිබෙනවා.  ඒකක 180 ට වඩා විදුලිය පාවිච්චි කරන අයගෙන් අය කරන්න යෝජනා කරලා තියෙන්නේ 18% ක් පමණයි.  ඒ කියන්නේ ඇති හැකි අයට ඉතා අඩුවෙනුත් නැති බැරි අයට 500%නුත් වැඩි කරන ප්‍රතිපත්තියක් තමයි දැනට යෝජනා වෙලා තිබෙන්නේ”

මේ පිළිබඳව ලංවීම උසස් නිළධාරියෙක් අයිතිය වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පවතින ආර්ථික අර්බුදය තුළ මෙම විදුලි බිල වැඩි කිරීමේ යෝජනා ඉදිරියේදී බොහෝදුරට ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි.

ඩීසල්, පෙට්‍රල්, ගෑස් මිල ඉහළ යාම සහ බස් ගාස්තු ඉහළ යාම වැනි තත්ත්වයන් තුළ විදුලි බිලත් ඉහළ ගියහොත් එය ජනතාවට විශාල ගැටලුවක් වෙනු ඇත.

Social Sharing
නවතම