“රජ කෙනෙක්ගෙ පෙණහළු දෙකවත් එයා හුස්ම ගන්න විදිහ දන්නෙ නැහැ”

‘රැජිණ’ කාන්තා පුවත්පතට තමා ලියූ අර්ධ ගවේෂණාත්මක ලිපි ඇසුරෙන් 2002 වසරේ දී පමණ ‘ජනකාන්ත මිත්‍යා මත’ යනුවෙන් කෘතියක් පල කරන ලද්දේ තිලක් සේනාසිංහ විසිනි. ජනකාන්ත මිත්‍යා මත පිළිබඳ නොදැනුවත් වීම ම සමාජ ප්‍රගමනයට ඉවහල් වන්නේ යම් සේ ද වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුන් පිළිබඳ හෝ කලා වැවේ දිය පෙන්වා මේ මගේ වස්තුවයැයි ප්‍රකාශ කරන ධාතුසේන පිය රජුන් පිළිබඳ නොදැන සිටීම ම මඩවලගේ සාර්ථකත්වය ට හේතුව විය හැකි ය.

‘ගඟ අද්දර’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නේ ‘නිර්මලා – දොස්තර සරත්’ වුවද එහි මුල් නවකතාව ලියූ ලෙටීෂියා බොතේජු ප්‍රකාශ කළේ තම කතාව තුළ ප්‍රධාන චරිත වූයේ ‘නිර්මලා – රංජිත්’ බව ය. ‘නිල් කට්රොල්’ නවකතාව ද ‘ගඟ අද්දර’ කියවූ රීතියෙන් ම සිනමාවට නැගුවහොත් ‘කාශ්‍යප’ චරිතයට විජය කුමාරණතුංගවත්,  ‘සිත්තරා’ගේ චරිතයට සනත් ගුණතිලකවත් තෝරා ගනු ඇත. නමුත් සැබෑවට ම මෙහි ප්‍රධාන චරිතය කවුරුන්ද යන්න මඩවලගෙන් අපි නොවිමසමු. මන්ද යත් ප්‍රත්‍යක්ෂව දන්නා දෙයක් නැවත නැවත ඇසීමට තරම් අප අඳ බාලයන් නොවන බැවිනි.

මහබඹාට මුහුණු දෙකකි. එනමුත් මඩවල මවන සිත්තරාට මුහුණු තුනකි. ධාතුසේන රජ අණින් ඔහුගේ බිසව උපුලී සිතුවමට නගා අතුරුදන් වන දේවදත්ත ද, කාශ්‍යප රජ බිසව ධීතිකාගේ අබිරහස් සිතුවමක් සමග මතුවන දේවමිත්ත ද, චිත්‍ර කලා කථිකාචාර්ය අමේෂ් දේවසුරේන්ද්‍ර ‍ද යන චරිත ත්‍රිත්වයෙහි සබඳතාවක් පිළිබඳව නවකතාකරු කිසි විටෙකත් පවසන්නේ නැත. නමුත් සීගිරි පර්වතය වටා ගැවසෙමින් සිටිය දී කාශ්‍යප රජුගේ රැකවලෙක් හට හසුවන දේවමිත්ත නම් සිත්තරා විසින් ධීතිකා රැජනව සියැසින් දකින්නටත් පෙර ඇඳ තිබූ අබිරහස් සිතුවමෙහි විස්තර සහ කථිකාචාර්ය අමේෂ් දේවසුරේන්ද්‍රගේ නිවසේ ප්‍රදර්ශනය කර තිබූ එකම චිත්‍රය වූ සීගිරි අප්සරා සිතුවමෙහි විස්තර අතර වන සාම්‍යය ඔබට යමක් පවසනු ඇත. කාශ්‍යප රජ අණින් සිරගත කරනු ලැබූ දේවමිත්තව රහසේ මුණගැසෙන වියපත් රජ මාතාව උපුලීගේ විස්මයාර්ථය පිරි ප්‍රශ්න කිරීම් සහ එහිලා දේවමිත්තගේ හැඟීම් ඔබට කාලයකට පෙර අතුරුදන් වූ දේවදත්ත නම් සිත්තරා සිහිපත් කරනු ඇත. මේ සියල්ලම නිරීක්ෂණය වූයේ නම් ඔබට කියවන්නට ගත් මොහොතේ සිට සැනසිල්ලේ පොත කියවන්නට නොදෙන, වරින්වර නොමඬිනා කුතුහලයෙන් පෙර පරිච්ඡේද පෙරළා නැවත කියවන්නට වැඩ සලස්වන ලේඛකයාගේ මාතාව ද සිහිපත් වනු නිසැකය.

‘සීගිරි සිතුවම්’ වනාහි පිරිමි ඇස සනසනු පිණිස තනපුඩු විදහා බිත්තියක ඇලී සිටින යුවතියන් රංචුවක් හෙවත් සරාගී සංඥාවක් ලෙස ජනගතව අවසානය. නමුත් එකී පසුබිම තුළ ම කතාවක් ගොඩනගන මොහාන් රාජ් මඩවල එහි නිරූපණය කරන ශක්තිමත් ස්‍ත්‍රීත්වය සිත්ගන්නාසුලු ය.

‘මොනාද තොපි දෙන්නගේ නම්… ?’

‘මං ධීතිකා…. අක්කණ්ඩි රාජිකා… ‘

‘කවුද ඔය රජ නම් තොපිට දැම්මේ … ?’

‘අපි …’

‘මොකක් … තොපි …. ?’

‘ඔවු… අපේ අප්පුච්චා අපිට දැම්මේ මැංචියි, පිංචියි කියල …. අපි ඒ නම්වලට ආස නැති නිසා අපිම මේ නම් දාගත්ත’

තමන්ගේ සර්ව සියලු වරප්‍රසාද පිළිකෙව් කරන කේතකී නම් ක්ෂත්‍රීය වංශික රජ බිසව හමුවේ මාපාගල කම්මල්කාර පවුලකින් පැමිණි රජ බිසව උපුලී එල්ල කරන වාග් ප්‍රහාරය ද එහි එක්තරා දිගුවකි.

‘මං අඳින ඇඳුම් අඳින්ඩ අකැමති නම්, මං කන කෑම කන්ඩ අකැමති නම්, මං කරන රූපලාවණ්‍යය කරන්ඩ අකැමති නම්, මං නිදාගන්න රජ්ජුරුවො එක්ක තොපි නිදාගන්නේ මොකටද ?’

දසක ගණනාවකට පසු ඒ උපුලීගේ ම මිණිබිරිය, එනම් කාශ්‍යප රජුගේ බාල දියණිය උප්පලවණ්ණා කුමරිය මහියංගනයෙන් පැමිණියා යැයි ස්වයං ප්‍රකාශිත සිත්තරෙක් හමුවේ තම සිතැඟි මෙසේ හෙළිකරන්නට තරම් නිර්භීත විය.

‘හැබැයි, මං කැමති නෑ ඊ ළඟ ආත්මෙට ගිහින් මං කන්‍යාවියක් විදියට මැරුණේ කියලා හිත හදාගන්ඩ…. මොකද එහෙම මැරෙන්නේ ආදරේ අසම්පූර්ණ ගෑනු…

‘කීරාළ’ යනු සර්වකාලීන සමාජ යථාර්ථයේ කැඩපතකි. ඔහු ඇතොර රකින්නට ද රාජකීය ඇසුර ලබන්නට ද වරම් ලබන්නේ සිය පුරුෂාත්මභාවය ද අහිමි කර ගනිමි. නමුත් ඒ රාජකාරිය හරහා ඔහු ලබන සාමාජයීය තත්ත්වය, ජන හරසර සහ ගරු සැලකිලි අබියස ඔහුගේ රිදුම් දෙන ආත්මය දිය යට ඔබන රබර් බෝලයක් මෙන් තාවකාලිකව අතුරුදන් වන්නේය. විටෙක ඔහු පාලකයා පිළිබඳ දරන අදහස මැකියාවෙලි ද අභිබවනසුලු ය.

‘රජ කෙනෙක්ගේ පෙණහළු දෙකවත් එයා හුස්ම ගන්න විදිය දන්නේ නැහැ’

මහාවංශය නම් පුරාතන වෙල්ලාව මතු යම් දිනෙක තමන් පිළිබඳ මවන චිත්‍රයේ ස්වභාවය පිළිබඳ දැනුවත් ව හෝ නොදැනුවත් ව ධාතුසේන රජු නගන මේ ප්‍රශ්නය සර්වකාලීන වලංගු බවකින් යුක්ත ය.

‘ඇයි උන්නාන්සෙලාට බැරි, රටේ දේශපාලනයට ඇඟිලි නොගහ ඉන්ඩ … ඇයි උන්නාන්සෙලට බැරි මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික සුබ සිද්ධිය ගැන විතරක් කටයුතු කරගෙන ඉන්ඩ … ‘

නමුත් ඔහු ඒ පැනය නගන විටත් බොහෝ සෙයින් ප්‍රමාද ය. සිවුර සහ නගුල අතර විභේදන රේඛාව පැහැදිලිව ඇඳ ගැනීමට අපොහොසත් වූ පාලකයෙක් ලෙස ධාතුසේන රජ මහා විහාරය වටා ගොඩ නැගෙන්නට ඉඩ දී තිබූ පරාක්‍රමය දසක දෙකක් යන්නට මත්තෙන් සංඝරත්නය සීමාසහිතව ඇසුරු කළ ඔහු පුතු කාශ්‍යප රජුට ද විනාශය උදා කර දුන්නේ ය.

‘නිල් කට්රොල්’ යනු මොහාන් රාජ් මඩවලගේ පරිකල්පනීය ලේඛන කලාවේ තවත් එක් සාර්ථක පියවරක් ලෙස දකිමි.

මේ සා පොතක පිදුම රාජ් සෝමදේවයන්ට නම්,  එච්.සී.පී බෙල්ට පුදන්නට බෝධි පූජා පොත් පිංචක්වත් ලියන්නට‍ යැයි යෝජනා කරමි.

– සහන් කසීර වික්‍රමසිංහ –

Social Sharing
නවතම විශේෂාංග