ආණ්ඩුවට ලැබුණු ජනතා විශ්වාසය තවදුරටත් පවත්වාගත හැකි ද?

වත්මන් ආණ්ඩුව බලයට පත් වී වසරක් පමණක් ගතවී ඇති මේ මොහොතේ, ආණ්ඩුවට එරෙහිව විරෝධය විවිධ ක්ෂේත්‍රවලින් මතු වීමට පටන් ගෙන තිබේ.
මෙම විරෝධය, පසුගිය සමයේ ශ්‍රී ලාංකිකයන් දුටු විශාල මහජන අරගලය ලෙස මතු වී නොපෙනුණත්, සමාජය තුළ ගැඹුරින් ව්‍යාප්ත වන අසතුටක් ඒ තුළ ඇති බව හඳුනාගත හැක.

මෙම විරෝධතාවල විශේෂත්වය වන්නේ, ඒවා එකම දේශපාලන පක්ෂයකින් හෝ නායකයෙකු වටා හෝ සංවිධානය වූ අරගල නොවීමයි. ඒ වෙනුවට රාජ්‍ය ප්‍රතිපත්ති හා තීරණ, ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන විවිධ ක්ෂේත්‍රවලින් විරෝධය එකින් එක මතු වීමක් ලෙස එය දක්නට ලැබේ.

කෘෂිකර්ම හා භූමි ගැටළු :

ග්‍රාමීය විරෝධයේ මූලය..

වත්මන් ආණ්ඩුවට එරෙහිව මතු වූ පළමු විරෝධතා අතරින් කිහිපයක්ම ග්‍රාමීය ප්‍රදේශවලින් වාර්තා විය. විශේෂයෙන්ම කෘෂිකර්මයට හා ගොවි ජනතාවගේ භූමියේ අයිතියට සම්බන්ධ ගැටළු මේ අතර ප්‍රධාන විය.
සංවර්ධන ව්‍යාපෘති, ආරක්ෂක කටයුතු හෝ රාජ්‍ය අවශ්‍යතා යන හේතු මත ගොවි බිම් අත්පත් කර ගැනීම, එම බිම් මත ජීවිත ගොඩනගාගෙන සිටි ජනතාව අතර දැඩි අසතුටක් ඇති කළේය. මෙම විරෝධතා බොහෝ විට දේශපාලන පක්ෂ මගින් නායකත්වය දුන් ඒවා නොව, ප්‍රජා මූලිකව (community-based) ඇති වූ අරගල වීම මෙහි විශේෂ ලක්ෂණයකි.
මෙය ආණ්ඩුවට එරෙහි විරෝධයක් වීමටත් වඩා, ග්‍රාමීය ජනතාව සමඟ ‘රාජ්‍යය’ කටයුතු කරන ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් ලෙස ද පෙනී යයි.

අධ්‍යාපන ක්ෂේත්‍රය :

මධ්‍ය පංතියේ විරෝධය…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතු වූ විරෝධය, වත්මන් ආණ්ඩුවට දේශපාලන වශයෙන් වැදගත් අභියෝගයක් බවට පත්ව ඇත. නව විෂය නිර්දේශ, විශේෂයෙන්ම පාසල් පද්ධතියට හදිසි ලෙස හඳුන්වා දීමට උත්සාහ කළ වෙනස්කම්, ගුරුවරුන්, අධ්‍යාපන වෘත්තීයවේදීන් සහ දෙමාපියන් අතර දැඩි විරෝධයක් ඇති කළේය.
මෙම විරෝධතා විශාල ප්‍රචණ්ඩ අරගල ලෙස නොව, වාඩි ලා ගැනීම්, නිවේදන, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වශයෙන් පැවැත්විණි. එහෙත්, අධ්‍යාපනය සම්බන්ධ ගැටළු මධ්‍යම පංතිය සෘජුව සම්බන්ධ වන බැවින්, මෙම විරෝධය ආණ්ඩුවට තිබූ සමාජ විශ්වාසයට සෘජු බලපෑමක් කළ බව පැහැදිලිය.
අවසානයේදී, රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිහිපයක් ක්‍රියාත්මක කිරීම කල්දැමීමට තීරණය කළේ, මෙම විරෝධයේ බලය අවතක්සේරු කළ නොහැකි බව පෙන්වමින් ය.

ආර්ථික ප්‍රතිපත්ති හා IMF බලපෑම…

ආර්ථික ක්ෂේත්‍රයේ විරෝධය බොහෝ විට විශාල උද්ඝෝෂණ ලෙස නොපෙනුණත්, එය සමාජය තුළ ගැඹුරු ලෙස පැතිරුණු අසතුටක් ලෙස දක්නට ඇත. බදු වැඩි කිරීම, රාජ්‍ය වියදම් සීමා කිරීම සහ IMF වැඩසටහනට අනුගත වීම යන කරුණු මෙහි මූලික හේතු වෙයි.
පරණ ආණ්ඩු IMF නියෝග ක්‍රියාත්මක කළ ආකාරයට වෙනස්ව, නව ආණ්ඩුව වෙනත් මාර්ගයක් ගන්නවා ඇතැයි යන අපේක්ෂාවෙන් ආණ්ඩුවට සහය දැක්වූ පිරිස් අතරින්ම, “අවසානයේ වෙනස කොතැනද?” යන ප්‍රශ්නය මතුවීම මෙම විරෝධයේ විශේෂත්වයයි.
මෙය ඝෝෂාකාරී විරෝධයක් නොව, නිහඬව ගොඩනගාගත් අසතුටකි. එය බොහෝ විට අනාගත දේශපාලන හැරවුම් සඳහා වූ වැදගත් සංඥාවක් විය හැක.

මානව හිමිකම් සහ රාජ්‍ය ප්‍රතිචාර…

විරෝධතා අවස්ථාවල පොලීසිය හා ආරක්ෂක අංශ ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන්ද විවේචන මතු විය. අත්අඩංගුවට ගැනීම්, විරෝධතා සීමා කිරීම සහ නීතිමය පියවර, “අලුත් ආණ්ඩුවක් කියා තිබුණත් රාජ්‍යයේ හැසිරීම ඇත්තටම වෙනස්ද?” යන ප්‍රශ්නය නැවත මතු කළේය.
මෙය විශේෂයෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන්, නීතිවේදීන් සහ සිවිල් සමාජය තුළ සංවාදයට ලක් වූ කරුණක් විය.

දූෂිත රාජ්‍ය නිලධාරී මාෆියාව රැකීම….

රාජ්‍ය මුදල් වැරදි ලෙස භාවිතා කිරීමේ චෝදනා මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනීම, ශෂීන්ද්‍ර රාජපක්ෂ වංචා චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද, යනාදී දේශපාලකයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම වැනි පියවරයන් පිලිබඳව ජනතා ප්‍රසාදයක් ඇති විය.
එහෙත් වත්මන් ආණ්ඩුව පැරණි දූෂිත රාජ්‍ය නිලධාරී මාෆියාව පරාජය කිරීමට සමත්වනු ඇතැයි යන බලවත් සමාජ අපේක්ෂාව ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක ලෙස ඉටුකිරීමට තවමත් සමත් වී නැත.
ඇතැම් රාජ්‍ය ආයතන වලට වත්මන් ආණ්ඩුව විසින් පත් කළ ප්‍රධානීන්ම, දූෂිත රාජ්‍ය නිලධාරී මාෆියාව ආරක්ෂා කරමින් සිටින අතර, එවැනි ආයතන ප්‍රධානීන්ව ආරක්ෂා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩලයේ සිටින ලේකම්වරුන් ද ක්‍රියා කරන තැනට පත්ව ඇත. මේවා ගැන කිසිදු සොයා බැලීමක් ඇතැම් ඇමැතිවරු විසින් නො කිරීම ද බරපතල සමාජ අසතුට ට හේතු වී ඇත.
මෙවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුව පත් කර ගැනීමට විශාල දායකත්වයක් සැපයූ වූ රාජ්‍ය නිලධාරීන් ද මේ වන විට දැඩි කලකිරීමට පත් වී ඇත.

විරෝධයද ?, විශ්වාස පරීක්ෂාවද?

වත්මන් ආණ්ඩුවට එරෙහිව මතු වී ඇති විරෝධතා, එකම අරගලයක් ලෙස නොව, විවිධ ක්ෂේත්‍රවලින් එකින් එක මතු වන සමාජ අසතුටක් ලෙස දැකිය හැක.
කෘෂිකර්මය, අධ්‍යාපනය, ආර්ථිකය, මානව හිමිකම් සහ රාජ්‍ය නිලධාරීන් යන ක්ෂේත්‍ර හරහා මෙම විරෝධය පැතිරෙමින් පවතී.
මෙම විරෝධය වහාම ආණ්ඩුව පෙරළා දැමීමට වූ අරගලයක් නොවිය හැක. එහෙත්, එය ආණ්ඩුවට සැනසිල්ලක් ගෙන දෙන තත්ත්වයක් ලෙස නොව, වඩාත් අනතුරුදායක සංඥාවක් ලෙස කියවා ගත යුතු මොහොතක් බව වටහා ගත යුතුය.
මන්ද යත්, අද ශ්‍රී ලංකා සමාජය තුළ දක්නට ලැබෙන්නේ විරෝධයක් නොව, විශ්වාසය මැලවී යාමකි.
මේ මොහොත, වත්මන් ආණ්ඩුවට ලැබූ ජනතා විශ්වාසය තවදුරටත් පවත්වාගත හැකිද යන්න පරීක්ෂා කරන අතිශය වැදගත් අදියරක් බව පැහැදිලිය.

බිඳ වැටෙන විශ්වාසය….

අද ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ විශාල අරගලයක් නොව, විශ්වාසය සෙමින් දියවෙන ක්‍රියාවලියකි. මෙවැනි තත්ත්වයක් ඉතිහාසයට අනුව පරීක්ෂා කළ විට අපට නිගමනය කළ හැක්කේ, මෙය වත්මන් දේශපාලනයට ලැබිය හැකි වඩාත්ම අනතුරුදායක අවස්ථාව බවය.
ජනතාව කෑගසන විට ආණ්ඩුවට සවන් දිය හැක. නමුත් ජනතාව නිහඬ වූ විට සිදු වන්නේ කුමක්ද යන්න හඳුනා ගත නොහැකි වනු ඇත. එය බොහෝ විට ඡන්ද පෙට්ටිය අසලදී පමණක් කතා කිරීමට ජනතාව ගන්නා තීරණයක් විය හැක.
මේ අනුව වත්මන් ආණ්ඩුවට තෝරා ගැනීම් දෙකක් ඇත. ජනතා හඬට කන් දී ජනතාව සමඟ සංවාදයට යෑම ඉන් එකකි. අනෙක වන්නේ, නෑසූකන්ව ජනතා විශ්වාසය බිඳ වැටීම දෙස නිහඬව බලා සිටීම ය.

සටහන සුනිල් ගාමිණී ජයලත්ගේ

Social Sharing
පුවත්