
“Namal, he is no longer with us”, අද පාන්දර 3.10ට අනෝමා ගේ දුක්බර හඬින් ලැබුනු දුරකථන ඇමතුමෙන්, මාගේ ඉතාම සමීප සහ හොඳම මිතුරන් කිහිපදෙනාගෙන් එක් අයෙකු වූ ඉක්බාල් අතාස් සිය දිවි ගමන නිමා කළ බව දැනගන්නට ලැබිණ. ජිවත්ව සිටියදී ඉක්බාල්ව මට අවසන් වරට හමුවුයේ නුගේගොඩ විජේරාම පන්සල් අසල පිහිටි නිවසට ඊයේ සවස ඔහුගේ සුවදුක් බැලීමට මා ගිය අවස්ථාවේදීය. ඒ වනවිට ඔහුගේ ජිවිතයේ අවසන් පැය කිහිපය ගෙවෙමින් තිබෙන බව මට පසක් වුයේ, බිරිඳ අනෝමා සහ දියණිය ජැස්මින් විසින් මාස ගනනාවක් පුරා ඔහු ජිවත් කරවීමට දැරූ ඉතා වෙහෙසකර සහ දැඩි උත්සහය ව්‍යර්ථ කරවමිනි. මියයන විට ඉක්බාල් 81 වැනි වියේ පසුවිය . ඔහුට වඩා මගේ පියා වැඩිමහල් වන්නේ වසර දෙකකට පමණි. තිස් වසරකට වඩා වැඩි වයස් පරතරයක් තිබියදී පවා, පරම්පරා දෙකක් නියෝජනය කළ අප දෙදෙනා අතර ගතවු වසර 28 ක් කාලයක් පුරා ඉතා සමීප මෙන්ම ශක්තිමත් මිත්‍රත්වයක් පැවැති අතර අපගේ පවුල් අතර බැඳීමද එලෙසම වූ ශක්තිමත් සබඳතාවයකි.
“ඉක්බාල් අතාස්” යන නම, ජනමාධ්‍ය ක්ෂේත්‍රයට එක්වන තුරුම මා අසා තිබු නමක් නොවීය.භාෂා දැනුමේ තිබූ සීමාසහිතකම් නිසා ඒ අවදියේ මා ඉංග්‍රීසි මාධ්‍ය පරිහරණය කිරීම අවම වීම ඊට හේතුව විය හැකිය. එම නම මුල්වරට මට අසන්නට ලැබුනේ 1997 වසරේ පමණ කොළඹ මහජන බැංකු ශ්‍රවණාගාරයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වර්තමානයේ පවත්වන කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡා එම වකවානුවේ පැවතුනේ කොළඹ D R විජේවර්ධන මාවතේ පිහිටි මහජන බැංකු ශ්‍රවනාගාරයේය. සන්ඩේ ටයිම්ස් පුවත්පතේ යුධ පුවත් විශ්ලේෂකයාට, ඉක්බාල් අතාස් මහතාට තර්ජනය කිරීමේ සිද්ධියක් පිළිබඳව එහිදී මාධ්‍යවේදීන් විසින් එවකට කැබිනට් ප්‍රකාශක වු ඇමති මංගල සමරවීර සහ ඊට සහභාගී වූ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගෙන් විමසනු ලැබිණ. ඒ මා ඔහු ගැන ඇසූ පළමු වතාවයි. මට එයින් මනසේ තැන්පත් වුයේ ඒ නම පමණි. “ඉක්බාල් අතාස්” ලස්සන නමක්! එපමණකි. අද මෙන් අන්තර්ජාලය සුලබ නොවූ, සමාජ මාධ්‍ය යනුවෙන් දෙයක් නොතිබු ඒ යුගයේ ඔහු පිලිබඳව වැඩිමනත් තොරතුරු සෙවීමට කිසිදු උනන්දුවක් එදා මට ඇතිවුයේ ද නැත.
අප දෙදෙනා ප්‍රථම වතාවට හමුවුයේ එයින් වසරකට පමණ පසුව ඔහුගේ නිවසේ දීය. ඒ ඊට පෙර දින රාත්‍රියේ ඔහුගේ නිවසට කඩා වැදුණු ආයුධ සම්බන්ධ මැර කල්ලියක් විසින් ඔහුට, බිරිඳට සහ එවකට යාන්තම් වසර 8ක් පමණ වූ ඔහුගේ එකම දියණියට ගිනි අවි එල්ල කර මරණ තර්ජනය කර තිබූ සිද්ධියක් සම්බන්ධයෙන් එවකට මා සේවය කළ TNL රූපවාහිනී සේවයට තොරතුරු වාර්තා කිරීමට මා එහි ගිය විටදීය. මා හමුවන විට ඔහු සිටියේ අමුත්තෙකු සමගිනි. ඒ හිටපු යුධ හමුදාපතිවරයෙකු වු ජෙනරාල් තිස්ස (බුල්) වීරතුංගය. ඒ දසුන දුටු මට සිතුනේ මා මේ හමුවීමට ආ තැනැත්තා සුළුපටු අයෙකු නොවන බවයි. යාන්තම් වසර දෙකක පමණ අත්දැකීම් සහිත අංකුර මාධ්‍යවේදියෙකු වූ මට හිතුනේ කවදා හෝ දවසක මා ද මේ සා ඉහළපෙළේ සබඳතා ගොඩනගා ගත යුතු බවයි. ඒ ඔහු නිසා මා සිතේ ඇතිවුන පළමු අභිප්‍රේරණයයි (inspiration). රාජකාරි පදනමින් කෙටි කතා බහක් සහ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් නිසා එදා ඇරඹුනු අපගේ මිත්‍රත්වය අද පාන්දර ඔහු අප අතරින් වෙන්ව යන තුරුම නොනැසී පැවතුණි.
ඉක්බාල් ඉපදී හැදී වැඩුනේ අලුත්ගම දර්ගා නගරය කේන්ද්‍රගතවය. ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස ඇරඹී ඔහුගේ මාධ්‍ය ජිවිතය වසර පනහකටත් වඩා වැඩි තරම් අතිශය දීර්ඝ වූ චාරිකාවකි. මා ඔහු හඳුනාගන්නා අවදියේ හෙතෙම Sunday Times පුවත්පතේ යුධ පුවත් වාර්තාකරු සහ විශ්ලේෂකයා ලෙස කටයුතු කරමින් සිටියේය. Situation Report by Iqbal Athas ලෙස ඔහු ඉදිරිපත් කළ ආරක්ෂක කොලම ඊටම ආවේනික සුවිශේෂී වැදගත්කමක් සහ අනන්‍යතාවයක් සහිත සවිස්තරාත්මක වාර්තාවක් විය. ඊට අමතරව Jungle Telegraph නම් වු නිර්නාමික ඕපාදූප තීරුවක් ද ඔහු විසින් පුවත්පතේ පලකළ අතර, නීතිමය සහ ආචාරධාර්මික හේතූමත සවිස්තරාත්මක ලෙස කෙලින්ම කීමට දුෂ්කර නමුත් මහජන අවකාශයේ සාකච්ඡාවට බඳුන් විය යුතු දෑ හෙලි කිරීම එහි අරමුණ විය.
පසුකාලීනව ටයිම්ස් පුවත්පතේ දේශපාලන තීරු ලිපියේ රචකයා ලෙස ද (විශේෂයෙන් යුද්ධය අවසන් වීමෙන් පසුව), ඉක්බාල් කටයුතු කළ නමුත් ඔහුගේ දෙස් විදෙස් පතල ජනමාධ්‍ය කීර්තිනාමයේ වැඩිමනත් දායකත්වයක් උපයා දුන්නේ ඔහුටම ආවේනික ශෛලියකින් ඉදිරිපත් කළ ආරක්ෂක තත්ත්ව විශ්ලේෂණයයි. වෙනත් පුවත්පත්වල ආරක්ෂක විශ්ලේෂණ ලිපි අතරින් ඔහු ප්‍රිය කරන්නේ කාගේ ලිපි දැයි මම වරක් ඔහුගෙන් විමසූවෙමි. ” මම සිරිතක් විදිහට අනෙක් ආරක්ෂක තොරතුරු වාර්තා කොලම් කියවන්නේ නැහැ. මොකද, මට මම දන්න නිවැරදි කරුණු ගැන විශ්වාසයි. අනෙක් ලිපි කියෙව්වාම මට, මම දන්න දේ වුනත් අවුල් වෙන්න පුළුවන්. මට මගේ thought process ( සිතුවිලි ධාරාව) එක වෙනස් කරගන්න ඕන නැහැ”. ඔහු ඉතා නිවැරදිව කියූ පරිද්දෙන්ම යුධ බිමේ මෙන්ම සතිපතා පැවැත්වෙන ජාතික ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවන්හි අන්තර්ගතයද ලබා ගත හැකි මට්ටමේ බහුවිධ තොරතුරු මුලාශ්‍ර රාශියක් ඔහු සතු විය. ඉංග්‍රීසි, දෙමල සහ සිංහල යන භාෂා තුනම කතා කළ හැකිවීම ඔහුගේ තොරතුරු ජාලය පුළුල් කළ තවත් හේතුවකි.
ස්වකීය මුලාශ්‍රවල ආරක්ෂාව මෙන්ම තමන්ගේ ආරක්ෂාව ගැන ඔහු තරම් සැලකිලිමත් වූ වෙනත් ජනමාධ්‍යවේදියකු ඇති දැයි සැක සහිතය. ජංගම දුරකථන කිහිපයක් භාවිත කිරීම ඉන් එක් විශේෂිතවයකි. ඉන් සමහර අංක භාවිතා කලේ වෙන් වෙන් වශයෙන් එක් එක් මුලාශ්‍ර සමග කතාබහ කිරීමට පමණි. ආරක්ෂක අංශ මෙන්ම රාජ්‍ය ඔත්තු සේවාවල හැකියාවන් සහ සීමාවන් ගැන තිබූ ගැඹුරු අවබෝධය තවත් පැත්තකි. වරින්වර මතුවූ ජීවිත තර්ජන මැද පවා ස්වකීය ජන මාධ්‍ය භූමිකාව ස්වාධීනව කරගෙන යෑමට මේ අවබෝධය ඔහුට බෙහෙවින් මහෝපකාරි විය.
විවිධ තර්ජනවලින් බේරී ජනමාධ්‍යකරණයේ දිගටම නිරතවීම ගැන රටේ සෙසු ජනමාධ්‍යවේදීන්ට ආදර්ශයට ගත හැකි චරිත දෙකක් වූයේ අද නැසීගිය ඉක්බාල් අතාස් සහ පසුගිය වසරේ අප අතරින් වියෝවූ රාවය කර්තෘ වික්ටර් අයිවන්ය. ඔවුන් දෙදෙනාම සෑම විටම තර්ජන පිළිබඳ ව නිවැරදි තක්සේරුවෙන් යුතු වූවෝ වූ අතර එවැනි තර්ජන වලින් මිදීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික වැඩපිළිවෙළ අනුගමනය කිරීමට කිසිසේත්ම මැලි නොවීය. වඩාත් විශේෂත්වය වන්නේ ඔවුන් දෙදෙනාම තර්ජනවලට බියෙන් ස්වකීය වාර්තාකරණය අකුලාගත් අය නොවීමයි. එමෙන්ම සිය ජනමාධ්‍ය ජිවිත කාලය පුරාම ගවේෂණාත්මක වාර්තාකරණය හරහා නිර්භයව සත්‍ය එළිදරව් කළ අය වීමයි. කුප්‍රකට මිග් යානා ගනුදෙනුව, ශ්‍රි ලංකා රජය මුදල් ගෙවූ මෝටර් බෝම්බ 32,000ක් එල්ටීටීඊය අතට පත්වීම සහ කොටි සංවිධානයේ ටොසී ඔත්තු සේවාවේ තුන්වැනි ප්‍රධානියාගේ අතුරුදහන් වීම මුල්වරට සොයාගෙන වාර්තා කිරීම ඉන් සමහරකි. ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් පරිදි යුධ හමුදා කමාන්ඩෝ කණ්ඩායමක විසිහතර පැය පුරා වන ආරක්ෂාවක් ඉක්බාල්ට ලබාදීමට පියවර ගැනුනේ එවන් බරපතල හෙලිදරව් කිරීම් නිසා සිදුවූ ජිවිත තර්ජන නිසාය. එසේ නමුත් ඒ ආරක්ෂාව එක මොහොතකින් ඉවත් කෙරුනේ තනිකරම දේශපාලන පිළිගැනීමක ප්‍රතිපලයක් ලෙසිනි. නමුත් ඒ වෙනුවෙන් සිය ස්වාධීනභාවය කැප නොකර තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයාගැනීමට තරම් කොන්දක් ඔහුට තිබීම පැසසිය යුතුය. ඊට අවශ්‍ය ශක්තිය ඔහුට සිය පුවත්පත් කළමනාකාරීත්වයෙන් හිමිවීම ද විශේෂත්වයකි.
යුධ වාර්තාකරුවෙකු ලෙස ඔහුගේ කැපිපෙනුනු භුමිකාව ඉතා වැදගත්ය. ඔහුගේ විශ්ලේෂණයේ විශේෂත්වය වූයේ යුද බිමේ කටයුතු පුළුල් සන්දර්භයක් තුළ තබා වාර්තා කිරීමයි. ඔහුගේ වාර්තාකරණය සියලු දෙනා සතුටු කරන්නක් නොවීය. රටේ සමහරක් සිතා සිටින්නේ යුද බිමට ගොස් යුද්ධයේ සිද්ධ වන සිදුවීම් පෙළ පමණක් යුද වාර්තාකරණයට සෑහෙන බවයි. එක්තරා කෝණයකින් බැලූ කළ එහි බැලූ බැල්මට ඇත්තක් ද තිබේ. එහෙත් යුද්ධය යනු සටන් බිමට පමණක් සීමා වූ දෙයක් නොවේ. සටන්බිමේ සිදුවන දේ ගැන එහි සිටින වාර්තාකරුවාට විශේෂඥ දැනුමක් ලැබෙන බව ඇත්තකි. නමුත් ක්ෂුද්‍ර චිත්‍රය ගැන ඇතිවන ඒ විශේෂඥතාවය මහා චිත්‍රය තුල ද ඇති කර ගන්නට නම් සෙසු අංශ සහ පැති ගැනද තුලනාත්මකව සහ විශ්ලේෂණාත්මකව බැලිය යුතුය. සටන්බිමේ ඇතිවන තත්ත්වයට සාපේක්ෂව දේශපාලන ලෝකයේ සිදුවන වෙනස්කම්, රාජ්‍යතාන්ත්‍රික බලපෑම් සහ ඒ නිසා සිදුවන සමාජ ආර්ථික බලපෑම් ආදිය සලකා පුළුල් විග්‍රහයක යෙදීම ඉක්බාල් ගේ සාමාන්‍ය ක්‍රමය විය. සෙසු ජනමාධ්‍යවේදීන් අභිබවා ජාත්‍යන්තරය පිළිගත් කීර්තිමත් ජනමාධ්‍යවේදියෙකු ට බවට පත්වීමට ඔහුට හැකි වුයේ ඒ නිසාවෙනි. දේශීය වාර්තාකරණයට අමතරව මිය යන තෙක්ම CNN රූපවාහිනි සේවාවේ කොළඹ වාර්තාකරු ලෙසත් Jane’s Defence Weeklyහි ශ්‍රී ලංකා වාර්තාකරු ලෙසත් ඔහු කටයුතු කළේය. එමෙන්ම අන්තර්ජාතික මට්ටමේ ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියකු ලෙසද ඔහුට පැතිරුණු පිලිගැනීමක් ලැබී තිබුනේ දෙස් විදෙස් මාධ්‍ය වෙත සිදුකල ඉහළපෙළේ ගුණාත්මක වාර්තාකරණය නිසාය.
ජනමාධ්‍යවේදී භූමිකාවෙන් ඔබ්බට ඉක්බාල් දයාබර ස්වාමිපුරුෂයෙක් මෙන්ම ඔහුගේ එකම දියණියට ආදරණීය පියෙක්ද විය. මිත්‍ර සංග්‍රහයේදී ඉක්බාල් ගේ සත්කාරකත්වය සහ ත්‍යාගශීලීබව අසමසම විය. කිසිදු වෙනස්කමක් නොසලකා ඔහු සියලු දෙනාට නිර්ලෝභීව සංග්‍රහ කළේ එයින් මහත් තෘප්තියයක් ලබමිනි. බෙහෙවින් පතපොත කියවූ ඔහු සතුව පුද්ගලික පුස්තකාලයක් තිබිණ. ශ්‍රී ලංකාව තුල මෙන්ම ලෝක දේශපාලනය සහ ප්‍රවණතා ගැන නිතර අධ්‍යයනය කළ හෙතෙම ලෝක මට්ටමේ ජනමාධ්‍යවේදියකු ලෙස අවිවාදයෙන් හැදින්විය හැකිය. ප්‍රතාපවත් පෙනුමකින් යුතු ඉක්බාල් තැනට සුදුසු සහ ගැලපෙන අන්දමට ඇඳුම් ඇන්දේය. ජනමාධ්‍යවේදියෙකු නම් නිසි පරිදි ඇඳ පැලඳ සිටීම නොකල යුත්තක් යැයි අදහන, එය මෝස්තරයක් ලෙස ගන්නා අයට, ඉක්බාල් ජනමාධ්‍යවේදියකු ලෙස සිය වටිනාකම සහ පිලිගැනීම ඉහල නංවා ගන්නා හැටි පෙන්වූ සජිවී නිදසුනකි. සිය අදීන බව නිතර පවත්වාගත් හෙතෙම ජනමාධ්‍ය වටිනාකම් ඉහලින්ම රැකීමට උත්සහ ගත්තේ ඊට සම්භාවනීය, ඉහළ. වෘත්තීයමය තත්වයක් ලබා දෙමිනි.
2008 වසරේදී පහර දීමකට සහ පැහැරගැනීමේ ප්‍රයත්නයකින් ගැලවී මා විදේශගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණ කටයුතු කරන්නට යෙදුනු අවස්ථාවේ දී සිය ජීවිතයට ඇති තර්ජන නොතකා ඉක්බාල් මාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පෞද්ගලිකවම කැපවිය. එය මිතුරකු වෙනුවෙන් ලබාදුන් සහයකට අමතරව පොදුවේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ඔවුන්ගේ අයිතීන් වෙනුවෙනුත් වූ ඔහුගේ කැපවීම පෙන්නුම් කරන්නකි.
ඉක්බාල් ගේ වියෝව ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සිදුවු පාඩුවකට අමතරව ඔහුගේ මිතුරු කවයට සහ පෞද්ගලිකව මා හට මෙන්ම අප පවුලට ද සිදුවු බලවත් පාඩුවකි. සැබෑ මිතුරන් සුලබ නොවන, තරගකාරීත්වයට මාධ්‍ය වටිනාකම් ගෙවී යන යුගයක, ඉක්බාල්ගේ නික්ම යෑම පිරවිය නොහැකි හිඩැසකි.
සටහන නාමල් දමයන්ත පෙරේරා
