රිසාඩ් බදූර්දීන් ගේ නිවස, එහි මෙහෙකාරිය, බදූර්දීන් ගේ බිරිඳ, බිරිඳගේ පියා ආදිය ගැන කතා ඕසෙට අහමින් ඊයේ රෑ ලයිව් ඇට් එයිට් බලනකොට මට නූරිය මතක් උනා. අනික් පැත්තෙන් මැදපෙරදිග ගෘහ සේවයට ගිහිං ඇවිත් තමන්ගේ අත්දැකීම් කියන ගැහැනුන් මතක් උනා. ඊටත් අමතරව බොහෝ කාලෙකට කළින් රාජපක්ෂ ලොකු අයියා ආණ්ඩු කරන කාලේ රිසාඩ් ලා අල්ලාගත්තා යැයි කියන තලෙයිමන්නාරමේ වැලිපිරුණු ඉඩම් ගැන සොයන්නට ඒ බිමට ගිය අතීතය මතක් උනා. ඉතිං ඒ මතක ඇවිලිල්ල නිසා මේ කතාව මෙහෙම ලියනවා.
මම රාවයට ඇවිත් වැඩි කාලයක් නෑ නුරියේ පාතාල නායකයා නැතිනම් අතකොටා නූරි වතු අධිකාරීවරයා (නිහාල් පෙරේරා) ඝාතනය කරනකොට.. මේ ඝාතනයත් සමග අතකොටාගේ පාතාල රාජ්‍ය ගැන තොරතුරු එලියට ආවා. මාත් මේ සිදුවීම එක්ක නිතරම දැරණියගල නූරියට යමින් එමින් රාවයට ලිපි මාලාවක් ලීවා. ඒක තමයි මම රාවයට ඇවිත් එවැනි ආකාරයක ලිපි මාලාවක් ලියපු ප්‍රථම අවස්ථාව. මට මතක විදිහට.
මම එක සතියක එහි යනකොට එස්ටීඑෆ් කඳවුරු බැඳගෙන. ඒ වතු අධිකාරිවරයාගේ නිවසේ. මම ගිහිං එහි ලොක්කා මුණගැහුනා. මිනිහා හරි හොඳ මනුස්සයෙක්. අපි පැය දෙකක් විතර කතා කරන්න ඇති. වතු කාන්තාවන් සාමුහිකව දූෂණය කරපු කතා බොහෝමයක් තමයි එස්ටීඑෆ් ලොක්කා කීවේ. ඒවා හරිම පිළිකුල් සහගතයි. ඒ කතා කියලා මිනිහා කියනවා. ‘මෙහෙම කතා තිබුණට මේවා අධිකරණයක් ඉස්සරහට ගිහිං ඔප්පුකරන්න හරි අමාරුයි’ කියලා. ඊටපස්සේ මම මේ කතා හොයාගෙන සති කිහිපයක් මේ වත්තේ කරක් ගැහුවා. අතකොටාගේ වධකාගාරය කියලා නාමකරණය කරපු ගරාවැටෙමින් තිබුණ අඳුරු ගොඩනැගිල්ලකට ගියා.. අතකොටාගෙන් සහ ඔහුගෙන් හිංසනයට, දූෂණයට ලක්වුණ බොහෝ කාන්තාවෝ එක්ක කතා කළා. ඔවුන් බොහෝ දෙනෙක් කාලයක් හිත අස්සේ සඟවගෙන දුක් විඳි අතීතය නැවත වමාරමින් හිටියා. මෙහෙම දේවල් වෙන්න පුලුවන් ද? ඒ කතා අහනකොට මට හිතුනා. ඒවා ඒ තරම් අඳුරුයි. බියකරුයි. හොලිවුඩ් ෆිල්ම් වගේ කතා ගොන්නක් ඇහුවා. සමහර කතා මම පත්තරේට ලීවා.
තමන්ගේ දුවව හිංසනයට ලක්කළ අතකොටාගේ සහචරයෙක් ගැන ඒ දුවගේ අම්මා හිත කම්පාකරවන කතා ගොඩක් කීවා. යෝනියට මෝල්ගසක් බස්සවමින් එයින් සතුටු වුණ කතාවකුත් ඒ අතර තිබුණා. ඇය දෙමළ මවක්. තේ වත්තටම සින්න උන ජීවිතය දෑතේ සටහන් වෙලා තිබුණා. අතකොටා කියලා කියන්නේ පොල් කඩන පිහියෙන් ඈත ඉඳලා බෙලි කපපු ඒවට අනුබල දුන්න මිනිහෙක්. නූරිවතුයායේ තේ ආදායම බලහත්කාරයෙන් ගන්න ගමන් මහාපරිමාණයෙන් කසිප්පු ජාවාරම කරපු මිනිහෙක්. මහින්ද රාජපක්ෂ ලෝලියෙක් අනුගාමිකයෙක් සහචරයෙක් වුණ මේ අතකොටා නැතිනම් අනිල් චම්පික විජේසිංහ දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති කෙනෙක් විදිහටත් ජනතා ඡන්දයෙන් තේරෙනවා. නූරි වතු අධිකාරීවරයා මොහු සහ කණ්ඩායම අතින් ඝාතනය නොවන්නට මේ පුද්ගලයා තවමත් යහතින්. මේ ඝාතකයාට නැතිනම් නූරි පාතාල රාජ්‍යයේ රජ්ජුරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක උනේ මේ ඝාතනය නිසා. ඒත් මේ ඝාතනයන් සමග එළියට ආපු මේ දූෂණ, ලිංගික වධහිංසාවලට විරුද්ධව යුක්තිය ඉටු උනාද? නෑ.. ඒවා අතීතයේ කුණු බක්කියට ගියා විතරයි. මේ ගැහැනු තවත් ඒ අතීතය නිසා දුක් විඳිනවාට සැක නෑ. සමහර කාන්තාවන්ට මතක වධයෙන් ගැලවෙන්න ගිනි තියාගන්නට හිතෙනවා ඇති..!
එක දවසක් නූරියට යනකොට පොලීසිය ටෙන්ට් එකක් ගහලා අතකොටාට විරුද්ධ පැමිණිලි සහ දූෂණ ලිංගික වධහිංසා ගැන කරුණු එකතු කරනවා. එතන ඒ වෙලාවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ (ඔහු එවක නියෝජ්‍ය පොලිස්පති දැයි මතක නැහැ) සමග මම කතාකරනකොට ඔහු කීවේ මේ එකතුකරන කතා ඔස්සේ ඉදිරියේදී පරීක්ෂණ මෙහෙයවෙනවා කියලා. ඉතිං මිනිස්සු ගැහැනු පෝලිමේ ඇවිත් තමන්ගේ දුක කිව්වා. තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කළා. හැබැයි උන කිසිම දෙයක් නෑ. පස්සේ මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගැන බොහෝ තිරය පිටුපස කතා අපිට අසන්නට ලැබෙනවා. යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුට පැනයාමට උදව් කිරීම, පේ‍්‍රමලාල් ජයසේකරගේ නම බී වාර්තාවට ඇතුළත් නොකරන ලෙස බලපෑම් කිරීම (කහවත්තේ ශාන්ත දොඩංගොඩ ඝාතන සිද්ධියට අදාළව) ආදී බොහෝ චෝදනා මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ට විරුද්ධව නැඟෙනවා. මේක තමයි ලංකාවේ අපරාධවලට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය. පොලීසිය වගේම දේශපාලන ලොක්කොත් එක හැලියේ හිඳ තමයි මෙවැනි වෙලාවල්වලට වැඩ කරන්නේ.
ඉතිං මෙහෙම තත්ත්වයක් තියෙද්දී රිසාඩ්ගේ ගෙදර වධකාගාරයට නීතිය ක්‍රියාත්මක වෙයිද? රිසාඩ් ගේ පක්ෂයේ හැවෝම දැන් ඉන්නේ බැසිල් රාජපක්ෂ එක්ක. 20 වැනි සංශෝධනය සම්මත වුණේ රිසාඩ්ගේ අනුග්‍රහයෙන්. ගම්මන්පිළට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග යෝජනාවටත් ඔවුන් ඡන්දය දුන්නේ විරුද්ධව. මෙවැනි තත්ත්වයක් අස්සේ ආයිත් මේ පෙන්වන්නේ විල්පත්තු නාටකයම වෙනස් ස්රූපයකට ද? එදා මුලින්ම රිසාඩ්ට විල්පත්තුව කපලා ගෙවල් හදන්න අනුග්‍රහය දුන්නේ බැසිල් රාජපක්ෂ. ඒ පැරණි මිතුරුකම් එක්ක දැන් ඔවුන් අලුත් ගමනක් යන බව පේනවා. මේ තත්ත්වය අස්සේ මේ ලිංගික අපයෝජනයට නීතිය ක්‍රියාත්මක වේවිද? ප්‍රශ්නාර්ථයක්. නීතියක් නොමැති රටක අපරාධයක් කියලා දෙයක් නෑ. ඒක තමයි තිත්ත ඇත්ත.
-කේ. සංජීව-