උරුතිරපුරම් ශිවන් කෝවිලේ කැණීම් කරනවාට විරුද්ධ ඇයි? – සිවාජිලංගම් හෙළි කරයි!

කිලිනොච්චිය, උරුතිරපුරම් ප්‍රදේශයේ පිහිටා තිබෙන ශිවන් කෝවිල පිහිටි ස්ථානය සම්බන්ධයෙන් මේ වන විට ඇත්තේ යම් මතභේදාත්මක තත්ත්වයකි. ඒ කෝවිල පිහිටි ස්ථානයේ පැරණි බෞද්ධ නටබුන් ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීම නිසාය.

LTTE ත්‍රස්ත ගහණය පැවති සමයේ පවා මෙම ස්ථානයේ ඉපැරණි බෞද්ධ නටබුන් ඇති බව පැවසුණි. නමුත් එකල ඒවා කැණිම් කිරීමක් සිදු වුයේ නැත. නමුත් මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සුදානමින් සිටින්නේ මෙහි කැනීම් කිරිමටය.

නමුත් මෙයට උතුරේ දේශපාලඥයින් විරුද්ධ වී සිටියි. මේ සම්බන්ධව අප දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජීලිංගම් මහතාගෙන් විමසා සිටියෙමු.

එහිදී ඔහු කියා සිටියේ මෙවැන්නකි.

මේ රටට නිදහස ලැබිලා දැන් අවුරුදු 75 ක්. මේ අවුරුදු 75 පුරාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සොයා නොබැලු දෙයක් දැන් එකපාරටම බලන්නේ ඇයි කියන ගැටලුව අපිට තියෙනවා. අඩුම වශයෙන් යුද්දේ ඉවර වු පසුවවත් ඔවුන් මේ ගැන සොයා බැලුවේ නැහැ. එහෙනම් ඇයි මේ දැන් එන්නේ? දෙමළ ජනතාව මෙය දකින්නේ ඔවුන්ව ආක්‍රමණය කිරීමක් ලෙසයි.

බෞද්ධයෝ කියන්නේ සිංහලටම විතරක් නෙමේ. දෙමළ බෞද්ධයොත් ඉන්නවා. ඒ බව අප පිලිගත යුතුයි. LTTE සමයේ යාපනයේ, කන්දරෝයි ප්‍රදේශයේ තිබු චෛත්‍ය නටබුන් අදටත් නිරුපද්‍රිතව තියෙනවා. ඒවා විනාශ කළ යුතු බව ඔවුන් සිතුවනම් දවසෙන් දෙකෙන් ඒවා ඩෝසර් කරලා දාන්න තිබුණා. නමුත් එහෙම කළේ නැහැ. ඒ දෙමළ බොෟද්ධයෝ හිටපු නිසා.

උතුරු නැගෙනහිර හැම යුද හමුදා ස්ථානයකම බුදු පිලිම වන්දනාවට තබා තිබුණත් අපි දැකලා නැහැ ඔවුන් අනෙක් ආගම් වල රූප වන්දනාවට තබා තිබෙනවා. යුද හමුදාවේ ඉන්නේ බෞද්ධයෝ විතරක් නෙමෙයිනේ. ඇයි එහෙම කරන්නේ කියන ගැටළුව අපිට තියෙනවා.

මේ රටේ බහුතරය බෞද්ධ නිසා ඔවුන්ට ප්‍රමුඛත්වය ලබා දෙනවට අපි විරුද්ධ නැහැ. නමුත් අනිත් අයටත් ඒ ප්‍රමුඛත්වය සමානව ලබා දිය යුතුයි. එක්කෙනෙකුට විතරක් උසස් පුටුවක් දෙනවටයි අපි විරුද්ධ.

-ශානි-

Social Sharing
නවතම