“හදිසි මරණ පරීක්ෂක මුස්ලිම්” තනතුරු ගෙන ආවේ යහපාලන රජය – අධිකරණ අමාත්‍යාංශය

මුස්ලිම් ජනගහනය 5000 දෙනකුට හෝ ඊට වඩා වැඩි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා අදාළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට බලපැවැත්වෙන පරිදි හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්)  යනුවෙන් නව තනතුරක් ඇති කර තිබෙන බව පහුගියදා මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.

ඒ අනුව දිවයිනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) ලෙස තනතුරක් ඇතිවනු ඇති බවත් අධිකරණ අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද නව හදිසි මරණ පරීක්ෂකවරුන් පිළිබඳ ස්ථාවර කාර්යය සංග‍්‍රහයේ මේ බව සඳහන් කර තිබෙන බවත් එම පුවත් වල වැඩිදුරටත්  සඳහන් කර තිබුණි.

නමුත් අධිකරණ අමාත්‍යාංශය මේ සම්බන්ධව කියා සිටින්නේ හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ පුරප්පාඩු පිරවීමට අයදුම්පත් කැදවීම සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මතයක් ප්‍රචාරය කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බව පෙනී ගොස් ඇති බවය.

අලුතින් හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) තනතුරක් ඇති කිරීමට සුදානමක් පවතින බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් පුරප්පාඩු වී ඇති හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් හෝ වෙනත් නියෝගයක් වර්තමාන අධිකරණ අමාත්‍යවරයා විසින් නිකුත් කොට නොමැති බවද කියා සිටියි.

සිදු කර  ඇත්තේ දැනට ස්ථාපිත කර ඇති තනතුරුවල පුරප්පාඩු ඇති වන අවස්ථාවලදී මෙතෙක් පැවති සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ අයදුම්පත් කැදවා පුරප්පාඩු පිරවීමේ සාමාන්‍ය ක්‍රියාවලියක් පමණක්  යැයි අවධාරණය කරයි.

අධිකරණ අමාත්‍යාංශය  2018 වර්ෂයේදී හදිසි මරණ පරීක්ෂවරුන්ගේ කාර්යභාරය වඩා කාර්යක්ෂම කිරීම සදහා එවකට සිටි අධිකරණ අමාත්‍යවරිය විසින් අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු යටතේ පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශය අනුව විවිධ ගැටලු හදුනා ගෙන පැය 24 ක කාලයක් තුළදී මුස්ලිම් ජනතාවගේ භුමදාන කටයුතු සිදු කළ යුතු බැවින්  මරණ පරීක්ෂකවරුන් කාර්යාල කාල සීමාවන් තුළදී පමණක් රාජකාරී කිරීම හේතුවෙන් ගැටලු මතුවන බව 2018 වර්ෂයේ දී පත් කරන ලද එම කමිටුවේ නිර්දේශයන් අතර වු බවත්  ඒ අනුව 2018 වර්ෂයේ දී පත් කරන ලද එම කමිටුව විසින් යෝජනා කර තිබුණේ බහු වාර්ගික ප්‍රාදේශීය බල ප්‍රදේශ 88 ක්  සදහා බහුජන වර්ග නියෝජනය වන පරිදි හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීම  යෝග්‍ය බවය.

ඒ අනුව දැනට ස්ථාපිත කර ඇති තනතුරුවල පුරප්පාඩු ඇතිවන අවස්ථාවලදී  මෙතෙක් පැවති සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ පුරප්පාඩු පිරවීම හැර කිසිදු තනතුරක් අලුතින් ඇති කිරීම හෝ ඒ සදහා නියෝගයක් නිකුත් කිරීමට වර්තමාන අධිකරණ අමාත්‍යවරයා විසින් පියවර ගෙන නොමැති බව ඉතා වගකීමෙන් අවධාරණය කර සිටින බවද අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.

-ශානි-

Social Sharing
නවතම