ගෝඨාභයට වඩා මතවාදය වැදගත් – ජනාධිපති කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමඟ පිළිසඳර  17 වැනි වැඩසටහන ඊයේ  (03) උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීය. ඒ වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දීය. මෙය උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන “ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනය.

මෙහිදී ජනාධිපතිවරයා ජනතාවට කියා සිටියේ ඔහු වැඩ කරන විට වැරදි අල්ලාගෙන දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල වල බවය. විශේෂයෙන්ම වියත් මඟ සම්බන්ධවද සුදු වෑන් ගැනද කථා කළේය.

සුදු වෑන්, කිඹුල්ලුන්ට කන්න දෙන කථා, මිනිස්සු උස්සන් ගිහිල්ලා මාළු ටැංකියට දාලා මෝරුන්ට කන්න දෙන කථා කියලා දැන් පරිසරය අල්ලගෙන බොරු ප්‍රචාර  සිදු වෙන බව පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙහිදී ජනාධිපතිවරයා පොල්තෙල් ගැනද කථා කළේය. ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ කියා සිටියේය.

“මම කටු පොල් වගාව තහනම් කළා. විශාල විරෝධයක් තිබුණා පරිසරය, ජල මූලාශ්‍ර හිඳිලා කියලා. අපේ පොල් තෙල් තමයි හොඳ. පහුගිය කාලවල්වල අපේ පොල්ගසුත් කැපුවා. අපිට පිටරටින් පොල් තෙල් ගෙන්නන්නට සිද්ධ වුණා. එක එක ව්‍යාපාරිකයෝ තමයි මේවා ගෙන්නන්නේ. හැබැයි මේවා හරි ප්‍රමිතියක් තියෙනවා ද කියලා බලන්න රජයේ ආයතන තියෙනවා. ඒවා ඇල්ලුවාම රජයට බනිනවා වස විස තියෙන පොල් තෙල් ගේනවා කියලා.”

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය කරන්න එක හේතුවක් වුණේ එතනෝල්. දැන් අපි එතනෝල් සම්පූර්ණයෙන්ම නැවැත්වුවා. හැබැයි හොරෙන් ගේනවා. ඒවා අල්ලන්න ඕනේ. කුඩු හොරෙන් ගේනවා. කුඩු අල්ලනකොට කියනවා ඔන්න දැන් කුඩු එනවලු.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු මෙසේද පැවසුවේය.

“පවුල් 800කට විතර ගොවිතැන් කරන්නට ඉඩම් නෑ කියලා කිව්වා. ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒවා කඩිනමින් ලබාදෙන්න තමයි ජනාධිපතිවරයා වශයෙන් මේ පැත්තට එන්නේ. දැන් මම මේ ඉඩම් ලබා දෙන්න කිව්වොත් හෙට ඉඳලා ගහයි මම කැළෑ කපන්න කිව්වා කියලා. සමහර වෙලාවට වනරක්ෂණයේ ඉන්න නිලධාරීන්ට පවා මේවා තේරෙන්නේ නෑ. ඒගොල්ලෝ වනරක්ෂණ වැඩ විතරයි. අනෙක් පැත්ත බලන්නේ නෑ. අපි වගේ එක්කෙනෙක් ආවාම මාධ්‍යත් පහර ගහනවා හෝ ගාලා.”

“රජයේ අනෙක් ප්‍රතිපත්තිය තමයි දූෂණය නවත්වන එක. අපේම ජනතාවනේ මේවා කරන්නේ. ඒ අය අතර ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනේ.”

“දැන් වියත්මගටත් බයිනවා. වෘත්තිකයන්ටත් බයිනවා. ඒ අයට වැඩ කරන්න බෑ. ජනතාව සහ නිලධාරීන් එක්ක වැඩ කරන්න දන්නෑ කියලා විශාල චෝදනා. දැන් මම තීරණය කළා ඒ අය ක්‍රමයෙන් මාරු කරන්න. මාරු කරනකොට ඔන්න එනවා මට ලියුම් හොඳ නිලධාරියෙක් ඇයි මේ මාරු කරන්නේ කියලා. හැබැයි ඉන්නකම් බනිනවා .”

“මේ රජයට මට විරුද්ධව සංවිධානාත්මකව මේ බොරු මත ගෙනියනවා. මම හැම තිස්සෙම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි වැදගත්. මාව මේ තැනට ගෙනාපු මතවාදය, ඒ බලවේගය. ඒක තමයි අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේවට විරුද්ධව තමයි බොරු ප්‍රචාර ගෙනියන්නේ. මම ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් තමයි මම කරගෙන යන්නේ.”

-ශානි-

Social Sharing
නවතම