සිරකරුවෝ මනුෂ්‍යයෝද?

මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් එක් සිරකරුවෙකු මිය ගිය පුවත 29 වැනි දින බිම් කළුවර වැටෙන විට සමාජ ගත වීය. හෝරා  කිහිපයකට පසු තවත් රැදවියන් සිවු දෙනෙකු ගේ මෘත ශරීර රාගම ශික්ෂණ රෝහලේ තැන්පත් කොට තිබුණි. තුවාල කරුවන් 24 දෙනෙකු එම රෝහලේම ප්‍රථිකාර ලබන බවටද තොරතුරු ලැබිණි. තත්වය බරපතල බව සමාජයට වැටහිනි.

30 වැනි දින අළුයම් කාලයේදී ගැටුමෙන් 06 දෙනෙකු මිය ගොස් ඇති බවත් 37 දෙනෙකු තුවාල ලබා ඇති බවත් සදහන් විය.තුවාල කරුවන් අතර බන්ධනාගාර නිළධාරීන් දෙදෙනෙකු ද සිටින බව සදහන්ය. රැදවියන් හය දෙනෙකු මිය යාමත් තුවාල කරුවන් අතරින් බන්ධනාගාර නිළධාරීන් දෙදෙනෙකු පමණක් වීමත් ගැන සළකා බැලීමේදී වැටහෙන්නේ බන්ධනාගාර නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය මුදා හැර තිබූ ප්‍රහාරයේ දරුණු  කමයි.

බෝගම්බර, වැලිකඩ, මහර හා මීගමුව යන බන්ධනාගාරවල සිරකරුවන් ගේ විරෝධතා පසු ගිය සති කිහිපය පුරා උත්සන්න වූ අතර ඊට අඟුණකොළපෑල්ස්ස බන්ධනාගාරයේ රැදවියන්ද එක් වූයේ පසු ගිය 23 වැනි දා සිටය. සමස්ථ බන්ධනාගාර වල සිරකරුවන් ගේ ඉල්ලීම් සළකා බලන කොට එම ඉල්ලීම් වගකියව යුතු රජයකට නොසලකා සිටිය හැකි තරමේ ඒවා නොවීය.

බන්ධනාගාර තුළ මෑත කාලීන විරෝධතා ඇති වූයේ කොවිඩ් වෛරසය කේන්ද්‍රකර ගනිමින්ය.මේ වන විට  බන්ධනාගාර සිරකරුවන් දහසකට වැඩි පිරිසකට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවට සෞඛ්‍ය අංශ පවසයි. කොවිඩ් ආසාධිතයින් පිළිබදව රජයේ ගණන් හිලවු පිළිබදව මේ වන විට සමාජය තුළ පවතින්නේද සැකයකි. ඒ අනුව බලන කළ බන්ධනාගාරය තුළ සැලකිය යුතු ප්‍රමාණයක ආසාධිතයින් සිටිය හැකිය.

බන්ධනාගාරය තුළට කොවිඩ් වෛරසය රිංගුවේ සිරකරුවන්ගේ වරදින් නොවන බව පැහැදිලිය. ඊට බන්ධනාගාර දෙපාර්තමේන්තුව වග කිව යුතුය. බිත්ති හතරකට කොටු කොට සිටින මනුෂ්‍යයින්ට වෛරසයක් ආසාධනය වීම එක් අතකින් සිරකරුවන්ගේ  මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි.

ගැටුම උත්සන්න වූ මහර බන්ධනාගාරය තුළ  සිර කරුවන් 183 දෙනෙකු ට කොවිඩ් ආසාධනය වී ඇති බවට ඉකුත් 29 දින තහවරු වූ බව සමහර මාධ්‍ය වාර්තා වල සදහන් වේ. එම අසාධිතයින් සිටින්නේද සාමාන්‍ය සිරකරුවන් සමඟ බව එම මාධ්‍ය වාර්තා තව දුරටත් පවසයි. එම තොරතුරු සත්‍ය නම් තත්වය ඉතා බැරෑරුම්ය. බන්ධනාගාර කොඩිඩ් පොකුර කොහෙන් කෙළවර වේදැයි දන්නේ කවුරුන්ද?

මහර බන්ධනාගාරයේ සිරකරුවන්ගේ ප්‍රධානම ඉල්ලීම වී තිබුනේ කොඩිඩ් ආසාධිතයින් සාමාන්‍ය සිරකරුවන්ගෙන් වෙන කොට තබන ලෙසයි. මහර පමණක් නොව අනෙකුත් බන්ධනාගාර වල විරෝධතා කරුවන්ගේ ප්‍රධානම ඉල්ලීම වූයේ ද කොවිඩ් වසංගතයෙන් සිරකරුවන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් ඇල් මැරුණු ක්‍රියා මාර්ග ගන්නා බවට සිරකරුවන්ගෙන් චෝදනාවක් තිබේ.

අගුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් පසු ගියදා අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත රැගෙන යනු ලැබුවේ පී.සී.ආර්. පරීක්ෂණ සදහාය. අඟුණකොළපෑල්ස්ස බන්ධනාගාරයට රැගෙන ආ රැදවියන් සමඟ අඟුණකොලපෑල්ස්ස බන්ධනාගාරයේ සිටි රැදවියන්ද පී.සී.ආර්. පරීක්ෂණ සදහා රැගෙන ගොස් තිබුනේ එකම බස් රථයකිනි. එය බන්ධනාගාර නිළධාරීන් ගේ නොසැළකිල්ලේ තරම කියා පාන්නකි.

බන්ධනාගාර වල පවතින විරෝධතාවයන් ගේ තවත් ප්‍රධාන ඉල්ලීමක් වන්නේ සිරකරුවන් විසින් ගොනුකොට ඇති අභියාචනා නඩු සම්බන්ධයෙන් වූ විභාග ඉක්මන් කරන ලෙසයි. මෙය ඉතාමත්ම සාධාරණ ඉල්ලීමක් වන්නේ සමහර අභියාචනා නඩු වසර 10 ට වැඩි ලෙස කල්ගත වෙමින් තිබෙන නිසාය. ඒ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කොට ඇති වාර්තාවකින්ද අවධාරණය කොට තිබේ. බන්ධනාගාර ආඥා පනත අනුව අභියාචනා නඩුවක් ගොනු කොට ඇති සිරකරුවෙකු විසින් ගෙවා දමනු ලබන කාලය ගණනය කරන්නේ නැති වීම යුක්ති සහගත නොවේ.

අභියාචනයේදී එම තීන්දුවම ලැබුණහොත් සිරකරුවා බන්ධනාගාර ගතව සිටි කාලය ගණනය නොකොට අභියාචනා තීන්දුවෙන් පසුව මුල සිටම සිර දඩුවම් විඳින්නට එම රැදවියාට සිදුවේ.  දීර්ඝ කාලයක් තිස්සේ සිර මැදිරියේ කල් ගෙවමින් අභියාචනා තීන්දු ලැබෙන තෙක් සිටින රැදවියන්ට මෙය බලවත් අසාධාරණයකි.

මේ රටේ බොහෝ සිරකරුවන්ගේ අභියාචනා නඩු කටයුතු දිගින් දිගට ඇදෙමින් තිබෙද්දී හිටපු ජනාධිපති ලේකම් ලලිත් චන්ද්‍රකුමාර වීරතුංගට හා විදුලි සංදේශන නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂක පැල්පිට කෝරලාගේ  අනූෂ පැල්පිට යන මහත්වරුන් ට ලැබුණු  අභියාචනා නඩු තීන්දුව පිළිබදව සමාජ ගතවී ඇත්තේ එතරම් ප්‍රසාදයක් නොවේ.

රට තුළ යුක්තිය පසිදවෙන බවට ජනතාව තුළ විශ්වාසයක් තිබිය යුතු වුවද අද එම විශ්වාසය තහවුරු වෙන බවක් පෙනෙන්නට නැත. මේ සටහන ලියන මොහොත වන විට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ලවූ අධිකරණ ක්‍රියා මාර්ගයකින් ඔහුට තිබූ  චෝදනා වලින් නිදොස් කොට නිදහස් වූ  ප්‍රවෘත්තියක්ද  හදිසි ප්‍රවෘතිතයක් ලෙස මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබීය.

ලලිත් වීරතුංග අනූෂ පැලපිට නඩු තීන්දුවෙන් පසු බන්ධනාගාර වල සිටින සිරකරුවන් ප්‍රකෝප වූ බවක් පෙනෙන්නට තිබූ අතර ඔවුන් ඒ සමඟම තමන් ගේ අභියාචනා නඩු ඉක්මන් කරන ලෙසට ප්‍රබල ඉල්ලීමක්ද කරනු ලැබීය. ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් ගේ අධිකරණ ක්‍රියාමාර්ග ඉක්මන් වෙන බවක් මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ගේ අධිකරණ ක්‍රියාමාර්ග ඇදී යන බවක් මේ වන විට පෙනෙන්නට තිබේ. එයින් වඩා පීඩා විදින පිරිස වන්නේ බන්ධනාගාර රැදවියන් මෙන්ම ඔවුන් ගේ පවුල් වල අයයි. මෙම සමාජ බෙදීම බන්ධනාගාර කැරලි වලට ආසන්නම හේතුව වී තිබේ.

ජනතා නීතිඥයෝ සංවිධානය පසු ගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඇති වී තිබෙන මෙම තත්වය විවේචනයට ලක් කරනු ලැබීය. එහිදී අදහස් දැක්වූ නීතිඥ සේනක පෙරේරා පැවසුවේ නීතියේ පාලනයට මේ වන විට තර්ජනයක් එල්ල වෙමින් පවතින බවයි. නීතියේ පාලනයට යටත් වූ කිහිප දෙනෙකුම මහ මඟදී ඝාතනය කරනු ලැබුවා. බන්ධනාගාර ක්ෂේත්‍රය ගත්තම මරණ දඩුවම ලබාපු සමහර අය නිදහස් වෙන  කොට සමහර අය අභියාචනා නඩු දමල අවුරුදු පහලොව විස්ස බලන් ඉන්නවා. ඔවුන්ට කිසිම සහනයක් ලැබෙන්නේ නෑ.

නීතිඥ මනීෂ චන්ද්‍රසේන පවසන්නේ අනූෂ පැල්පිටල බැසිල් රාජපක්ෂල ජනක බන්ඩාරල නිදහස් වෙනවා. අපි මේව අධිකරණ ක්ෂේත්‍රයේ වරදක් විධියට දකින්නේ නෑ. නමුත් යුක්තිය ඉටුවුණාට මදි. එය ඉටුවෙනව කියල මේ රටේ මිනිස්සුන්ට පෙනෙන්නට තිබෙන්න ඕනෑ.

හොදට බලන්න මේ නිදහස් වෙන්නේ කවුද කියල. වලිගයක් තිබුණා නම් ඒ වලිගය හොදට වනපු අය නිදහස් වෙනවා. නීතිඥ චූලා අධිකාරී පවසන්නේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් පුබුදු ජාගොඩ පවසන්නේ  රාජපක්ෂ  හිතවතුන් අධිකරණ ක්ෂේත්‍රය ආක්‍රමණය කරමින් සිටිනා බවයි. හිටපු ශ්‍රේඨාධිකරණ විනිසුරු ඊවා වන සුන්දර දේශය පුවත් පතට පවසා තිබුනා ඇය කොහොමද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වුනේ කියලා. ඇය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිනිය කරල. රට තුළ පවතින නීතියේ ආධිපත්‍යය බිදීම පිළිබදව අපි දේශපාලනික වශයෙන් මැදිහත්  වෙනවා. යැයි පුබුදු ජාගොඩ පවසන්නේය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේෂ් නන්දිමාල් පවසන්නේ මේ වන විට බන්ධනාගාරය තුළ සුපිරි සිරකරුවන් පිරිසක් ඉන්නා බවයි. ඔවුන් නිළධාරීන් ගේ කාමර වල ඉන්නවා. ඔවුනුත් යම් වරදක් කරල බන්ධනාගාර ගත වී සිටින අය . ඒ අයට විශේෂ කොට සැළකීම නොකළ යුක්තක්. මේ බෙදීම බන්ධනාගාර තුළ ප්‍රබලව තිබෙනවා. මෙම ගැටුම් වලට එය ප්‍රබල සාධකයක් බවට පත්ව තිබෙනවා.

30 වැනි දින දහවල් වෙන විට මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය බන්ධනාගාර රැදවියන්ගේ ගණන 08 ක් බවට පත්ව තිබුණි. බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණයේ මූලික වගකීම පවතින්නේ ආණ්ඩුවටය. එම වගකීමෙන් මිදීම ප්‍රශ්න වලට උත්තරයක් නොවේ.

ඝාතනය කැරලි වලට පිළිතුර නම් 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේදී ඝාතනය වූ රැදවියන් 27 දෙනාගෙන් පසුව බන්ධනාගාර තුළ ගැටුම් අවසන් විය යුතුව තිබුණි. එසේ නොවීය. කලුපැල්ලම් ආණ්ඩුවේ ගිණුමට බැර කිරීමෙන් සිදු වන්නේ ආණ්ඩුවේ ආයුෂ කෙටි වීම පමණි.

චන්ද්‍රසේන ගමගේ

2020.11.30

 

Social Sharing
නවතම විශේෂාංග