කොවිඩ් වසංගතය හමුවේ FTZ සේවකයින් කබලෙන් ලිපට

කෝවිඩ් වසංගතය සමගම ලොව පුරා සිටින ජනතාව දැඩි පීඩනයන්ට මුහුණ දෙමින් සිටී.  වසංගතයෙන් ආරක්ෂාවීම, තම ප්‍රියයන් අහිමිවීම්, ආදායම් මාර්ග හෝ රැකියා අහිමිවීම් නිසා පැවැත්ම පිළිබදව ගැටලු වැනි කාරණා නිසා දැඩි මානසික හා ශාරීරික ආතතීන් සමග ජීවත් වීමට බොහෝ දෙනෙකුට සිදුව තිබේ. මේ අතර තම රැකියා කටයුතු මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුලු බොහෝ කටයුතු තම නිවසේ සිටම කරන්නට වීමේ අභියෝගයෙන්ද පිඩා විදිමින් සිටිති.

ඊට අමතරව සිය රට තුල පවත්නා නීති පද්ධතීන්  තුළ හා ඒ ඒ රජයන් විසින් පනවනු ලබන නව නීති හා රෙගුලාසින් වලට අනුකුලව කටයුතු කිරීමේ හා එනයින්ම සිය අයිතිවාසිකම් කප්පාදුවකට ලක්වීමේ අභියෝගයටද මුහුණ දෙමින් සිටින්නේය.

මෙම ගෝලීය වසංගත තත්වය විසින්  සේව්‍ය-සේවක සම්බන්ධතාවය මත පදනම් වූ වැඩ ලෝකය තුලද පෙර නොවූ විරූ  අර්බුදයක් නිර්මාණය කර ඇත. ලෝක කම්කරු සංවිධානය දක්වන්නේ 2020 වසරේ දෙවන කාර්තුවේදී වැඩ කරන පැය ගණනේ අඩුවීම නිසා මිලියන 305 ක පමණ පුර්ණ  කාලීන රැකියා අහිමි වන බවයි.

ගෝලීය ශ්‍රම බලකායෙන් 68% ක් සිටින්නේ ව්‍යාපාර වසා දැමීම අනිවාර්ය බවට නිර්දේශ කරන ලද රටවල් තුල වන අතර ඉන් සේවායෝජක ප්‍රතිශතය 81% ක් තරම් ඉහල අගයක් ගනී. අවිධිමත් ආර්ථිකය තුල සම්පූර්ණ වශයෙන් බිලියන 1.6 ක සේවකයන් මේ වන විට සිය ආදායම් මාර්ග අහිමි වීමේ අනතුරට ලක්වී ඇත.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 දෙවන රැල්ලෙන් මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් ෆැෂන් වෙයා කම්හලේ කම්කරුවන් සිය ගනනක් ආසාදනය වී ඇති බව පරීක්ෂනවලින් අනාවරනය වීමෙන් අනතුරුව කොලඹ දිස්ත්‍රික්කයට යාබදව පිහිටි මෙම ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට රජය විසින් ඇඳිරි නීතිය හා ප්‍රදේශ අගුලු දැමීම් පැනවීය.

පලමු කොවිඩ් රැල්ලේදී, ආන්ඩුව මාර්තු 20 වන දින දීර්ඝ කාලයක් කල් පමාවී අගුලු දැමීමක් පැනවූ අතර, සෑම රටකම ආන්ඩු විසින් ක්‍රියාත්මක කරන ලද කුරිරු “ආපසු වැඩට යාමේ” ප්‍රතිපත්තිවලට අනුකූලව, ආන්ඩුව අප්‍රේල් අගදී ආර්ථිකය නැවත විවෘත කරන ලෙස නියෝග කලේය. වෘත්තීය සමිතිවල පූර්න සහාය ඇතිව ගත් තීරනයක දී, කම්කරුවන් මහා පරිමානයෙන් නෙරපා හැරීමට මග පාදමින් අවශ්‍ය අවම කම්කරුවන් සංඛ්‍යාව ආපසු කැඳවීමට ආන්ඩුව සමාගම්වලට ඉඩ දුන්නේය.

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කොවිඩ් ආසාදිතයින් පිළිබදව සංඛ්‍යා ලේඛන එලිමහනට ආවේ ඔක්තෝබර් මස මුලදී වන අතර, ඒය ඊට කිලෝමීටර් 12 ක් ඈතින් පිහිටි බ්‍රැන්ඩික්ස් කම්හලේ සිය ගනනක් සිදුවීම් අනාවරනය වීමෙන් අනතුරුවයි. ඔකායා ලංකා කම්හල මාර්තු මස අගුලු දැමීමට පෙර පුද්ගලයින් 1000 කට වැඩි සංඛ්‍යාවක් සේවයේ යොදවා තිබූ නමුත් එය නැවත විවෘත කරන විට කලමනාකාරිත්වය සිය ගනනක් රැකියා කපා හැරියේ ය. ස්මාර්ට් ෂර්ට් සමාගම කර්මාන්ත ශාලාව නැවත විවෘත කරන විට සේවකයින් 1,700 ක් පමන නෙරපා හැර එහි ශ්‍රම බලකාය සේවකයින් 300 දක්වා අඩු කලේ ය.

නිදහස් වෙලඳ කලාපයේ ඔකායා ලංකා කම්කරුවන් නොවැම්බර් 18 වෙනිදා සිට විරෝධතා උද්ඝෝෂනයක් ආරම්භ කලේ කොරෝනා වසංගතය නිසා ආයතනය පාඩු ලබන බව පවසා, වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 700 දක්වා පාලකයන් විසින් කප්පාදු  කරනු ලැබීමට එරෙහිවය.

නොවැම්බර් 18 වෙනිදා කලුපටි පැලඳගෙන වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ කම්කරුවෝ, පසුදින සිට  කලුපටි පැලඳගෙන, සීමිත පැය ගනනක් පමනක් වැඩ කලහ. නොවැම්බර් 27 වෙනිදා  අලුයම 5.00-6.00 අතර සාමාන්‍ය පරිදි ආයතනයේ බස් රථවලින් කම්හල වෙත ගමන් කරමින් සිටි කම්කරුවන්ව කටුනායක නිදහස් වෙළඳ කලාපයට පිවිසුම් දොරටුව අසල දී බලහත්කාරයෙන් බස්සවා පාලකයින්ගේ යෝජනාව වන රුපියල් 700 යේ වාර්ෂික වැටුප් වර්ධකයට එකඟ කම්කරුවන් පමනක් පොතක අත්සන් කර ඇතුලට යන ලෙසත් අනෙක් අයට ආපසු  යන ලෙසත්  කම්හල් පරිපාලන නිලධාරීන් තර්ජනය කර ඇත.

සියලුම කම්කරුවන් එයට විරෝධය පලකරමින් කම්හල් පරිපාලන නිලධාරීන්ගේ අණ නොතකා කම්හල වෙත ගොස් තිබේ. පාලකයන් කම්හලේ  ගේට්ටුවට අගුලු දමා වසා තිබු අතර කම්කරුවන් බිය ගැන්වීම සඳහා  සන්නද්ධ පොලිස් නිලධාරීන් කම්හල අවට යොදවා තිබුනි. ගේට්ටුව වෙත පැමිනි කම්හලේ මානව සම්පත් අංශයේ නිලධාරීන් “ඔයාල නීතිය මාර්ගයෙන් ඇතුලට එන්න ද හදන්නේ. කොරෝනා වසංගතය තියෙද්දී ඔක්කොම එකතු වෙලා මොනව ද කරන්නේ” යනුවෙන් පවසා කම්කරුවන් ව ආපසු හරවා යැවීමට උත්සාහ කර ඇත. බලහත්කාරයෙන් තමන්ව බස්රථ වලින් බැස්සවීමට විරෝධය පලකල කම්කරුවෝ ගේට්ටුව අසලින් ඉවත්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

පාලකයන්ගේ, පොලීසියේ සහ ආන්ඩුවේ නිලධාරීන්ගේ තර්ජන නොතකා, ඔකායා ලංකා කම්කරුවන් යෙදී සිටි අතිශයින් ම සටන්කාමි සහ අධිෂ්ඨානශීලී අරගලයෙන්, වැටුප් සහ රැකියා කප්පාදුව ඇතුලු ප්‍රහාරවලට මුහුන දී සිටින සහ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින සෙසු නිදහස් වෙළඳ කලාප කම්කරුවන් උත්තේජනය ලබා අරගලවලට පිවිසෙතැයි කම්හල් පාලකයන් සහ ආන්ඩුව තැතිගෙන ඇත. කප්පාදුකල වැටුප් වර්ධකය ආපසු ලබා දෙන බවට ඔකයා ලංකා පාලකයන් පොරොන්දු වී ඇත්තේ එම තතු තුල බව පැහැදිලිය.

ඔකායා ලංකා කම්හලේ කම්කරුවන්ගේ  වාර්ෂික වැටුප් වර්ධක කප්පාදුව, කොරෝනා වසංගතයෙන් තීව්‍ර වී ඇති අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීම සඳහා ශ්‍රී ලංකාවෙත් ලෝකය පුරාත් ධනපති ආන්ඩු සහ හාම්පුතුන් විසින් ක්‍රියාවට දමා ඇති කම්කරු පන්තියේ රැකියා, වැටුප් සහ සෙසු සමාජ අයිතීන් කප්පාදු කිරීමේ සැලසුම් වල තවත් අදියරක් බව පෙනී යයි.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නොතකා, අනාරක්ෂිත ලෙස කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට දැක්කීමට සහ ඔවුන්ගේ සමාජ අයිතීන් වැනසීමට ආන්ඩුව සහ ධනපති හාම්පුත්තු සමත් වී ඇත්තේ වෘත්තීය සමිති එයට දුන් සහයෝගය හේතුවෙනි. වසංගතයේ මුවාවෙන් කටුනායක, කොග්ගල, මිනුවන්ගොඩ, සහ අව්ස්සාවේල්ලේ සීතාවකපුර ඇතුලු නිදහස් වෙලඳ කලාප සහ ඉන් පිටස්තර කම්හල්වල දහස් ගනනක් කම්කරුවන්ගේ රැකියා අහිමිකර ඇති අතර අනාරක්ෂිත ලෙස සේවයේ යෙදවීම නිසා දහස්  ගනනක් කම්කරුවෝ වසංගතයට ගොදුරු වී සිටිති.

නීත්‍යානුකූල රැකියාවක නියුක්තවීමේ අයිතිවාසිකම සෑම පුද්ගලයෙකුටම හිමි වන බව මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙන්ද ඊට පසුව 1966 දී ඇති කර ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතිය මගින්ද පිළිගෙන ඇත. ශ්‍රී ලංකාව ද මෙම ජාත්‍යන්තර සම්මුතීන්ට පාර්ශවකරුවෙක් වෙයි. එහි ප්‍රථිඵලයක් වශයෙන් 1978 දී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 14 වන ව්‍යවස්ථාව තුළට මෙය මූලික අයිතිවාසිකමක් වශයෙන් ඇතුලත් කොට සෑම පුරවැසියෙකුටම මෙය භුක්ති විඳීමේ නිදහස අත් කර දී තිබේ.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වන්නේ රජයේ විධායක හෝ පරිපාලන ආයතනයක් හෝ නිලධාරියෙකු අතින් එය උල්ලංඝනය වුවහොත් පමණක් යැයි කට මැත නොදොඩා වත්මන් කොවිඩ් වසංගතය හමුවේ මෙම අයිතිය පුරවැසියන්ගෙන් ගිලිහී යන තතු යටතේ, මීට සාධනීය මැදිහත් වීමක් සිදු කරමින් පෞද්ගලික අංශයේ රැකියා හා වැටුප් කප්පාදුවට ලක්වන සේවකයන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම උදෙසා මැදිහත්වීමට සදාචාරාත්මක වගකීමක් ආණ්ඩුවට පවතින බව බලධාරීන් වටහා ගත යුතුය.

නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු

Social Sharing
නවතම විශේෂාංග