
2026 වර්ෂය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය ලබාදීමේ පැකේජයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මංජුල හෙට්ටි ආරච්චි මහතා පැවසුවේ පසුගිය දා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.
ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තමන්ගේ ව්‍යාපාරික කටයුතු ඇරඹීමට, පවත්නා ව්‍යාපාර පුළුල් කිරීමට සහ අවශ්‍ය තාක්ෂණය ලබාගැනීම සඳහා රුපියල් බිලියන 95 ක පමණ මුදලක් ලබා ලබාදීමට බලාපොරොත්තු වන බවත් එහිදී බැංකු පද්ධතිය හා එක්ව මෙම කටයුතු සිදු කරන බවත් ඒ මහතා පැවසුවේය.
“2026 වසර තුළ රජයක් වශයෙන් ළඟා කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක රාශියක් පවතිනවා. විශේෂයෙන් අපනයන අභිමුඛ නිෂ්පාදන ආර්ථිකයක් තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 36 ක් දක්වා යෑමට බලාපොරොත්තුවයි. ඒ වගේම දළ ජාතික නිෂ්පාදිතයට දක්වන දායකත්වය තුළ සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විශේෂයි. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ ප්රමුඛ කාර්යයක් ලෙස පිළිගෙන තිබෙනවා.
” මීට අමතරව ණය යෝජනා ක්‍රම 08ක් ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට කාරක ප්රාග්ධනයට අමතරව, ව්‍යාපාර පුළුල් කරගැනීමට සහ නව තාක්ෂණය ලබාගැනීමට අවශ්‍ය වන බැවින් රජය ඒ සඳහා මෙම වසරේ රුපියල් මිලියන 25,000ක් වෙන්කර ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
