
පසුගිය සති අන්තයේදීත්, ඊට දෙසතියකට පෙර සති අන්තයේදීත්, සිංහල චිත්‍රපට දෙකක් නැරඹුවා. නැරඹුවා කියන්නේ සාමාන්‍ය ක්‍රමයට සිනමාහලක අසුන් ගෙන ලොකු තිරයේ නැරඹුවා. ඇමරිකාවේ සිට දෙසතියක් තුළ සිංහල චිත්‍රපට දෙකක් සාමාන්‍ය ක්‍රමයට නරඹන්න ලැබීම සෑහෙන තරම් දුලබ සිදු වීමක්. විශේෂයෙන්ම ඇමරිකාවේ අප ජීවත් වන කලාපයේ.
පළමුවැන්න “ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්”. එය නැරඹීම පිණිස යාබද ප්‍රාන්තයකට යන්න වුනා. උඩට සහ පහළට කිලෝමීටර නවසීයකට වඩා වැඩියි. චිත්‍රපටයේ කාලය මෙන් හතර ගුණයකට වඩා වැඩි කාලයක් ගමනට ගත වුනා. එපමණ ආවස්ථික පිරිවැයක් දරා, මුළු දවසක්ම වෙන් කර, මේ චිත්‍රපටය නැරඹුවේ එහි ඇතැයි අපේක්ෂා කළ විශේෂත්වයක් නිසා නෙමෙයි. මෙය ඇමරිකාවේ මිඩ්වෙස්ට් කලාපය තුළ සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරුණු පළමු අවස්ථාව වූ නිසා. වෙනත් කවර හෝ සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරුණද බොහෝ විට ඔය ගමන යන්න ඉඩ තිබුණා.
දෙවැන්න “වාලම්පුරි හෙවත් හීන හතහමාරක්”. එය ප්‍රදර්ශනය කෙරුනේනම් අපේම නගරයේ. මෙය අපේ ප්‍රාන්තය තුළ සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරුණු මුල්ම අවස්ථාව. පළමුවැන්න සඳහා ප්‍රවේශපත්‍ර මිල දී ගන්නා අවස්ථාව වන විටද දෙවැන්න සංවිධානය වී තිබුණේ නැහැ. එසේ වීනම්, ඒ වෙනුවෙන් එපමණ ආවස්ථික පිරිවැයක් දැරීම ගැන දෙවරක් හිතන්න ඉඩ තිබුණා.
“ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්” දර්ශන වාරය ගැන දැන ගන්න ලැබුණේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ආදි ශිෂ්‍යයෙකු වූ අසල්වැසි මිතුරෙක්ගෙන්. පසුව “වාලම්පුරි” ප්‍රදර්ශනය සංවිධානය කළේත් ඔහු විසිනුයි. “ක්ලැරන්ස්” සංවිධානය කර තිබුණේ ඔහුගේ මිතුරෙකු වූ, මා පෙර දැන නොසිටි, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ වෙනත් ආදි ශිෂ්‍යයෙකු විසින්.

“ක්ලැරන්ස්” පිළිබඳව අසල්වැසි මිතුරාගෙන් දැනගත් වහාම එහි සංවිධායකවරයා සම්බන්ධ කරගෙන ප්‍රවේශපත්‍ර දෙකක් මිල දී ගැනීමට උත්සාහ කළත්, ඒ වන විටත් ප්‍රවේශපත් සියල්ලම විකිණී අවසන්ව තිබුණා. කෙසේ වුවත්, සැලකිය යුතු ඉල්ලුමක් පැවති බැවින් පොරොත්තු ලේඛණයකට නම් එකතු කර ගෙන දෙවන රංග ශාලාවකද චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සංවිධායකයින් විසින් කටයුතු කළ නිසා අවසානයේදී ප්‍රවේශපත් මිල දී ගැනීමට ඉඩ ලැබුණා.
අසල්වැසි මිතුරා සමඟ මේ කතාබහ සිදු වූයේ සති අන්තයක පැවති ආප්ප පාටියකදී. ඒ අවස්ථාවේදී “වාලම්පුරි” චිත්‍රපටය ගැනද අප කතා කළා. අපේ නගරයේ “වාලම්පුරි හෙවත් හීන හතහමාරක්” දර්ශන වාරය සංවිධානය වූයේ මේ කතාබහේ ප්‍රතිඵලයක් ලෙසයි. එය ඉතා කෙටි කලක් තුළ සිදු වුනා.
ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය හා ඉතාලිය වැනි රටවලට සාපේක්ෂව ඇමරිකාවේ විශාල ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයක් නැහැ. සිටින අයගෙන් වැඩි පිරිසක් සිටින්නේද කැලිෆෝනියා, නිවුයෝර්ක් සහ නිවුජර්සි, ටෙක්සාස්, මේරිලන්ඩ් වැනි ප්‍රාන්ත වලයි. අපේ ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පිරිස, දරුවන්ද සමඟ, දෙතුන් සීයකට වඩා වැඩි නැහැ. ඒ තත්ත්වය තුළ වැඩිහිටියන්ට පමණක් නැරඹිය හැකි සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේ අවම පිරිවැය ආවරණය කර ගැනීම සැලකිය යුතු තරම් අභියෝගාත්මක කටයුත්තක්. සංවිධායකවරයා වූ අසල්වැසි මිතුරා මේ අවදානම ගත්තා.
වෙනත් බොහොමයක් කර්මාන්ත වගේම, ඇමරිකාවේ චිත්‍රපට කර්මාන්තයද තරඟකාරී කර්මාන්තයක්. මේ කර්මාන්තයේ සුපිරි ලාබ නැහැ. ඇතැම් චිත්‍රපට ආදායම් වාර්තා තබන නමුත් තවත් ඒවා පිරිවැය ආවරණය කරන ලාබයක් උපයා දෙන්නේ නැහැ. ඉල්ලුම අනුව සිනමාහල් හිමියන්ගේ ලාබ හෝ පාඩුද තීරණය වෙනවා. වැඩි ඉල්ලුමක් ඇති චිත්‍රපට වල ලාබයෙන් එසේ නොවන ඒවායේ පාඩුවද ආවරණය වන නිසා ඔවුන්ට අවදාමනක් ගත හැකියි.
ඉල්ලුම පිළිබඳ කිසිම සහතිකයක් නැති සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට ඇමරිකාවේ සිනමාහල් හිමියෙක් යොමු වෙන්නේ නැහැ. ඒ නිසා, එවැන්නක් සිදු විය හැක්කේ වෙනත් අයෙකු විසින් අවදානම ගන්නේනම් පමණයි. එවැන්නෙකුට දර්ශන වාරයක් සඳහා සිනමා ශාලාවක රඟහලක් කුලියට ගැනීමට සිදු වෙනවා. එසේ කුලියට ගැනීමෙන් පසුව, එම පිරිවැය ආවරණය කර ගැනීම සඳහාම සැලකිය යුතු ආදායමක් අවශ්‍ය වෙනවා. එම මුදලත්, චිත්‍රපටයේ නිෂ්පාදකයින්ට ලබා දිය යුතු මුදලත් සැලකූ විට, ප්‍රායෝගිකව අය කළ හැකි වැඩිම මුදලක් ප්‍රවේශපත්‍රයක් වෙනුවන් අය කළද, ආසන සියල්ලම මෙන් පිරුනේ නැත්නම් වියදම ආවරණය කරගන්න අමාරුයි.
ඉහත තත්ත්වයන් තුළ, පෙර සඳහන් දර්ශන වාර දෙකම සංවිධානය කර තිබුණේ හැකි අවම පරිමාණ වලින්. එහෙත්, “ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්” සඳහා විශාල ඉල්ලුමක් පැවති බැවින් අවසානයේදී සිනමාහලේ දෙවන රංග ශාලාවක්ද කුලියට ගෙන පොරොත්තු ලේඛණයේ සිටි ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීමට සංවිධායකයින් කටයුතු කළා. “වාලම්පුරි හෙවත් හීන හතහමාරක්” සඳහාද තරමක් වැඩි ඉල්ලුමක් පැවති හෙයින් සියල්ලන්ටම අවස්ථාව ලබා දීම පිණිස තරමක් විශාල රංග ශාලාවකට දර්ශන වාරය මාරු කිරීමට සංවිධායකවරයා කටයුතු කළා.
මේ අයුරින් ඇමරිකාවේ අපේ කලාපය තුළ මුල් වරට සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම අනාගතයේදී එවැනි දර්ශන වාර සංවිධානය කිරීමට කැමැත්තක් දක්වන අයට හොඳ පූර්වාදර්ශයක් හා මාර්ගෝපදේශනයක් සපයනවා. එමෙන්ම මේ හරහා ලංකාවේ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ වෙළඳපොළ පරිමාව පුළුල් වෙනවා.
ඇමරිකාවේ අපේ කලාපයේ ජීවත් වන්නන් විවිධ කාල වකවානු වල ඇමරිකාවට සංක්‍රමණය වූ අයයි. ඒ ඇතැම් අය ලංකාවේ චිත්‍රපට වැනි සංස්කෘතිකාංග ගැන යාවත්කාලීනව සිටියත් සියල්ලන්ම එවැන්නන් නෙමෙයි. ක්ලැරන්ස් විජේවර්ධන එසේ යාවත්කාලීන නොමැති ශ්‍රී ලාංකික ඇමරිකානුවන් අතර පවා නිරන්තරව ජනප්‍රියව සිටින ගායකයෙක්. ඒ නිසාම, “ක්ලැරන්ස්” චිත්‍රපටයට සැලකිය යුතු ඉල්ලුමක් තිබුණා කියා මම හිතනවා. චිත්‍රපටය මගින් ඉලක්ක කර තිබෙන්නේම ක්ලැරන්ස්ගේ ගීත වලට කැමති පිරිසයි.
“ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්” ගායකයෙකුගේ ජීවන චරිතය මත පදනම් වූ සංගීතමය චිත්‍රපටයක්. පසුගිය කාලයේදී මේ වර්ගයේ හොලිවුඩ් චිත්‍රපට ගණනාවක් හැදුනා. Walk the Line, Nowhere Boy, Love & Mercy වැනි මේ ශෛලියේ චිත්‍රපට කාලයක සිට හැදී තිබුණත්, ඩොලර් මිලියන 900 ඉක්මවා ආදායම් ඉපැයූ Bohemian Rhapsody චිත්‍රපටයෙන් පස්සේ මේ විදිහේ චිත්‍රපට රැල්ලක්ම හැදුනා. Rocketman, Elvis, Whitney Houston: I Wanna Dance with Somebody, Bob Marley: One Love මේවායින් කීපයක්. “ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්” නමේ ඔය අවසාන නම් දෙකේ ආකෘතිය දකින්න පුළුවන්.
ක්ලැරන්ස් කියන්නේ අවුරුදු 21ක් වැනි තරුණ වයසකදී තමන්ගේ සිහිනය හඹා යන්න පටන් අරගෙන, ඒ සිහිනය ජය ගැනීමෙන් අනතුරුව, මතකයන් ඉතිරි කර, සාපේක්ෂව අඩු වයසකදී ජීවිතය හැර යන අයෙක්. “ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්” චිත්‍රපටයේ කතාව ගොඩ නගා තිබෙන්නේ මූන්ස්ටෝන්ස් කණ්ඩායම හදන කාලයේ සිට ක්ලැරන්ස්ගේ විවාහය දක්වා වූ කාලය පදනම් කරගෙනයි. ඒ කියන්නේ 1960 සිට 1972 පමණ දක්වා කාලය.
මේ කාලයෙන් වැඩි කොටසක් මා ඉපදෙන්න පෙර කාලයක්. ඉතිරි කොටස වුවත්, මට මතක තිබෙන අතීතයක කොටසක් නෙමෙයි. කවදාවත්ම අපේ වර්තමානය නොවූ අතීත යුග අපට දැකිය හැක්කේ ඉතිරිව තිබෙන ඓතිහාසික වාර්තා ඇසුරෙන් පමණයි. “ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්” වැනි චිත්‍රපටද මේ ගොඩට එකතු වෙනවා. මේ චිත්‍රපට කතාවේ කාලයෙන් පසුව, ක්ලැරන්ස් ජීවත්ව සිටි කාලයක්ද මගේ මතකයේ තිබුණත්, මටත් වඩා වයසින් අඩු අයට ක්ලැරන්ස් කියන්නේ කවදාවත්ම තමන්ගේ වර්තමානය නොවූ අතීතයක්.

චිත්‍රපටයේ නම “ක්ලැරන්ස්” වුනත්, චිත්‍රපටය පුරාම ඇනස්ලි මාලේවනගේ හෙවනැල්ල වැටී තිබෙනවා. චිත්‍රපටයේ වගේම. මම හිතන විදිහට ඇත්තටමත්, ක්ලැරන්ස්ගේ කතාව කියන්නේ ඇනස්ලි මාලේවන. ක්ලැරන්ස්ගේ ජීවිතයේ මේ යුගය හා අදාළව හොඳම මූලාශ්‍රය ඇනස්ලි මාලේවන වෙන්න පුළුවන්.
නමුත් චිත්‍රපටයේ කතාව ක්ලැරන්ස්ගේ ඇත්ත ජීවිත කතාවම නෙමෙයි. ඇත්ත කතාව මත පදනම්ව හදපු ඇත්තම නොවන කතාවක්. ඒ කතාව හදද්දී චිත්‍රපටයේ වාණිජ සාර්ථකත්වය ගැන වැඩිපුර හිතා ඇති බව පේනවා. මෙය සැබෑ පුද්ගලයින්ගේ ජීවන චරිත මත චිත්‍රපට හෝ වෙනත් කලා කෘති හදද්දී සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්. අදාළ පාර්ශ්ව වලට ප්‍රශ්නයක් නැත්නම් ඒකේ අවුලක් නැහැ. අවුලක් වෙන්නේ මේ වගේ කලා කෘතියක් තුළින් කවුරු හරි ඇත්ත ඉතිහාසය හොයන්න ගියොත් පමණයි.
ඓතිහාසික චිත්‍රපටයක් හදද්දී අවශ්‍ය පසුතල හොයා ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. දුරකථන සන්නිවේදන කුළුණක් නැති කන්දක් දැන් ලංකාවේ නැති තරම්. නමුත් තාක්ෂනය විසින් මේ වෙද්දී මේ ප්‍රශ්නයත් විසඳලා තිබෙනවා. රූප රාමුවකින් අනවශ්‍ය කොටසක් ඉවත් කරන එක දැන් ඉතාම සරල වැඩක්. සැබෑ ලෝකය එක්ක සසඳද්දී “ක්ලැරන්ස්” රූප රාමු වල තිබෙන නොගැලපීම්, හිතාමතාම ඒ රූප රාමු සැලසුම් කර තිබෙන විදිහ මිසක් අත් වැරදිම නොවන බවයි පෙනෙන්නේ.
“ක්ලැරන්ස්” හදලා තියෙන්නේ එක දිගට ක්ලැරන්ස්ගේ ගීත රස විඳලා එයින් වින්දනයක් ලබන්න එන ඉලක්ක ප්‍රේක්ෂක පිරිසක් වෙනුවෙන්. පෝලිමට එන සිංදු ටිකට ගැලපෙන විදිහට කතාවක් කෘතිමව ඔබ්බලා තියෙනවා. ඒ කෘතීම කතාවේ විශ්වාසනීයත්වය පවත්වා ගැනීම සඳහා ඇත්ත සිදු වීම් හෝ ඇත්ත සිදු වීම් මත පදනම් වූ ගොඩ නැගීම් එකතු කරලා තියෙනවා. ඉලක්කයට එතරම් වැදගත් නැති නිසා මූන්ස්ටෝන් බිහි වන කාලයේදී 7 ශ්‍රී කාර් තිබුණද නැද්ද වගේ කරුණු ගැන ඒ තරම් අවධානය යොදවලා නැහැ.
කතාවේ වැඩි කොටසක පෙන්වන්නේ රත්නපුර නගරය ආශ්‍රිතව සිදු වෙන සිදු වීම්. නමුත් පසුතල වලින් පේන්නේ මහනුවර පැත්ත. චිත්‍රපටයක රූගත කිරීම් අදාළ ප්‍රදේශයේම කරන්න කිසිසේත්ම අවශ්‍ය නැහැ. නමුත් රත්නපුර කියා කියන්නේ ජර්සි ඇඳගෙන ඉන්න පුළුවන් හෝ අවශ්‍ය සීතල පැත්තක් නෙමෙයි. මම හිතන්නේ චිත්‍රපටයට වඩාත් දර්ශනීය පසුතල එකතු කිරීම සඳහා හිතාමතාම කරපු වැඩක්. ක්ලැරන්ස්ගේ බිරිඳගේ ආගමික පසුබිම වෙනස් කරන්න ඇත්තෙත් ඔය හේතුව නිසා වෙන්න ඇති. ක්ලැරන්ස්ට වැඩියෙන්ම කැමැති, චිත්‍රපටයට වැඩියෙන්ම ආකර්ෂණය වීමේ ඉඩක් තිබෙන, ප්‍රේක්ෂක කණ්ඩායමට මේ වෙනස වඩා හොඳින් ගැලපෙනවා වෙන්න පුළුවන්.
ලංකාවේ වත්මන් නළු නිළියන්ගේ රංගන දක්ෂතා එක්ක සංසන්දනය කරද්දී මෙහි රඟපෑම් ඒ තරම්ම හොඳ මට්ටමක තිබෙනවා කියා කියන්න බැහැ. අඩු වශයෙන් අංග රචනය පැත්තට තව ටිකක් හෝ වැඩි අවධානයක් දුන්නානම් හොඳයි කියලා හිතෙනවා. උදාහරණයක් විදිහට ඉන්ද්‍රානි පෙරේරා කියන්නේ සාමාන්‍ය සම්මත අනුව රූමතියක් නෙමෙයි කියන එක ඇයට කරන අපහාසයක් නෙමෙයි කියලා මම හිතනවා. මෙය අවධාරණය කරමින් ක්ලැරන්ස් මුලින්ම ඉන්ද්‍රානිව දකින මොහොතේ තිගැස්මකට ලක් වන බව චිත්‍රපටයේ පෙන්වනවා. නමුත් එහිදී පෙන්වන ඉන්ද්‍රානිගේ රූපය දකින කෙනෙක් ඒ විදිහට තිගැස්මකට ලක්වෙන්න හේතුවක් නැහැ.
මගේ මිනුම් අනුවනම්, “ක්ලැරන්ස්” චිත්‍රපටයක් විදිහට ඉතාම සාමාන්‍ය චිත්‍රපටයක්. කිලෝමීටර නවසීයක් පමණ උඩට හා පහළට ගිය එක ගැන පසුතැවිලි වෙන්න තරම් අවුලක් චිත්‍රපටයේ නැහැ. විශේෂයෙන්ම ලොකු බලාපොරොත්තු තියාගෙන ගියේ නැති නිසා. හරියටම ඇත්ත නොවුනත්, ලංකාවේ සංගීත ඉතිහාසයේ එක් කොටසක් ගැන කතාවක් චිත්‍රපටයේ තිබෙනවා. එක දිගට වැලට සිංදු එකින් එක යන නිසා ඒවා සම්බන්ධ කරන කතාව ගැන ලොකුවට නොහිතා සිංදු ටික රස විඳින්න පුළුවන්. ඒ හැරෙන්න චිත්‍රපටය බලලා ගෙදර ආවට පස්සේ ඉතිරි වෙන දෙයක්නම් නැහැ.
මේ චිත්‍රපටය පුරෝගාමී වැඩක් කියන එකත් අමතක කරන්න බැහැ. වැඩේ පුරෝගාමී වැඩක් වෙන්නේ ලංකාවට තමයි. එය සිදු වෙන්නේ හොලිවුඩ් රැල්ල අනුකරණය කිරීමක් ලෙස වුවත්, මෙය මේ ශෛලියේ පළමු සිංහල චිත්‍රපටය. පෙනෙන විදිහට දැන් මේ ශෛලියේ තවත් සිංහල චිත්‍රපට හැදෙමින් තිබෙනවා. ඒ වගේම, චිත්‍රපටයක සාර්ථකත්වය පිළිබඳ හොඳම නිර්ණායකය වෙන්නේ එයට තිබෙන ප්‍රේක්ෂක ඉල්ලුම. ඒ අතින් මෙය සාර්ථක චිත්‍රපටයක්.
චිත්‍රපටයක් බලන ප්‍රේක්ෂකයින්ගෙන් සැලකිය යුතු පිරිසකට අවශ්‍ය වන්නේ පැය දෙකහමාරක පමණ කාලයක් තමන්ගේ දෛනික ජීවිතයේ බරින් නිදහස්ව විනෝදයක් ලබන්න මිසක් අපි වගේ ගෙදර ගියාට පස්සෙත් ඒ ගැන හිත හිත තවත් බරක් එකතු කර ගන්න නෙමෙයි. සංක්‍රමණික ප්‍රජාව අතරින් වැඩි දෙනෙකු බලාපොරොත්තු වෙන්නේත් මේ විදිහේ විනෝදයක්. ඒ වැඩේට “ක්ලැරන්ස්” චිත්‍රපට ගැලපෙනවා.
“ක්ලැරන්ස්” බලන්න යද්දී කුමක් හෝ සිංහල චිත්‍රපටයක් බැලීමේ ආශ්වාදය මිසක් එයින් එහාට දෙයක් පිළිබඳ බලාපොරොත්තුවක් නොතිබුණත්, “වාලම්පුරි” බලන්න ගියේ නම් ඊට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්. ඊට හේතුව කලින් බලලා තිබුණු “කූඹියෝ”. “වාලම්පුරි” ගැන පසුව වෙනම සටහනක කතා කරමු.
#ඉකොනොමැට්ටා #economatta #v10econ
