
ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ දී ඒ සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයැදුම් කළ හැකි බව දන්වමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල වෙත යොමුකර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය විසින් මෙම දැනුම් දීම සිදුකර ඇති අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැඳි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළා ගැසට් නිවේදය සංශෝධනය කිරීම සඳහා එය අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව සඳහන් කර තිබේ.
එහි ප්‍රගතිය දැනුම්දීම සඳහා මෙම පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙසත් රජයේ නීතිඥවරිය ඉල්ලා ඇති අතර ඒ අනුව අදාළ පෙත්සම යළි ඔක්තෝබර් මස 30 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
ඒ අනුව ඉකුත් ජුලි මස කාන්තාවන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොණු කර ඇති අතර පෙත්සම්කාරියන් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරු බදවා ගැනීම සඳහා ඉකුත්දා, නිකුත් කරන ලද ගැසට් නිවේදනය තුළින් අදාළ තනතුර සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි බවට දක්වා තිබූ බවය. තවදුරටත් ඔවුන් සඳහන් කර සිටියේ මේ තුළින් සුදුසුකම්ලත් කාන්තාවන්ට එම තනතුරු සඳහා අයදුම් කිරීමට සහ තේරී පත්වීමට තිබෙන අවස්ථාව අහිමි කර තිබෙන බවත් ඔවුන් චෝදනා කර තිබේ.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් කාන්තාවන්ටද අයදුම් කළ හැකිවන පරිදි අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙස වගඋත්තරකාර දුම්රිය දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන් වේ.
