රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොටුව අධිකරණයේ දී පැවති නඩු කටයුත්තට බාධා ඇති වන පරිදි කටයුතු කළ අය සම්බන්ධව විමර්ශනයන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
ඒ අනුව, කොටුව අධිකරණය අසලට පිරිස් සංවිධානාත්මකව රැස්කර අධිකරණ කටයුතුවලට බලපෑම් එල්ල කළ විපක්ෂයේ දේශපාලනඥයන් 20කට වැඩි පිරිසක් බුද්ධි අංශ විසින් මේ වන විට පැහැදිලිවම හඳුනාගෙන ඇති බව දිනමිණ පුවත්පත වාර්තා කරයි.

මේ අතර, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල පැවති විරෝධතාවයක දී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම ස්ථානයේය රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහර දී තුවාල සිදුකිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව එම සැකකරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර දී අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ ඊයේ (27) අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත ඉදිරිපත් කළ බවය.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 52 හැවිරිදි නාගොඩ, කළුතර ප්‍රදේශයේ පදිංචි හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි. සැකකරු අද (28) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොටුව අධිකරණය අසල ඇතිව තිබූ නොසන්සුන්තාවය සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගයට අනුව ඊයේ (27) වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශන ආරම්භ කර තිබිණි. බුද්ධි වාර්තා මෙන්ම විමර්ශන තොරතුරු ඔස්සේ ද අධිකරණය අසලට පිරිස් රැස්කළ අය පැහැදිලිවම හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් දිනමින පුවත්පතට පවසා තිබුනි.
ඔහු වැඩි දුරටත් පවසා තිබුනේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ඍජු අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් මේම විමර්ශනය සිදු කරන බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉකුත් 22 වැනිදා අධිකරණ ශාලාවේ රැඳෙමින් එහි සිදු වන දෑ වීඩියෝගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ පුද්ගලයන් සම්බන්ධව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
– ඡායා අන්තර්ජාලය
