පාස්කු ඉරුදින සිදු වූ ප්රහාරයන්ට අදාළව සිදු කරන විමර්ශනයේ සංවේදී තොරතුරු සඟවා ඉදිරිපත් කිරීම, විමර්ශනය නොමග යවන සුලු සටහන් යෙදීම, සාක්ෂි වසන් කිරීම නිවැරදි කරුණු අනාවරණය නොකිරීම ඇතුළු කරුණු යටතේ සැකපිට නැඟෙනහිර පළාතේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට ගත් බවත් ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය හමුවේ ඊයේ (23) දැනුම් දුන්නේය.
මෝසමක් ගොනු කරමින් මේ බව කියා සිටි පොලීසිය ඊට අදාළ වැඩිදුර වාර්තාවක් අධිකරණය හමුවේ ගොනු කළේය. පාස්කු ඉරු දින සිදු වූ ප්‍රහාරයට පෙර සහ පසු සිද්ධීන් සම්බන්ධයෙන් මේ විමර්ශනය සිදු කරන බවද පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර වව්නතිව් පොලිස් නිලධාරින් දෙදෙනා ගේ ඝාතනය සහ සයින්දමරුදු බෝම්බ පුපුරුවා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන සංවේදී තොරතුරු සම්බන්ධයෙන් මේ විමර්ශනය සිදු කරන බවද ඔවුන් අධිකරණයට දන්වා සිටියේය.
අත්අඩංගුවට ගත් හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මේ වනවිට පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව දැනුම් දුන් පොලීසිය අවශ්‍ය වුවහොත් තවදුරටත් රඳවා ප්‍රශ්න කිරිමට අවසර ලබා ගන්නා බවද අධිකරණය වෙත කරුණු දක්වමින් පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමකුමාර අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.
දිනමිණ
