2019දී කළ බදු කප්පාදුව නිසා රජයේ ආදායමෙන් 50%ක් අහිමි විය. ට්‍රිලියනයක්ව පැවැති රජයේ බදු ආදායම බිලියන 500 දක්වා අඩු විය.
2019දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10ක් වූ අතර ආනයන වියදම ඩොලර් බිලියන 22කි. ආනයන හා අපනයන අතර ශේෂය ඩොලර් බිලියන 12කි.
අප එය පියෙව්වේ මෙසේය: අවුරුද්දකට සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 04ක් පමණ, විදේශ රටවල රැකියා කළ ලාංකිකයන්ගෙන් ඩොලර් බිලියන 7ක් පමණ ලැබුණු අතර ඉතිරිය පියවා ගත්තේ ණය ගැනීමෙනි.
කොරෝනා වසංගතය හේතුවෙන් 2020, 2021 හා 2022 වසරවල සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම අහිමි විය. විදෙස් රැකියා කරන අයගෙන් ලැබුණු ආදායම ද අඩකින්ය පමණ අඩු විය. මේ අතර, ආනයන හා අපනයන අතර පරතරය ද වැඩි විය.
ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුළංගමුව පෙන්වා දෙන පරිදි “සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට ගේන්නට අපට පුළුවන් නම් විදේශ විනිමය ප්‍රශ්නයෙන් 50%කට අපට පිළියම් ලැබෙයි. එවිට ඩොලරයට තිබෙන ඉල්ලුම අඩුවෙයි. එමගින් සාමාන්‍ය නීත්‍යනුකූල වෙළෙඳපොළෙන් හා කළු කඩයෙන් ඩොලරයට ලැබෙන රුපියල් ප්‍රමාණය වෙනස් වෙයි. එසේ වීමෙන් විදේශ රැකියා කරන අය නීත්‍යනුකූල මාර්ගවලින් ලංකාවට ඩොලර් එවීමට පෙළඹෙයි. එසේ වුවහොත් අපට විදේශ විනිමය ප්‍රශ්නයට සහනයක් ලබාගත හැකි වෙයි.
“සංචාරකයන් ලංකාවට එන්නට නම් රටේ සාමය තිබිය යුතුය. කැරැලි කෝලාහල, උද්ඝෝෂණ, වර්ජන, පෙළපාලි තවදුරටත් පැවැතියහොත් සංචාරකයෝ ලංකාවට නොපැමිණෙති. අයිතිවාසිකම් ගැනම කතා කරන කවුරුත් ඒවා දිනාගැනීමට අරගල වර්ජන, කෝලාහල කළහොත් එමගින් රටත් රටේ ආර්ථිකයත් තමනුත් වැනසෙන බව තේරුම් ගත යුතුය.”
2018 දී, ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4.5ක ආදායමක් ලැබීය.
හුළංගමුව පෙන්වාදෙන පරිදි රජයේ බදු ආදායම සහ රජයේ වියදම අතර තිබිය යුත්තේ අතිරික්තයකි. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 01 ක් වත් විය යුතුය. රජයේ ආදායම වියදමට වඩා වැඩි විය යුතුය. එහෙත් දැන් තිබෙන්නේ හිඟයකි. දැන් රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.5කි. රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.5කි. රජයේ වියදම්වලින් 30%ක් වැය වන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටය. තවත් 30%ක් ණය පොලිය ගෙවීමට වැය වෙයි. ඉතිරි 30% විවිධ සහනාධාර සඳහා වැය වෙයි.
රාජ්‍ය වියදම් අවම කිරීමේදී පාඩුු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කළ යුත්තේ කුමන දෙයක් ද යන්න වැදගත්ය. මේ සම්බන්ධයෙන් වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමයේ උපදේශක සභාපති හා අධ්‍යක්ෂ රවී අබේසූරිය, ලංකාදීප පුවත්පතේ ලිපියක මෙසේ පවසයි: “නිල දත්ත පෙන්නුම් කරන්නේ රාජ්‍ය ආයතන අතරින් (SOEs) ආයතන පහක් 2022 මුල් මාස 4 තුළ රුපියල් බිලියන 931ක්, පාඩු ලබා ඇති බවය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නිසා ජනතාව මත පැටවී ඇති බර ඉවත් කළ යුතුය. එක් විකල්පයක් වනුයේ වඩා හොඳ පාලනයක් සහ රාජ්‍ය ව්‍යවසායවල වගවීම සඳහා කොළඹ කොටස් වෙළඳපොළේ සියලුම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ලැයිස්තුගත කිරීමයි. අනෙක් විකල්පය වන්නේ සිංගප්පූරුවේ Temasek පදනම හෝ මැලේසියාවේ Khazanah Nasional Berhadවැනි සමූහ ව්‍යාපාර ආයතනයක් පිහිටුවීමයි. අමාත්‍යංශ ප්‍රතිපත්ති සහ නිසි නියාමනය පිළිබඳව අවධානය යොමු කළ යුතුය.”
(මූලාශ්‍රය: ලංකාදීප පුවත්පත)